කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපැදෙන රළ දිහා

මට කිසිදා අවුකන කලාකරුවා හමුවූයේ  නැත. නමුත් ජීවිතේ සියලු හමුවීම් අහඹුවක් බව මා කියැවූ කවියක තිබිණ. එහෙම අහඹුවකදී මට ඔහු හමුවිය. කඩුවෙල මහමෙව්නා අසපුවේ ලී කැටයම් ශිල්පියා ඔහුය. හේ අජීවි ලීයකට හුස්ම දීමට සමත් කලාකරුවෙකි ඔහු. මේ අප අතර හුවමාරු වූ වචන ගොන්නෙන් කිහිපයකි.

වැඩි කතාබහක් නැති මේ නිහඬ  තැනැත්තාගෙන් මම විස්තර විමසුවෙමි. කුඩා ස්ටූලයේ ඉඳගෙන ඔහු තම කතාව මට කියන්නට විය.

මගේ නම උදය සුරංග තිලකසිරි. දැන් වයස 37ක් වෙනවා. උපන් ගම බළන්ගොඩ. දැනට පදිංචිවෙලා ඉන්නේ ඕපනායක. මං බළන්ගොඩ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙන් තමයි මුලින්ම වඩු වැඩ පුරුදු වුණේ. පස්සෙ බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ. මොරටුවේ සිසිර කුමාර කියන මහතෙක් යටතේ සාම්ප්‍රදායික ලී කැටයම් ඉගෙන ගත්තා.  ඊට පස්සේ එතුමා ගාවත් අවුරුද්දක් දෙකක් විතර වැඩ කළා.  මහමෙවුනා අසපුවෙන් තමයි ගොඩක් කැටයම් වැඩ කරන්න මට අවස්ථාව ලැබුණේ.

අපේ අම්මලා, තාත්තලා කැටයම් වැඩ ගැන මුකුත්ම දන්නේ නැහැ. ඒ ගොල්ලෝ දන්
නේ තේ වතුවල වැඩ විතරයි. එයාලාට ඉන්නේ මල්ලියි මායි විතරයි.  මට ‍පොඩි කා‍ලේ ඉඳන්ම ආසාවක් තිබුණා කැටයම් වැඩ කරන්න. ඉස්කෝ‍ලේ යන කා‍ලේ  වුණත් මුලක් හරි  ඇදවෙච්ච ලී කෑල්ලක් හරි හම්බ වුණොත් ඒකෙන්  මොකක් හරි නිර්මාණයක් කරනවා. සාමාන්‍ය පෙළ වෙනකන් මං ඉගෙන ගත්තා. උසස් පෙළත් මාස තුනක් දක්වා ඉගෙන ගත්තා. මට ඒ වැඩේ හරියට සෙට් වුණේ නෑ. පස්සෙ තමයි මං වඩු වැඩ ඉගෙන ගන්න වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට ගියේ.  එතනදි හමුවුණ ධර්මසේන කියන ගුරුවරයා මේ ශිල්පය ගුරුමුෂ්ටියක් නැතුව අපිට හොඳට කියාදුන්නා.

අ‍පොස සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය හමාර කරන ඇතැම් සිසුන් වැරදි මග යන සමාජයක සුරංග තෝරාගන්නේ වෘත්තීමය වශයෙන් අනාගතය ජය ගන්නට මගකි. තවමත් තාරුණ්‍යයේ සිය ජීවිතය ගෙවන ඔහුව මට හමුවන්නේ කඩුවෙල පිහිටි අසපුවේදීය. ඔහු ඇඳ සිටින කමිසය සහ කලිසම පුරාවට දූවිලි සහ ලී කුඩුය. මෙවන් ලී කුඩු දූවිලි කාන්තාරයක් මැද ඔහු තම ජීවිතය ගෙන යයි. එහෙත් ඔහුගේ මුහුණේ කිසිදු කම්පාවක් නොපෙනේ.

මං මුලින්ම වැඩ කළේ ‍පොල්ගහවෙල අසපුවේ. මට ගොඩක් වැඩ වැඩිවුණා. අන්තිමට කරගන්න අමාරු තත්ත්වයක් උදා වුණා. ඊට පස්සෙ මට හිතුණා මේකෙන් ගැලවෙන පැත්තකට ගියා නම් හොඳයි නේද කියලා. මම තෝරගත්ත ගුවන් හමුදාව.  ඊට පස්සෙ තමා ගුවන් හමුදාවට ගියේ. ඒ ගිහිල්ලත් ඉතින් වෘත්තිය වශයෙන් කාර්පෙන්ටර් කෙනෙක් විදිහටයි ගුවන් හමුදාවේ මම වැඩ කළේ. ආරක්ෂක අමාත්‍යාංශය හරහා හමුදාවේ කට්ටිය දෙනවානේ පූජනීය ස්ථානවල වැඩකටයුතුවලට. ඒ නිසා නැවතත් මට සිද්ධ වුණා අසපුවේ වැඩවලට සම්බන්ධ වෙන්න. හැබැයි දැන් මම ගුවන් හමුදාවේ සෙබළෙක්.

