‘සෙමා’ යනුවෙන් හැඳින්වෙන ‘උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය, ඔක්තෝබර් 16 වැනි දා සිට බලපවත්වන පරිදි වසා දමා තිබේ. මාධ්‍ය වාර්තාවල සඳහන් වුණු අන්දමට, එය වසා දමා ඇත්තේ ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයක් මගිනි. ‘සෙමා ආයතනය’ ක්‍රියාත්මක වූයේ ජනාධිපතිවරයා යටතේ ඇති ආයතනයක් වශයෙනි.

සෙමා ආයතනය වසා දැමීමත් සමග ම, රට හමුවේ බරපතළ ප්‍රශ්නයක් ද දිග හැරෙයි. දැන් ඉතින්, ‘වස විස නැති රටක්-ධාර්මික ගොවිතැනක්’ නමින් ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළට කුමක් සිදු වන්නේ ද යන්න, එම ප්‍රශ්නයයි. ආණ්ඩුව ‘වස විස නැති රටක්’ වැඩපිළිවෙළ ගෙන ගියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ද උපදේශකත්වය යටතේ ‘සෙමා ආයතනය’ ඔස්සේය. එය රටට හඳුන්වා දුන්නේ වස විසෙන් තොර ගොවිතැනකට රට පොලඹවන ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රණය බව අඟවමිනි. ඔවුන්ගේ වැඩ කොටසෙන් වැඩි හරියක් වෙන් කෙරුණේ දේශීය පාරම්පරික වී ගොවිතැන නගාසිටුවීම සඳහාය. දැන් ‘සෙමා ආයතනය’ වසා දමා තිබේ. ආණ්ඩුව සිය වස විස නැති වී ගොවිතැන් වැඩපිළිවෙළද, සෙමා ආයතනය සමග අත්හැර දමනවාද? යන්න, දැන් රට හමුවේ දිග හැරෙන බරපතළම ගැටලුවයි.

වස විස දමන්නේ නැතිව පාරම්පරික වී වර්ග වගා කිරීමේ දේශීය ගොවිතැන් ක්‍රමය, ගොවිබිම්වලින් ගිලිහී ගියේ 1960 දශකයේ සිට ක්‍රියාත්මක වුණු ‘හරිත විප්ලවයෙන්’ පසුවය. එයින් දේශීය පාරම්පරික වී ගොවිතැන මැකී ගියේය. එයින් පසුව ගොවීන් රසායනික යෙදවුම් සහිත නවීන වී ගොවිතැනට හුරු පුරුදු විණි. එහෙත් 1970 දශකය අග භාගයේ පටන් ගොවීන් සුළු පිරිසක් විසින් දේශීය පාරම්පරික වී වර්ග යළි ප්‍රචලිත කිරීම ඇරඹූහ. එය වස විස නැති ගොවිතැනක් විය. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක උදව් ද ලැබිණි. 2000 දශකයේ මැද භාගය පමණ වන විට, එය රටේ සැලකිය යුතු ප්‍රමාණයකට ව්‍යාප්තව තිබිණි. දළ වශයෙන් ගත් කල, වගා කෙරුණු පැරණි වී වර්ග සංඛ්‍යාව 600ක් පමණ වූයේය. මෙයට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නො ලැබුණු අතර, රාජ්‍ය කෘෂිකර්ම යාන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ ‘නවීන රසායනික ගොවිතැන’ හිස් ම`ුදුනේ තබා ගනිමිනි.

කෙසේ වෙතත්, රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව යළි වගා කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේය. ඉන් පසුව බලයට පැමිණි යහපාලන රජය, ‘වස විස නැති ගොවිතැනක්-නිරෝගී ජනතාවක්’ යන තේමාව යටතේ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට කටයුතු කළේය. එහි උපදේශකත්වය දැරුවේ, යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවන අතුරලියේ රතන හිමියෝය. ආණ්ඩුවේ වස විස නැති ගොවිතැන් වැඩපිළිවෙළ ‘සෙමා ආයතනයට’ පවරනු ලැබිණි.

