ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයේ පසුගියදා පවත්වන ලද තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේදී බාලිකා මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගි වූ කුලියාපිටිය මධ්‍ය මහා විදුහ‍ලේ පාරමී වසන්ති මාරිස්ටෙලා එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඇය එතෙක් මතෛක් ඒ සඳහා වාර්තා කළ හොඳම තරග නිමි කාලයද සටහන් කරමිනි.

පාරමී දිනාගත් මෙම ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී දිනාගත් පළමු පදක්කම බවට පත්වූවාය. සුසන්තිකා ජයසිංහ 2000 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසු ඔලිම්පික් තේමාව යටතේ පදක්කමක් දිනාගත් දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වීමටද ඉන් ඇය සමත් වූවාය.

තවද 2007 වසරේ සුසන්තිකා ජයසිංහ එංගලන්තයේදී පවත්වන ලද 16 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 200 ලෝකඩ පදක්කම දිනාගැනීමෙන් පසු මලල ක්‍රීඩා ඉසව්වකින් ලෝක මට්ටමේ පදක්කමක් දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙසද පාරමී වසන්තිගේ නම සටහන් විණි.

ආජන්ටිනාවේ පැවති 3 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්ව විනාඩි 6 තත්පර 33.06කදී නිමකර තිබූ අතර එහි රන් පදක්කම දුර දිවීමේ ශූරියන් බිහි කළ කෙන්යාවේ ෆැන්සි චෙරොනෝ හා රිදී පදක්කම ඉතියෝපියාවේ මෙකිඩෙස් අබේබෙ දිනාගෙන තිබිණ.

එම ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් පසුව කිලෝමීටර් 4ක රට හරහා දිවීමේ තරගයකටද සහභාගි වූ අතර එහිදී ෆැන්සි ඔරෙනේ (කෙන්යාව වි. 12.51), පළමු ස්ථානයටද, ස්ටේ යෙහෝ (උගන්ඩාව වි. 13.13) දෙවැනි ස්ථානයටද, මෙකිඩස් අබේබෙ (ඉතියෝපියාව වි. 13.21) තෙවැනි ස්ථානයද දිනාගෙන තිබූ අතර පාරමී වසන්ති එහිදී (වි. 13.47) සිව්වැනි ස්ථානයට පත්වී තිබිණ.

හලාවත අඹකඳවිල ධීවර ගම්මානයේ වෙසෙන දුප්පත් ධීවර පවුලක සාමාජිකාවක වන පාරමී පසුගියදා ජපානයේ ගිෆු නුවර පවත්වන ලද ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ද මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා පළමු වරට ලෝක අවධානය දිනා ගැනීමට සමත් වූවාය.

තමන්ගේ උපරිම දක්ෂතාව විදේශයකදී සටහන් කිරීමට සමත්වන ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ජාත්‍යන්තරය ජය ගැනීමේ හැකියාවක් ඇති බව පාරමීට පෙර සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න, ධම්මිකා මැණිකේ හා මංජුල කුමාර විජේසේකර වැනි ක්‍රීඩකයන් විසින් තහවුරු කර ඇති බවද සටහන් කළ යුතුය.

සීවලී එදිරිවීර