අපේ රටේ ප්‍රකට හිමි නමක් වන කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන්ට අයත් අසපු සමූහයේ ලී කැටයම් ශිල්පියා ලෙස සේවයේ නිරතවන්නට සුරංගට අවස්ථාව හිමි වන්නේ එසේය. ඒ මුදලට වඩා ස්වයං තෘප්තියටය. ‍පොල්ගහවෙල අසපුවේ සේවයට ඔහු මුලින්ම එන්නේද රත්නපුර පැත්තේ මැණික් ව්‍යාපාරිකයන්ගේ ගේදොර ඉදිකිරීම්වලදී ලී වැඩ කරමින් ඉතා විශාල මුදලක් ඔහුගේ අත ගැවසෙන විටදීය. මැණික් ව්‍යාපාරිකයන් ඔහුගෙන් ලී වැඩ කරවා ගත්තේ පස්සෙන් ඇවිත්ය. ඒ තරමට ඔහුට ඇති ඉල්ලුම අති මහත්ය.

‍පොල්ගහවෙල අසපුවේ සම්බුද්ධරාජ මාලිගාවේ ප්‍රධාන උළුඅස්ස කළේ මම. මහා දැවැන්ත නිර්මාණයක් කළ ඔහු ඒ ගැන කියන්නේ සැහැල්ලුවෙනි.

එදිනෙදා ජීවිතයේදී වැඩ වැඩිවීම නිසා කරදරයට, සිත්තැවුලට පත් වූ මිනිසුන් මට අනන්තවත් මුණ ගැසී ඇත. නමුත් මේ වඩු ශිල්පියා සැහැල්ලුවෙන් මා ඉදිරියේ සිටී. මේ විහාර මන්දිරයේ ලී කැටයම් සියල්ල පාහේ නිම කර ඇති මේ ශිල්පියාට අවශ්‍යව ඇත්තේ බුදු දහමේ සැනසුම පමණි.

මේ කැටයම් වැඩ කරන්න කරන්න ආස හිතෙනවා. ඊට වැඩිය මෙතන තව එකක් තියෙනවා. බුදු දහම ගැන මට ලොකු ශ්‍රද්ධාවක්, හැඟීමක් තියෙනවා. මම බුදු දහම වෙනුවෙන් තමයි මේ සියලු දේවල් කරන්නේ. ඒ නිසා මට වැඩ එපා වෙන්නේ නෑ. මං මේ දේ කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියන හැඟීම මට තියෙනවා.

ජීවිතයේ කටුක බව මෙන්ම රසමුසු අවස්ථා බෙදා ගැනීමට ඔහුගේම කියා පිරිසකුත් සිටිය යුතුයි. නැත්නම් මේ ජීවිතය පාළු සුසානයක් මෙනි.

මේ වෙනකොට මම විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා.  සතියේ නිවාඩුවට මං ගෙදර යනවා. එහෙම ගිහිල්ලා ඒ අය බලා කියා ගෙන එනවා.

වෘත්තියට පෙම් බඳින වෘත්තිකයකුගේ ජීවිතයේ ඒ හා සබැඳි මතකයෙන් නොගිලිහෙන සිදුවීම් පවතී. එවැනි සිදුවීම් කිහිපයක් මට ඔහු කීවේ වෙනත් පුද්ගලයකු සතු දිලිසෙන දෑසකින් තොරවය.

‍පොල්ගහවෙල සම්බුද්ධරාජ මාලිගාවේ වැඩ මම හුඟක් කැපවීමෙන් මහන්සි වෙලා කළා. සමහර දවස්වල උදේ වැඩ පටන් ගත්තායින් පස්සේ පහුවෙනිදා එළිවෙනකන් වැඩ කරපු අවස්ථා තිබ්බා. ඒත් අර ශ්‍රද්ධාව එක්ක වැඩ කරද්දි ලොකු මහන්සියක් දැනෙන්නේ නෑ. මං විශ්වාස කරන විදිහට දෙවිවරුන්ගෙනුත් අපට උපකාර ලැබුණා. සාමාන්‍ය තැනක ඒ විදිහට වැඩ කළොත් එහෙම සතියක් දෙකක් වැඩ කරද්දි ඇඟට හොඳටම අමාරුයි.නමුත් මෙතන වැඩ කරද්දි මට කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ.

මේ විහාරයේ කැටයම් දැකලා  මිනිස්සු සතුටු වෙලා, පැහැදිලා, සමහර මිනිස්සු ධර්මය පැත්තට යොමු වෙලා පින් දහම් කරගන්නවා. ඒ දේවල්වලින් අපිටත් පිනක් ලැබෙනවා.