ලංකාවේ වී ගොවිතැන, දශක පහක් හයක් මුළුල්ලේ ම පුරුදු පුහුණු කෙරුණේ රසායනික ගොවිතැන් මාදිලියකටය. නව වැඩි දියුණු කළ වී වර්ග සහ රසායනික පොහොර, කෘත්‍රිම කෘෂි රසායන සහ යන්ත්‍ර ආදී නවීන යෙදවුම් එහි කොඳු නාරටිය සේ සැලකිණි. වගා උපදෙස් ලැබුණේ ද රසායනික නවීන ගොවිතැන් ක්‍රියාවලියටය. එවන් රටක්, වසර දෙක තුනක් තුළ දේශීය පන්නයේ කාබනික ගොවිතැනකට තල්ලු කිරීම ලෙහෙසි වැඩක් නොවේ. එය කළ හැකි වනු ඇත්තේ, රසායනික නො වන, කාබනික පොහොර සහ අනෙකුත් යෙදවුම්වලට ගැළපෙන දේශීය වී වර්ග හඳුනා ගැනීම, අවශ්‍ය තරම් බිත්තර වී නිපදවා ගැනීම, කාබනික පොහොර සහ පළිබෝධ හානි පාලනය සඳහා විෂ රහිත යෙදවුම් සුලභ කිරීම, ගොවි උපදෙස් යාන්ත්‍රණයක් සැකසීම සහ වී ගොවිතැන අරභයා දේශීය පාරම්පරික දැනුම් සම්භාරය සංරක්ෂණය කිරීම ආදී බහුවිධ ක්‍රියාවලියක් මගිනි. වස විස රහිත ගොවි නිෂ්පාදන, සාධාරණ මිලකට අලෙවි කිරීමේ සහ ඒවායෙහි ප්‍රමිතිය සහතික කිරීමේ යාන්ත්‍රණයක් සැකසීමත් එයටම ඇතුළත් කළ හැකිය.

‘වස විස නැති ගොවිතැනක්’ වැඩපිළිවෙළ කරට ගත් ‘සෙමා ආයතනයට’, එවන් පුළුල් පරිවර්තන ක්‍රියාවලියක් නිර්මාණය කළ නො හැකි වුණු බව ලියුම්කරුගේ අදහසයි. දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීමේ ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දෙන ගැටලු බොහොමයකි. දේශීය වී වගාවට නැඹුරුවන ගොවීන්ට ප්‍රමාණවත් තරම් බිත්තර වී නිෂ්පාදනය නොවීම, වගා උපදෙස් ගැනීමට විශ්වාසය තැබිය හැකි යාන්ත්‍රණයක් නිර්මාණය නො වීම, වී ගොවිතැන් කෙරෙන දිස්ත්‍රික්ක මට්ටමින්, මහා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු නොවීම, රෝග සහ පළිබෝධ හානි සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුම බෙදා හැරෙන ක්‍රමයක් නැතිකම, මහා වාරිමාර්ග ප්‍රදේශවල දේශීය වී වවන ගොවීන්ට ගැළපෙන මට්ටමේ ජල කළමනාකරණ ක්‍රමයක් හඳුන්වා නො දීම, ලැබෙන අස්වනු සාධාරණ මිලකට අලෙවි කිරීමේ යාන්ත්‍රණයක් සකස් නො කිරීම, නිපදවෙන සහල්වල කාබනික තත්ත්වය සහතික කිරීමේ ක්‍රමවේදයක් සකස් නො කිරීම ආදී කාරණා රාශියක් ඒ අතර වේ. මේ වන විට, විවෘත වෙළෙඳපොළේ සුවඳැල් ඇතුළු දේශීය සහල් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 300ක් හෝ ඊට වඩා ඉහළ මිලකටය. පෝෂණීය හෝ ඖෂධීය කැඳ සඳහා වන සහල් මිශ්‍රණයේ ග්‍රෑම් 100ක පැකැට්ටුවක් රුපියල් 100ක් හෝ 150කට විකිණෙයි. පාරිභෝගිකයාගේ පැත්තෙන් බලන කල, මෙය අධික මිලකි. එයට හේතුව වන්නේ, දේශීය පාරම්පරික වී වගාව පුළුල් නොවීමයි. එයින් සහල් නිෂ්පාදනය අඩු වීමයි. අනෙක පාරිභෝගිකයන්ට තමන් මිල දී ගන්නා සහල් කිලෝව ඇත්තටම ‘කාබනික නිෂ්පාදනයක් ද?’ කියා හෝ එහි ඇත්තේ ලේබලයේ සඳහන් නියම සහල් වර්ගය ද කියා හෝ තහවුරුකර ගැනීමට විශ්වාසනීය ක්‍රමයක් නැත. ඇතැමෙක් වපුරා දින දාහතරෙන් රසායනික වල් නාශක යොදා, ගොයමෙහි නිල්ල අඩුවන විට රසායනික යූරියා පොහොර යොදා නිපදවන සහල් ද ‘කාබනික සහල්’ යයි කියා විකුණති. ඇතැමෙක් ‘සුවඳැල් සහල්වලට’ කීරි සම්බා කලවම්කර විකුණති. මේවා නියම කාබනික සහල් ද?, නැද්ද? යන්න අලෙවිකරුවන්ට ද එතරම් වැදගත් නො වන තරම්ය.

