හංගේරියාවේ ශාරීරික අධ්‍යාපන සරසවිය මගින් ප්‍රදානය කරන ලද ජාත්‍යන්තර මල්ලව ‍පොර පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා මල්ලව ‍පොර සම්මේලනය විසින් ශිෂ්‍යත්වලාභියා ලෙස අවුරුදු 55 ඉක්මවූවකු සහභාගි කරවා ඇත්තේ ඒ සඳහා සම්මේලනයක් විසින් අනුගමනය කළ යුතු සියලුම ක්‍රමවේදවලින් බැහැරව හා සදාචාර විරෝධීව කටයුතු කරමින් බවට දේශීය මල්ලව ‍පොර පුහුණුකරුවන් පිරිසක් රිවිරට අනාවරණය කළේය.

සාමාන්‍යයෙන් මෙවැනි පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්වයක් ලැබුණු විට සම්මේලනය සියලුම අනුබද්ධිත සංගම් දැනුවත් කොට සුදුස්සන්ගෙන් අයැදුම්පත් කැඳවීම පළමුව සිදු කළ යුතු බවත්, අනතුරුව එලෙස අයැදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයන් කැඳවා ජාතික ඔලිම්පික් කමිටුවේද මැදිහත් වීමෙන් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සා තෝරාගත යුතු බවත් අනතුරුව එලෙස තෝරාගත් තැනැත්තා ඊට සහභාගි කරවීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේද අනුමැතිය ලබාගත යුතු බවත් සම්මේලනය අනුගමනය කළ ක්‍රියාමාර්ගය දෝෂදර්ශනයට ලක් කරන්නන්ගේ අදහසය.

විශේෂයෙන්ම මල්ලව ‍පොර හිටපු ජාතික පුහුණුකරුවා වූ ශාන්තිලාල් ඔබේසේකර නමැත්තාද 1999 වසරේ මෙම පාඨමාලාව හදාරන ලද අතර ඔහු රිවිරට ප්‍රකාශ කර සිටියේ තමන් ඒ සඳහා සුදුසුකම් ලබාගත්තේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් පුහුණුකරුවන් 21 දෙනකු අතරින් ඉහළම සුදුසුකම් සනාථ කරමින් බවය. තවද හංගේරියානු සරසවිය මෙම පුහුණු පාඨමාලාවට සහභාගි කරවීමේදී වයස අවුරුදු 20-40 අතර අයැදුම්කරුවන් වීම, ඉහළ ශාරීරික යෝග්‍යතාවක් තිබිම හා ජාතික ඔලිම්පික් කමිටුවේ හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා තිබිම වැඩි සුදුසුකම් ලෙස සඳහන් කර ඇතැයි පැවසේ.

ඒ අනුව ශිෂ්‍යත්වය ලබාදෙන හංගේරියානු සරසවිය අපේක්ෂා කරන වයස් සීමාව ඉක්මවා ඇති පුද්ගලයකු මෙම පාඨමාලාවට සහභාගි කරවීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා මල්ලව ‍පොර සම්මේලනයට ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගය ලැබි ඇති නිසා බව වාර්තා වේ.

මෙම ක්‍රියාවට විරෝධය දක්වන්නන් ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ මෑතකදී පවත්වන ලද නිලවරණයේදී වත්මන් ඔලිම්පික් කමිටුව බලයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා මල්ලව ‍පොර සම්මේලනය ලබාදුන් සහයෝගය වෙනුවෙන් තුටු පඬුරු පිරිනැමීමක් ලෙස මෙම සදාචාර විරෝධී ක්‍රියාවට අනුගත වී ඇති බවය.

තරුණ හා දීප්තිමත් අනාගතයකට හිමිකම් ඇති මල්ලව ‍පොර පුහුණුකරුවන් විශාල පිරිසක් රට තුළ සිටියදී විශ්‍රාම යන වයසේ පසුවන පුහුණුකරුවකුට අදාළ ශිෂ්‍යත්වය ලබාදීමෙන් ශ්‍රී ලංකා මල්ලව ‍පොර සංගමය අනුගමනය කළ ක්‍රියා කලාපය පිළිබඳ මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත විරෝධතා ලිපියක්ද යොමුකර ඇති බව රිවිරට වාර්තා වේ.

සීවලී එදිරිවීර