මා, ඔහු හමුවූයේ වැසි දිනයකය. ඒ, සීතලත්  නිස්කලංකභාවයත් අතර ඔහු ගෙනා තේ කෝප්පය මම උගුරෙන් උගුර තොලගෑවෙමි. තම නිසඟ හැකියාව කිසිදු සැකයක් නොතකා මට ඒ ගැන පවසයි.

හැකියාව දියුණු වෙන්නේ නිරතුරුව වැඩ කිරීමත් සමගමයි.  සංසාරේ තමා කරන  කියන කර්මවලට අනුව මේ භවයේදී ඒවාට උත්තර ලැබෙනවා කියන එක මං විශ්වාස කරනවා. දෙමව්පියෝ එහෙම ගොඩක් කැමති කැටයම් කරනවාට.

ජනාධිපති සම්මාන හැරෙන්න කැටයම්වලට ලොකු දෙයක් නෑනේ. ඇත්තටම ගොඩාක් කැටයම් ශිල්පියෝ වැඩේ අතහැරලා ඉන්නේ. මහමෙවුනාවෙත් පිළිම හදන ශිල්පීන්ට එහෙම ගොඩාක්  අවස්ථා ලැබුණා.

කලාවෙන් මිනිහෙක්ගේ හිත වෙනස් කරන්න පුළුවන්. මිනිස්සුන්ට එහෙම පැහැදීමක්, ශ්‍රද්ධාවක් ඇතිවෙලා තියෙනවා මේ නිර්මාණ දැකලා. මේ කැටයම් වැඩ නිසා මං ගොඩාක් සතුටෙන් ඉන්නේ. ජීවිතේ ප්‍රශ්නත් නැතුව නමෛයි. නමුත් මම කරන වැඩේ සවුත්තු වුණොත් මට ලොකු පීඩනයක් දැනෙනවා. වැඩක් මට ඕන විදිහට සිද්ධ නොවුණොත් එදා රෑට මට නින්ද යන්නෙත් නෑ. කල්පනා කරල කරල ඊළඟ දවසේ අවශ්‍ය මට්ටමට ගෙනල්ලා තමයි වැඩේ නවත්වන්නේ.

දැනටත් අපි උළුඅස්සක් කරනවා. අලුතෙන් දඹදිව මහමෙවුනා අසපුවේ සෑයක් හදනවා, ඒකට ඒ සෑයේ උළුඅස්ස මෙහේ කරන්නේ.

ගොඩාක් වෙලාවට කැටයම් දකින මිනිස්සු කියන්නේ ඇම්බැක්කෙටත් වඩා දියුණු කැටයම් මෙහේ තියෙන්නේ කියලා. ඒ කා‍ලේ විදිහට කලාකරුවා ඒ නිර්මාණ කළේ අවම පහසුකම් යටතේ. ඒ නිසා ඒ නිර්මාණවලට ලෝක වටිනාකමක් තියෙනවා. අපිට දැන් අවශ්‍ය උපකරණත් තියෙනවානේ. ඒ නිර්මාණ මේවාට කොහොමත් සම කරන්න බෑ. එදා සමහර විට මීටත් වඩා දියුණු තාක්ෂණයක් තියෙන්නත් ඇති.

ප්‍රාණ සම සේ තම රැකියාවට රැකියාව කරන පුද්ගලයින් බොහෝ අල්පය. කැටයම නිසා සුරංගගේ ජීවිතයේ බොහෝ සොඳුරු අවස්ථා ගිලිහී ගියද හේ ඒ ගැන පසුතැවිලි නොවෙයි. තමාගෙන් පසුව මේ ශිල්පයේ අනාගතය ගැන ඔහු සිතයි. ඒ ගැන වෙහෙසෙයි.

මට ඉන්නේ ගැහැනු දරුවෝ දෙන්නෙක්. මාත් කැමති ඒ අය මේ ශිල්පය ඉගෙන ගන්නවා නම්. මොකද කැටයම් ශිල්පය දැන් ටිකෙන් ටික අභාවයට යමිනුයි පවතින්නේ. ඒ නිසා මේ ශිල්පය ගොඩගන්න කවුරුහරි ඉන්නවා නම් මම කැමතියි. මේ කැටයම් හින්දා මං ධර්මය පැත්තට  යොමු වුණා. ශිල්පය තුළින් ලැබුණ ලොකුම දේ ඒක. අවුරුදු 15ක ඉඳලා කිසිම මත්ද්‍රව්‍යක් මම පාවිච්චි කරලා නැහැ. ‍පෝය දවසට මං සිල් ගන්නවා. මට රකින්න පුළුවන් හැම සීලයම මම රැකගන්න උත්සාහ කරනවා. කැටයම් වගේ සියුම් දේවල් කරද්දි ඒ වගේ දේවල් පාවිච්චි  කරන්න හොඳ නෑ.
සුරංගට කැටයම් ගැන තියෙන්නේ හරි සරල රූපයක්.