‘සෙමා ආයතනයේ’ වැඩපිළිවෙළ සාර්ථක වුවා නම් මෙබඳු ගැටලු ඇති වන්නට ඉඩක් නැත. දේශීය පාරම්පරික සහල් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එහෙත් වී වගාව පුළුල් භූමි වපසරියක් පුරා ව්‍යාප්ත කරන්නට ඔවුන්ට හැකි වූයේ නැත. දේශීය පාරම්පරික වී ගොවිතැන අරභයා තිබෙන පාරම්පරික දැනුම් සම්භාරය එක් රැස්කර, සංරක්ෂණය නො කිරීම නිසා ගොවීන්ට වගා උපදෙස් සැපයීමේ දීප ව්‍යාප්ත යාන්ත්‍රණයක් ගොඩනගා ගන්නට නුපුළුවන් විය. ගොවීන් බිහි කරනවා වෙනුවට, රජයෙන් වැටුප් ලබන සිවිල් ආරක්ෂක භටයන් යොදවා දේශීය වී වගා කරවන්නට වැඩි බරක් දැමීම හේතුවෙන් කොළඹ වෙළෙඳපොළට සහල් ලැබුණු බව ඇත්තය. එහෙත් එයින් ‘ගොවීන්’ බිහි වූවා ද? යන්න අපැහැදිලිය. රාජ්‍ය අරමුදල් භාවිතාවෙන්, දේශීය පාරම්පරික සහල්වල පෝෂණ සහ ඖෂධීය ගුණ පිළිබඳව කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණයෙන් ඔවුන් වැඩක් ගත්තේ ද නැත.

කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුවේ වස විස නැති දේශීය වී ගොවිතැන් වැඩ පිළිවෙල යටතේ යම් යම් සාධනීය වර්ධනයන් ද ඇති විය. ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ, රට වැසියන්ට ‘වස විස නැති බතක් හෝ එළවළුවක්’ ගැන උනන්දුවක් සහ අවබෝධයක් ඇති විය. කොළඹ කෙරුණු කාබනික කෘෂි නිපැයුම් ප්‍රදර්ශන ද නාගරික සමාජයේ ආකර්ෂණයට ලක් විය. එයින් මහජනයා අතර, ‘වස විස නැති ආහාර’ ගැන සහ දේශීය පාරම්පරික සහල් භාවිතයට නැඹුරු වීමේ රැල්ලක් ඇති විය. එය හොඳ දෙයකි.

සෙමා ආයතනයේ මගපෙන්වීම පරිදි දේශීය වී වර්ග වගා කරන ගොවීන්ට කාබනික දියර පොහොර වර්ගයක් හඳුන්වා දෙනු ලැබිණි. ගෙවුණු 2018 මාස් කන්නයේ එය භාවිත කළ ගොවීහු හොඳ ප්‍රතිඵල ලැබූහ. රජයේ විවිධ අරමුදල් යටතේ මෙන්ම, සෙමා ආයතනයේ සම්බන්ධීකරණයෙන් ද ඇතැම් පෙදෙස්වල ගොවීන්ට සහන ක්‍රම යටතේ නවීන ගොවි උපකරණ ආදිය ලබා දී තිබේ. එහෙත් එයින් වැඩි හරියක් ලබා දී ඇත්තේ ‘හුදු කාබනික රැල්ලට’ ගිය ගොවීන්ටය. ටික කලක දී ඔවුන් ඒවා අඩු මිලට විකුණා දැමුහ. එයින් දේශීය වී වගාව ‘බොක්කෙන්ම කරන’ ගොවීන්ට අඩු මිලකට නවීන ගොවි උපකරණ මිල දී ගැනීමේ අවස්ථාව හිමි විය. දැන් ඔවුන් ඒවා භාවිතාවෙන් යසට ගොවිතැන් කරති.

