මාලි රාජ්‍ය වෙත යොදවා සිටින ශ්‍රී ලංකා සාමසාධක හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා යළි ගෙන්වා ගන්නා නමුත් ඔහුගේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් අපෑලක් ඉදිරිපත් කොට යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව යුධ හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසා තිබුණේ එම හමුදා නිලධාරියා යළි සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය මෙරට රජයෙන් ඉල්ලා සිටීම පිළිබඳ විද්‍යුත් මාධ්‍යක් කළ විමසීමේදී ය.

එම ඉල්ලීම කර ඇත්තේ මාලි හි ශ්‍රී ලංකා සාමසාධක හමුදා කණ්ඩාමේ අණදෙන නිලධාරියා සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන මානව හිමිකම් චෝදනා පිළිබදව ‍ජගත් ආරක්ෂක කවුන්සිලයේ දී සාකච්ඡා කිරීමෙන් පසුවයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසා තිබුණේ ඔහු යළි ගෙන්වාගැනීමට මෙරට රජයට කළ දැනුම්දීම අනුව ඔහු කඩිනමින් මෙරටට පැමිණෙනු ඇති බව ය.

කෙසේවෙතත් ජගත් ආරක්ෂක කවුන්සිලයේ තීරණයට ගරු කිරීමක් ලෙස හමුදා නිලධාරියා ගෙන්වා ගැනීමට කටයුතු කළද එමගින් ඔහු මානව හිමිකම් උල්ලංඝනය කළ අයකු බවට පිළිගැනීමක් සිදුනොවන බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

එමෙන්ම කඩිනමින් ඔහු යළි සේවයේ පිහිටුවීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන බව ද ඔහු පවසා තිබුණි.

මෙරට අවසන් යුධ ගැටුම් සමයේදී සිදුවූ බව කියන මානව හිමකම් උල්ලංඝනය වීම පිළිබඳ මෙරටට එරෙහිව එල්ල වන ජාත්‍යන්තර චෝදනා, මෙම තත්ත්වයට හේතුවී ඇතැයි වාර්තා වේ.

541fa3f2-d414-11e8-81a4-d952f5356e85_1320x770_113830