සද්දයක්. මහා සද්දයක්, මහා බියකරු සද්දයක්. එවන්් බියකරු හඬක් ලොකු බෝම්බයක් පුපුරා යෑමෙන් මිස, වෙනත් කිසිවකින් නිකුත් නොවන්නේය. ඔව් එය එසේමය.

අධිබලැති බෝම්බයක් පිපිරීමෙන් නැඟුණ ඒ සද්දෙත් එක්ක හිසට ඉහළින් වූ සිවිලිමේ තහඩු කඩාවැටුණේ ඊට උඩින් වූ ඇස්බැස්ටෝස් වහළෙ තහඩුත් එක්කයි. ඒ හඬින් පොළෝ තලය දෙදැරීයැ, අහස් ගැබ ගිගිරුවේයැ. ඇති වුණේ මහා කම්පනයකි. මුළු ගාලූපුරේ පුරා ඒ කම්පනය, ඒ ගිගිරුම පැතිරුණේ බෝම්බ පිපුරුමත් එක්කය. ගාලූ අහස උසට නැඟ ලැග ඉන්න ලන්දේසි යෝධයා…! ඒ යෝධයාගේ සිරුරේ තැන තැන තුවාල බුවාල වෙන්නට තරම් අර ගිගිරුම, කම්පනය බලවත් විය.  ඕලන්ද කොටුවේ දැවැන්ත කළුගල් බැම්මේ තැන තැන පිපුරුම් සටහන් ලියැවිණි. පිපුරුම් හඬ සැතපුම් ගණනාවක් ඈතට ගලායෑමත් එක්ක අවට ගම්දනව් හි වැසියෝ භ‍්‍රාන්ත වූහ.

දකුණු ලකේ අග නගරේ පුරහල් පරිශ‍්‍රය වෙළා පැතිරී ඉහළට නැඟුණු දුම්වලා, කොටු පවුර පැත්තට පාවී යද්දී පරිසරය වසා ගත්තේ දැඩි දුගඳකි. ඒ දුගඳ සතර අත විසිරෙද්දී ගාලූ පුරේ ම අන්දමන්ද වූයේ ඒ මහා බියකරු සද්දෙනි, බෝම්බයක් පිපිරුණු හඬ වා තලයට මුසුව ගව් ගණනාවක දුර රාව ප‍්‍රතිරාව නැංවුණේ සැණෙකිනි. මේ සියල්ල සිදුවුණේ නිමේෂයකිනි. ඔව් එක ම එක නිමේෂයකිනි.

ඒත් එක්ක ම කවුදෝ මහා හඬින් කෑ ගැසූහ. බැලින්නම් ගාමිණි අබේවර්ධන වගේ මට යාන්තමට වගේ මතකය. ගාමිණි අබේවර්ධන කෑ ගෑවේ කඩා වැටෙන වහළේ සුන්බුන් හඬ යටපත් කරමිනි.
‘‘ඩවුන්…. ඩවුන්…..’’

මගේ දෙකන් සිදුරු අගුල් වැටුණි. දත කට පූට්ටු විණි. ඒ කන් අගුල් වැටෙනවාත් එක්කම යැයි වෙන්න  ඕනෑය.
‘‘සිරි රහල් සඟරජ මා හිමිපාණන් වහන්සේ සිහිකිරීමට, ෂඞ්භාෂා පරමේශ්වර රාහුල හාමුදුරුවන් වැඩ වාසය කළ තොටගමුව රන්පත් රාජ මහා විහාර භූමියේ උන්වහන්සේ ගේ ප‍්‍රතිමාවක් ස්ථාපිත කිරීමට ඒ විහාරස්ථානය පදනම් කරගෙන පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී අත්තිවාරම් තබා බොහෝ කාලයක් ගෙවිල’’

සිරි රාහුල සඟරජ මා හිමි ප‍්‍රතිමාව මේ දක්වා ඉදිනොවීම කෙරෙහි සිය නොසතුට පළ කරමින් ඒ ප‍්‍රතිමාව අප‍්‍රමාදව නිර්මාණය කරන්නට දකුණු පළාත් සභාවේ පාලක පක්ෂයේ මන්ත‍්‍රීවර රංජිත් පොන්නම්පෙරුම පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් සේ ඉදිරිපත් කළේ ප‍්‍රථම දකුණු පළාත් සභාවේ සභාපති නීතිඥ පී. වික‍්‍රම සෙනෙවිරත්නයන් ගේ මුලසුනින් ගාලූ පුරහල් ශාලාවේ දී දකුණු පළාත් සභාව රැුස්වූ අවස්ථාවේදීය. පොන්නම්පෙරුම මන්ත‍්‍රීවරයා සභාවට ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කළේ එක්සත් ජාතික පක්ෂයේ ගාමිණි අබේවර්ධන පළාත් සභා මන්ත‍්‍රීවරයායි. එජාපයේ පළාත් සභා මන්ත‍්‍රී අධිනීතිඥ රාජා කුලතිලක මන්ත‍්‍රීවරයා විවාදයට එක්වෙමින් සිය කරුණු ඉදිරිපත් කරද්දීය ඒ මහා දැවැන්ත මූසළ හඬ ගුවන් ගැබ සිසාරා කාල බෝම්බයක් පුපුරා මුළු පරිසරයම වෙවුළු වන ලද්දේ. භීතියට පත් කරන ලද්දේ. එය වෙව්ළීමක් විතරක් නොවේ. භීතියක් පමණක් නොවේ. මහා ඛේදවාචකයකි. එයින් ජීවිත ගණනාවක් සදාකාලිකව නිහඬ කරවමින් විශාල දේපොළ හානියකට ද මඟ පාදවමින් බෝම්බය ඇටවුවන් කුරිරු වූත්, තිරස්චීනවූත් සතුටක් විඳින්නට ඇති.

ශාලාවේ හුන් පක්ෂ විපක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරුත් ඇමතිවරුත් ඔවුන් ඉස්සරහ වූ මේස යටට රිංගද්දී මාත් සහෝදර පුවත්පත් කලාවේදීන් තුන් හතර දෙනාත් වෙන්නේ කුමක්දැයි හිතා ගන්නට හෝ අදහා ගන්නට හෝ නොහැකිව භ‍්‍රාන්තව හුන් අසුන්වලින් වහා නැගිට ඔළු ගෙඩි ටික බේරා ගන්නට මේස යටට රිංගුවා නොවේ. ඉබේට ම රිංගුණේ ය. කුමක් හෝ ලොකු විපතක්, විනාශයක් සිද්ධ වෙමින් පවතින බවට ඇති සැක සිතැති අප මේස යටට නොරිංගන්නට වහළෙන් කඩා වැටෙන ඇස්බැස්ටෝස් තහඩු කෑලි, සීලිම් කෑලිවලින් තුවාල ලබනවා සිකුරුය.

දයා මුතුකුමාරණ, යටියන පුෂ්පකුමාර, ඞී. සිරිවර්ධන, නන්දසිරි වැලිගමගේ යන සහෝදර පුවත්පත් කලාවේදීහු පිටුපසින් විවරව පැවති දොරටුවකින් එළියට පැන්නාහ. මා ද ඔවුන් හා නගර ශාලාවේ පස්ස දොරකින් එළියට පැනීමට යුහුසුළු වූවත් යළි දොරටුවෙන් නගර ශාලාවට රිංගුවේ මගේ කැමරා ආම්පන්න මල්ල මේසය මත නොවේදැයි සැණකින් සිහියට ආ හින්දාය.

නගර ශාලාවේ දැවැන්ත වහළේ කොටස් තැන තැන විසිරිලාය. ඒත් එක්ක ම මා එළියට පනිද්දී දැක්කේ ඊට නුදුරුව පාරෙන් අනිත් පස පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා සිවම් කෝවිල ඉදිරිපිට තාප්පෙන් ඇතුළෙ නගර ශාලා භූමියේ තැන තැන වැටී සිටින පුද්ලයන් කීප දෙනෙකි. අහෝ දෙවියනේ! සීවරම් දෙවියනේ!! ඔවුන් කිසිවකුත් යළි හුස්ම නොගැන්නීමට තරම් ඒ කුරිරු බෝම්බය සමත්කම් පා හමාර ය. ගාලූ පුරහල් භූමියේ වැටී සිටින ඔවුන්ගේ සිරුරුවලින් උණු ලේ ගලයි. ගාලූ පුරහල් භූමියේ එක් අන්තයක ලේ විල් ගණනාවකි. ලේ විල් හයකට වැඩි මිස අඩු නැත්තේ ය. ගලන ඒ උණු ලේ විල් හි ඇති රුහිරු දහරා දිහා කෙසේ නම් බලන්න ද? ඒත් ඒ රුහිරු මනෙත ගැටේ නම්….. තැන තැන විසිරුණු මස් වැදලි….. අමුම අමු මස් වැදලි… ඒවා අප වැනි මිනිසුන්ගේ මාංශය… කැලි කැලි කැඩුණු සිරුරුවලින් වෙන්වුණු සිරුරු කොටස්ය. ඉතින් හත් දෙයියනේ…. මෙවන් කුරිරු සාහසිකම් කරන්නෝ ද ඔබත් මාත් වැනි මිනිසත් බවක් ලද ප‍්‍රාණීන් කොට්ඨාසයක් වීම මිනිසත් බවට කෙතරම් ලැජ්ජාවක් ද?

දකුණු පළාත් සභාවේ ප‍්‍රථම මහ ඇමතිවරයා බවට 1988 ජුනි මස 16 වැනිදා මහජන ඡුන්දයෙන් තේරී පත් වූ ඇම්. ඇස්. අමරසිරි ගේ වාහනය වෙනදා නතර කරන්නේ මේ දැන් බෝම්බය අටවා තිබූ මෝටර් රිය තිබෙන තැනය.
බෝම්බකරුවන් මාස ගණනාවක් තිස්සේ කරන ලද සොයා බැලීම්වලින් පස්සෙ මේ බෝම්බය අටවන ලද මෝටර් රිය නුදුරෙහි තබන ලද්දේ අමරසිරි උන්නැහෙගෙ ජීවිතය අහවරයක් කිරීමේ නින්දිත අභිලාෂයෙන් බව අමුතුවෙන් හිතන්නට මතන්නට දෙයක් නොවේ. ඒත් ඒ බෝම්බය පුපුරා මහා විනාශයක් සිදු වූ මොහොතේ ඇම්. ඇස්. අමරසිරි මහ ඇමතිවරයා සභාවට පැමිණ නොසිටියේය.

මිහි මත වැලඳ ගෙන සිටින ලෙයින් නැහැවුණු පුද්ගලයන්ගේ ඡුායාරූප ගනිමින් මම හුන්නෙමි. මා පින්තූර ගන්නා අයුරු දැක්ක, ඒ වෙලාවේ එහි ආරක්ෂක මෙහෙයුම් කටයුතු භාරව හුන් ගාල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක සිරිමාන්න මා කරා කඩා පැන්නේ කුණුහරුප වැළකින් මට දමා ගසමිනි.

සුගතපාල මැන්දිස්