පොළොන්නරුවේ එවන් එක් ගොවියෙකු ඔක්තෝබර් 08 වැනි දා අපූරු සන්සන්දනයක යෙදුණේය. රසායනික ක්‍රමයට වගා කළ, ‘2000’ නමින් හඳුන්වන නව වැඩිදියුණු කළ වර්ගයක වී කරලක, බොල් ඇට අටක් ද ඇතුළුව, වී ඇට 208ක් තිබුණේය. කාබනිකව වගා කළ දේශීය සුදු හීනැටි වර්ගයේ වී කරලක, බොල් ඇට 03ක් ද ඇතුළුව වී ඇට 309ක් තිබුණේය. මේ ගොවියා, වී ඇට ගණන් කිරීමේ ප්‍රීතිය අත්විඳ ගත්තේ, ‘අම්මපා යකෝ මේ වෙනස නේ වැඬේ’ යයි කුඹුරේ සිටම දුරකතනයෙන් ලියුම්කරු අමතමිනි!

එක් අතකට, වස විස නැති ගොවිතැනක් ව්‍යාප්ත කිරීම පිණිස සෙමා ආයතනයට පැවරුණු ක්‍රියාවලිය මහත් අසීරු එකක් වන්නට ඇත. හේතුව, ඔවුන්ට ගොවීන් සමග වැඩ කිරිමේ දීප ව්‍යාප්ත යාන්ත්‍රණයක් නො තිබීමයි. ගොවීන් සමග වැඩ කිරීමේ දීප ව්‍යාප්ත යාන්ත්‍රණය, ගොවි සම්බන්ධකම්, ගොවිතැන් පිළිබඳ නවීන දැනුම සහ මුල්‍ය ප්‍රතිපාදන ආදිය තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටය. එය ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නිල යාන්ත්‍රණයයි. රාජ්‍ය ආයතනයක් වශයෙන් ඔවුන් දැනුදු පය ගසා ගෙන සිටින්නේ, ‘නවීන රසායනික ගොවිතැන සහ දෙමුහුන් වී වගාව’ ව්‍යාප්ත කරන වේදිකාවේය. ‘ඔය කැලෑ වී වවලා රටේ බඩගින්න ජය ගන්න බෑ’ යන්න ඔවුන්ගේ මතවාදයයි. වස විසෙන් සපිරි රසායනික ඉවත දමා වස විසෙන් තොර කෘෂිකර්මාන්තයකට කැමති පිරිසක් ද එහි නැතුවා නොවේ. අද ඔවුන්ගේ අදහස් යටපත් කර තිබේ.

රටේ ගොවිතැන් මෙහෙයවීම සහ ගොවීන් සමග වැඩ කිරීමේ විශාලතම යාන්ත්‍රණය ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටය. එබැවින් යහපාලන ආණ්ඩුව ඇත්තට ම කළ යුතුව තිබුණේ, සිය ‘වස විස නැති ගොවිතැන් වැඩ පිළිවෙල’, ඔවුන්ගේ ‘ප්‍රමුඛ වැඩ විෂයක්’ බවට පත් කිරීමය. එහෙත් එය පැවරුණේ ජනාධිපතිවරයා යටතේ පාලනය වන ‘සෙමා ආයතනයට’ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදත් වස විස නැති ගොවිතැනේ ‘සපෝට්කාරයා’ මිස, ‘අයිතිකාරයා’ හෝ ‘ප්‍රධාන මෙහෙයවන්නා’ නොවේ! ප්‍රධාන අවුල ඇත්තේ එතැනය.

‘සෙමා ආයතනය’ වසා දැමිමෙන් පසුව රජයේ ‘වස විස නැති ගොවිතැනක්’ වැඩ පිළිවෙලට කුමක් සිදු වන්නේ ද? යන්න ආණ්ඩුව තවම පැහැදිලිකර නැත. කිසියම් සැඟවුණු න්‍යාය පත්‍රයක් අනුව යමින්, ඔවුහු මීට ඉහත ‘ග්ලයිපොසේට් තහනම’ ද ඉවත් කළහ. ‘සෙමා ආයතනය’ වසා දැමීම ඒ න්‍යාය පත්‍රයේ ම දිගුවක් වන්නට ද ඉඩ තිබේ!