කැටයමක් කරනවා කියන්නේ භාවනාවක් කරනවා  වගේ දෙයක්. හිත එකම දේකට යොමු කරගෙන ලොකු කැප කිරීමකින් කළ යුතු දෙයක්.

තාම අපි ගැන රාජ්‍ය හෝ පෞද්ගලික මට්ටමෙන් ඇගයීමක් වෙලා නැහැ. 2001 දී ජනාධිපති සම්මාන ප්‍රදර්ශනයට නිර්මාණයක් හැදුවා. ඒක සබරගමු පළාතෙන් පළවෙනියා වුණා. හැබැයි මිනිස්සුන්ට නම් පුදුම පැහැදීමක් ඇති වෙලා තියෙනවා. ගොඩාක් වයසක මිනිස්සු අපේ අත් දෙක අල්ලා වැඳලා ගිහින් තියෙනවා. මට මතක් වෙන කොටත් ඇඬෙනවා. අපේ දෙමාපියෝ නෑදෑයෝ ගුරුවරු වුණත් එ තැන්වලට එක්ක ගියාම පුදුම වෙනවා. මිනිස්සු නිර්මාණ ගැන කතා වෙනවා මට ඇහෙනවා. මිනිස්සු සෑහෙන්න පින් දෙනවා. ගොඩක් අය වැඩවලින් බලා‍පොරොත්තු වෙන්නේ නමනේ. නමුත් මේ නිර්මාණ හැම එකකම පාහේ නම ගහලා නෑ. ස්වාමීන් වහන්සේලාටත් ශිල්පය ගැන ලොකු දැනුමක් තියෙනවා. සමහර කැටයම් ‘මෙන්න මෙහෙම කරන්න.’ කියලා ඇඳලා දෙන අවස්ථා පවා තියෙනවා. ස්වාමීන් වහන්සේ ‍පොල්ගහවෙල මාලිගාවේ ප්‍රධාන දොරේ කැටයම එහෙම බිත්තියක ඇඳලා දුන්නේ මට. මේ විදිහට කරන්න කියලා. ඒකෙන් ‍පොටෝ එකක් ගහගෙන තමයි මං වැඩේ කළේ.

මේ වැඩ කරන්නත් මට වාසනාවක් තියෙන්න ඕනේ. මේක ලොකු හාමුදුරුවොත් මට කියලා තියෙනවා. අපිට වැඩිය දක්ෂ ශිල්පීන් ගොඩක් ලංකාවේ ඉන්නවා. නමුත් ඒ අයට මේ වගේ අවස්ථාවක් ලැබිලා නෑ. ඒ නිසා එයාලට ශිල්පය පෙන්වන්න තැනක් නැතුව ගමේ වැඩකට සීමා වෙලා ඉන්නවා. ඒ හින්දා හැමතැනම සිදු කරන්න පුළුවන් වැඩසටහනක් සංවිධානය කරනවා නම් හැංගිලා ඉන්න ශිල්පියෝ ටික එළියට ගත හැකියි.

‍පොල්ගහවෙල උළුවස්ස අඩි 26ක් උසයි. පළල අඩි 15යි. ලංකාවේ තියෙන ලොකුම උළුවස්ස. ස්වාමීන් වහන්සේලා කිව්වා ආසියාවේවත් නැතුව ඇති කියල. ලීයෙන් කරපු එච්චර ලොකු උළුවස්සක්. උළුවස්ස කළේ කොස් ලීවලින්. දොර නම් කළේ තේක්ක ලීවලින්. මිනිස්සු කියනවා ඇහිලා තියෙනවා ‍පොඩි කොල්ලෝ දෙන්නෙක් තමයි මේක කරලා තියෙන්නෙ කියලා. මගේ සහයට හිටපු අනිත් කෙනා නිමන්ත මල්ලි.

අනික මං හිතනවා සුපර් ස්ටාර්ලා තෝරනවා වගේ සාම්ප්‍රදායික ශිල්ප, අත්කම් ශිල්පවලටත් ඒ වගේ තරගයක් සූදානම් කරන්න පුළුවන් නම් හැංගිලා ඉන්න ගොඩක් මිනිස්සු එළියට එන්න පුළුවන්. අපි සංචාරකයෙක්ට වුණත් පෙන්වන්නේ අවුරුදු සිය ගණනක් පරණ ඇම්බැක්කේ ලී කැටයම් විතරයි. මෑත කාලයේ ඒ වගේ නිර්මාණ බිහි වුණේ නෑනේ. ඒ ඔහුගේ එකම ඉල්ලීමය.

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු