කළු හීන්දෑරි පිරිමි දරුවෙකි. ඔහු ළඟ පලතුරු ගොඩවල් කීපයකි.  රුපියල් සියයක් දිගු කළ කාන්තාවක් ඒ පිරිමි දරුවාගෙන්  නාරං ගොඩක්  මිලදී ගත්තාය. හීන්දෑරි දරුවා එම කාන්තාව දුන් රුපියල් සියයේ නෝට්ටුව තම දෑසට ළං කරමින් හොඳින් විපරම් කළේය. අනතුරුව රුපියල් සියයේ කොළය තම සල්ලි මල්‍ලේ දමා ඉතිරි සල්ලි කොළ කීපයක් ගෙන එම කාන්තාව අත තැබිය. හීන්දෑරි පිරිමි දරුවා, තමාට ලබා දුන් ඉතිරි මුදල සීරුමාරුවට ගණන් කළ එම කාන්තාව දරුවෝ මට ඔයා රුපියල් විස්සක් වැඩියෙන් දීලා. ආ ඒක එම කාන්තාව තමාට ලබා දුන් මුදල් කොළය ඉඹ නැවතත් සල්ලි මල්ලට දැමූ එම පිරිමි දරුවා කාන්තාවට හිස නමා යටහත් පහත්ව ගරු සම්පන්නව ස්තුතිය පළ කළේය.

තරාදියට දැමූ පලතුරු ගෙඩියේ බර ප්‍රමාණය යාන්තමින් පෙනෙන දෑස ළං කරමින් එහි බර ප්‍රමාණය නිරීක්ෂණය කර අදාළ මුදල පවසන්නේය. ඒත් එක්කම ඔහුට පලතුරු මිලදී ගන්නා අය රුපියල් 2000, 5000 නෝට්ටු ලබා දෙන සෑම මොහොතකම තම පියාට හෝ මවට කථා කරන්නේය. අපි ඒ ගැන මහේෂ්ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ වැඩියෙන් සල්ලි ගියොත් තම වෙළඳාමට පාඩු සිදුවෙන නිසා තමා එම ගනුදෙනුවට මව හෝ පියාව සම්බන්ධ කර ගන්නා බවය.

අපි හිමිහිට හීන්දෑරි කොලුවාට ළං වීමු.
මල්ලී ඔයාගෙන් මේ වගේ වැඩිපුර සල්ලි ගියාම ඒ හැමෝම ආපහු දෙනවාද?
අනේ නෑ නෝනා. සමහර අය මගේ ඇස් පේන්නේ නැහැ කියලා දැන දැනත් මගෙන් වැඩිපුර සල්ලි ගියාම දෙන්නේ නැතිව අරගෙන යනවා. ඒත් හුඟාක් දෙනෙක් එහෙම කරන්නේ නැහැ.

උප්පත්තියෙන් දෑස් අන්ධව මෙලොවට බිහි වූ ඩිලාන් මහේෂ්, පන්නිපිටිය ප්‍රදේශයේ උපන්නෙකි. ඩබ්ලිව් මුණසිංහ හා නන්දනී අල්මේදා යන දෙපලගේ තුන්වන දරුවා ලෙස උපන් ඔහු ඉපදී දින කීපයකින්  දෑස්වල පෙනීම ක්‍රමයෙන් අඩුව ගිය බව පියා අප හා පැවසුවේය. වෛද්‍ය ප්‍රතිකාර කළත් එයින් පලක් නොවූ බව රවීන්ද්‍ර කීවේය.

මහේෂ්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පස්වන වසර දක්වා අධ්‍යාපනය ලැබූ අතර එතැන් සිට රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කළේය. එහිදී බේ්‍රල් ක්‍රමය යටතේ සිය අධ්‍යාපනය හැදෑරූ මහේෂ් විශේෂ දක්ෂතාවන් දැක්වූ සිසුවෙක් බවට පත් විය. ඔහු ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද දක්ෂකම් දැක්වූ බව ඔහුගේ මව පැවසුවාය.
වසර 2014දී අන්ධ විද්‍යාලයෙන් ඉවත් වූ මහේෂ් එතැන් සිට තම පියාගේ පලතුරු වෙළඳාමට එක් විය.

මහේෂ් දෙල්කඳ  ඉරිදා ‍පොළේ හා මහරගම සති‍පොළේ පලතුරු අලෙවි කරන්නේ තම පියා සමගය. අපි මහේෂ්ගේ පියා සමග කළ කතාබහේදී ඔහු සඳහන් කළේ මෙවන් දෙයකි.

මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඇස් පේන්නේ නැතිව ඉන්නේ තුන්වෙනි දරුවා. මෙයා ඉගෙන ගෙන ඉවර වෙලා ගෙදරට වෙලා හිටියේ. මම ‍පොළේ පලතුරු බිස්නස් කරනවා. මගේ පවුල නිතරම කියනවා දරුවාවත් වෙළඳාමට සම්බන්ධ කර ගන්න කියලා. ඒත් මම මුලින් මුලින් කැමති වුණේ නැහැ.  පවුලගේ පෙරැත්තය නිසාමයි මම එයාව වෙළඳාමට සම්බන්ධ කර ගත්තේ. දැන් මට හරි සතුටුයි. මොකද එයා මටත් වැඩිය හොඳට දැන් බිස්නස් එක කරගෙන යනවා. මම නිතරම කල්පනා කළේ මමයි පවුලයි නැති කාලෙක මේ දරුවාට මොකක් වෙයිද කියලා. දැන් ඒ බය නැහැ. මොකද අපි නැති වුණ කාලෙක හරි මේ දරුවට වෙළඳාමක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මම මහරගම ‍පොළේ බිස්නස් කරන ඉඩම් කෑල්ලත් අරගෙන තියෙන්නේ පුතාගේ නමට

අපි රවින්ද්‍ර සමග කථා බහ කරන විටත් මහේෂ් සිය වෙළඳාම කරගෙන යන අයුරු බලා සිටියෙමු. ඔහු ළඟට පලතුරු මිලදී ගැනීමට පැමිණෙන බාල මහලු ඕනෑම කෙනකුට  නැන්දේ, මාමේ යන ආදරණීය  වචනවලින් ආමන්ත්‍රණය කිරීමත් පලතුරු මිලදී ගත් නොගත් සියලු දෙනාටම ස්තූති කිරීමත් මහේෂ් පුරුද්දක් කර ගෙන සිටියේය. මේ හේතුව නිසාම ඔහු වෙත පැමිණෙන සියලුම දෙනා කුමක් හෝ පලතුරක් මිලදී ගැනීමට පෙලඹෙන අතරම ඔහුගේ වෙළඳාම දිහා බලා සිටින්නවුන් පවා ඔහුගෙන් පලතුරු මිලදී ගැනීමට කටයුතු කරන අවස්ථාවන් එමටය.

වෙළඳාම් කරන අතරතුර අපි මහේෂ්ව ‍පොඩි කතාබහකට එක්කර ගත්තෙමු.

 ඉතින් මහේෂ් කොහොමද? ජීවිතය?
ජීවිතය සතුටුයි.
වෙළඳාමෙන් ලැබෙන මුදල්වලට මොකද කරන්නේ?
මට ලැබෙන සල්ලි ඔක්කොම තාත්තා මගේ බැංකු ‍පොතට දානවාකසාදයක් එහෙම බඳින්න අදහසක් නැතිද
අ‍පෝ මම බඳිනවා නම් මගේ අයියයි. අක්කයි බැන්දට පස්සේ තමයි බඳින්නේ. අනික මගේ නංගිට හොඳට උගන්න ගන්නත්  ඕනේ.

ජීවිතය ගැන බයක් හිතෙන්නේ නැතිද
ඉස්සර නම් ‍පොඩි බයක් තිබුණා. ඒත් ඒ බය දැන් නැහැ. මොකද මම හිතනවා මට තනියම කීයක් හරි හම්බකරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා. අනික මාගේ වටේ සිටින හුඟාක් දෙනෙක් මට උදව් උපකාර කරනවා
දෑස පෙනෙන දරුවන් තම සහෝදරයින්  දෙමාපියන් ගැන නොසිත කාලෙක දෑසම අන්ධ මහේෂ් තම සහෝදරයන් ගැන සිතන අයුරු අන් අයටද ආදර්ශයකි.

ශ්‍රියානි විජේසිංහ
ඡුායාරූප – සජීව චින්තක කහඳගමගේ

Untitled-16