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

SHARE

2 COMMENTS

  1. මෙම වැඩසටහන හා සම්බන්ධව කටයුතු කළ කෘෂිකර්ම උපද්ෂක වරයෙකු වශයෙන් සටහන තබමි.
    ඔබ විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත සිදුකරන චෝදනාව තරයේ හෙලාදකිමි. අප විසින් මෙම කාර්යය සඳහා අවශ්‍ය සියළු සහය නොඅඩුව සපයන ලදී. නමුත් අදාළ පර්යේෂණ ක්ෂේත්‍ර පිහිටුවීමෙන් පසු කෘෂිකර්ම උපද්ෂකවරුන්ගේ සහය ලබා නොගැනීමට Sema අායතනය කටයුතු කරන ලදී. එ් සඳහා තෝරාගත් වෙනත් පුද්ගලයන් කණ්ඩායමක් උපදේශක වරුන් ලෙස පත්කර ගොවි ක්ෂේත්‍රවලට එවන ලදී.
    Sema අායතනය විසින් අප හා එක්ව ක්ෂේත්‍ර අත්හදා බැලීම් හා අාදර්ශන සිදු කරන ලදී. ඉන් ලබාගත් ප්‍රථිපල අනුව මිහිරිගම පල්ලෙවෙල කෘෂිකර්ම උපද්ෂක කොට්ඨාෂයේ ගොවීන් 40 කට අාසන්න ගණනක් විසින් අක්කර 20ක පමණ වපසරියක් 2018 යල් කන්නයේදී වගා කරන ලදී. මෙහිදී අදාළ කාබනික පොහොර ප්‍රමාණය හා දියර පොහොර යැයි කියමින් යෙදවුම් කට්ටලයක් රුපියල් 4000 ක මුදලකට එම අායතනය විසින් ලබා දෙන ලදී. එහිදී පොහොර සහනාධාරය යටත් ගොවි කණ්ඩායම වෙත ලැබීය යුතු සහනය ලබා දීමද සිදු නොවුනි. පසුව කළ විමසීමකදී එම මුදල් ලබා නොදීමට තීරණය කර අැති බව අායතනයේ සේවකයෙක් විසින් පවසන ලදී.
    තවද එම කන්නයේදී අැති වූ පළිබෝධ හානි නිසාද ගොවියන් අපහසු තාවයට පත් විය. ගොම පැළ අවදිීද රසායනික වල් නාශක යෙදීමට එම අායතනයේ පුහුණු උපදේශක වරයෙක් විසින් උපදෙස් දී අැත. මෙම කරුණු හා තවත් බොහෝ කරුණු රාශියක් හේතුවෙන් මෙම 2018_19 මාස් කන්නයේදී කාබනික වගාවෙන් ඉවත්වීමට ගොවි කණ්ඩායම තීරණය කරන ලදී.

  2. වස විස නැති දේ ගොවීන්, පාරිභෝගිකයා වෙත ලගාකිරීම වඩා අගනේය.නමුත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වු ක්‍රමවේදයේ ගැටලුව හා ක්‍රියාත්මක කරන්නන්ගේ අඩුපාඩු නිසා මේ වැඩසටහන අසාර්ථක විය…..
    ගොවියාට නිලධාරීන්ට වැඩපිලිවෙල එපාම කරවිය.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාබනික වැඩසටහන අදටත් ක්‍රියාත්මක කරයි…. ඒ ඒ බව මනා දැනුමකින් ක්‍රියාත්මක කල නිසාය…ගොවීන් ද දෙපාර්තමේන්තුව සමග නිබදව බැදෙමින් දකුණු පලාත තුල කාබනික සහල් නිෂ්පාදනයේ යෙදී සිටි….දකුණු පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග කතාකරන්න ඒ බව හොදින් සාක්ෂිදරනවා ඇත

LEAVE A REPLY

Previous articleදැන් මම සීෂෙල්ස් රාජ්‍යයේ විගණකාධිපති - ගාමිණී හේරත්
Next articleජගත් සංවිධානය ආපහු එවන හමුදා නිලධාරියා යළි සේවයට?