මෙරට සංවර්ධනයේ මාහැඟි බලා‍පොරොත්තු ඉටු කරමින් තවත් අධිවේගී මාර්ගයක ඉදිකිරීම් නිම කිරීමට ආසන්නව ඇත. පැය ගණනාවක් ගත කරමින් කතරගම ගිය යුගය අවසන් කර ඉතාම කෙටි වේලාවකින් හම්බන්තොටට ළඟාවිය හැකි මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ පළමු අදියරේ වැඩ කටයුතු මේ වනවිට අවසන් කෙරෙමින් පවතියි.
කිලෝමීටර් අනූ හයක් වන මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ පළමු අදියර මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස කිලෝමීටර් තිහකි. එය මාතර ගොඩගමින් අවසන් වන අධිවේගී මාර්ගයෙන් බෙදී යන කොටසක් ලෙස ඉදිකර තිබේ.Untitled-11

පළමු අදියර යටතේ ගොඩගම, අපරැක්ක සහ බෙලිඅත්ත ප්‍රදේශවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදි කෙරෙන අතර මෙම අධිවේගී මාර්ගයේ වැඩකටයුතුවලින් සියයට අසූවකට වඩා මේ වනවිට අවසන් කර ඇත. මාතර සිට බෙලිඅත්ත දක්වා අධිවේගී මාර්ගයේ විශේෂත්වය වන්නේ එහි දිග ප්‍රමාණයෙන් තුනෙන් එකක් ඉදිවී තිබෙන්නේ දිගු පාලම් මතින් වීමයි. නිල්වලා ගං මිටියාවතේ නිතර ඇතිවන ගංවතුර තත්ත්වයන් වළක්වා ගැනීමටත්, ඒ අවට කුඹුරු ඉඩම්වලට වන හානිය අවම කරගැනීමටත් අපේක්ෂාවෙන් කණු මතින් පාලම් ඉදිකිරීමට සැලසුම් කර ඉදිකිරීම් නිමවා තිබේ. නිල්වලා ජල‍පෝෂක ප්‍රදේශයේ කඩොලාන සහ වගුරු සහිත ප්‍රදේශ ආරක්ෂා වන පරිදි මාර්ගය නිම කිරීම වෙනුවෙන් විශේෂිත ක්‍රම සම්පාදනය කරනු ලැබිය. කණු මතින් පාලම් ඉදිකිරීම පිරිවැය අධික කටයුත්තක් වුවත් මාතර නගරය ගොඩගම අන්තර් හුවමාරුව සහ ඒ අවට නිතර සිදුවන ජල ගැලීම් පාලනය කිරීම මෙහි මූලික අරමුණ වේ.

මාර්ගයේ පළමු කිලෝමීටර් දහතුන අස්ථාවර පසක් සහිත ප්‍රදේශවලින් දිවෙන නිසා ඊට විසඳුමක් ලෙස කිලෝමීටර් දහය ඉක්මවූ පාලම් ඉදිකර ඇත. මාර්ගය ජනසතු කිරීමෙන් පසුව එය මෙරට මාර්ග පද්ධතියට එක්වන දිගින් වැඩිම පාලම් පද්ධතිය ලෙස වාර්තාගත වෙයි.

මෙම අධිවේගී මාර්ගය සැලසුම් කිරීමේදී මුහුණ දුන් විශාල අභියෝගයක් වන්නේ දන්දෙණිය තෙත් කලාපීය වන රක්ෂිතය මැදින් මාර්ගය ඉදිකිරීමයි. විධිමත් පාරිසරික ඇගයීමකින් පසුව රක්ෂිතයෙන් කපා ඉවත් කෙරෙන ගසක් වෙනුවට පැළ සියයක් රෝපණය කිරීමට පියවර ගනු ලැබිණ.

මේ වනවිට දිගු පාලම්වල ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන අතර මාර්ගයේ කාපට් ඇතිරීමේ කටයුතුද නිමවෙමින් තිබේ.

මාතර බෙලිඅත්ත අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලව්ෂ්ර් ෂරීෆ් මහතා.
මාතර සිට බෙලිඅත්ත දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රදේශවල ගොඩක් ගැඹුරට කළු මෘදු පසක් දකින්නට ලැබුණා. ඒ නිසා මාර්ගයේ අත්තිවාරම ශක්තිමත් කරගැනීම සඳහා නවීනතම තාක්ෂණය යොදාගනු ලැබුවා.

අපි දැනටමත් සියයට අසූ තුනක ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. මේ ව්‍යාපෘතිය වසරේ ජූලි මාසයේදී අවසන් කිරීමට නියමිතයි. මේ කාලය වනවිට අපේක්ෂිත ප්‍රගතියට වඩා හොඳ ප්‍රගතියක් අත්පත් කරගැනීමට අප සමත් වී තිබෙනවා.
මෙම මාර්ගය සඳහා විදේශීය ණය යටතේ චීන එක්සිම් බැංකුව රුපියල් බිලියන 113.8ක මුදලක් වැය කරනු ලබනවා. මේ වනවිට ‍පොළොව සම්බන්ධ කටයුතු සියයට සියයක්ම අවසන් කොට තිබෙනවා. මේ දවස්වල කාපට් කිරීම, අන්තර් හුවමාරුව ඉදිකිරීම වැනි කටයුතු සිදු කෙරෙනවා.

මෙම මාර්ගයේ කිලෝමීටර් 10.3ක ගුවන් පාලමක් තිබෙනවා. මෘදු පස් සහිත වගුරු ප්‍රදේශ පස් දාලා පිරෙව්වොත් ගංවතුර පාලනය කිරීමේ ගැටලු ඇතිවන නිසා මේ පාලම් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූවා.

ලබන වසර අවසන් වනවිට මාතර හම්බන්තොට මාර්ගයේ අනෙකුත් කොටස්වලත් අවසාන ඉදිකිරීම් කටයුතු අවසන් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙරට අධිවේගී මාර්ග පද්ධතිය සඳහා තවත් අධිවේගී මාර්ගයක් එක් කරමින් මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ පළමු අදියර 2019 වසරේ ජූලි මාසයේදී ජනසතු කිරීමට නියමිතය. එම අධිවේගී මාර්ගයේ අනෙකුත් කොටස්වල ඉදිකිරීම් කටයුතුද 2019 වසරේ දෙසැම්බර් මාසයේ ඉදි කිරීම් අවසන් කිරීමට නියමිතව තිබේ.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටු‍පොළ සහ දකුණේ ප්‍රධාන නගර මෙම අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ නගරය සමග සෘජුව සම්බන්ධ කෙරෙයි.

එය පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සහ ලබන වසරේ අවසන් කිරීමට නියමිත කෙරවලපිටිය අධිවේගී මාර්ගයටත් යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයටත් සම්බන්ධ කිරීමට නියමිතය.

මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය මාතර සිට බෙලිඅත්ත දක්වා පළමු අදියරට අමතරව බෙලිඅත්ත සිට වැටිය දක්වා කිලෝමීටර් විසි හයක කොටස දෙවැනි අදියර ලෙසත්, වැටිය සිට අන්දරවැව දක්වා කිලෝමීටර් පහළොවක කොටස තෙවැනි අදියර ලෙසත්, අන්දරවැව සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 25ක කොටස සිව්වැනි අදියර ලෙසත් ඉදි කෙරෙමින් පවතියි.
නෙරංජලා වික්‍රමසිංහ
neranjalatw@gmail.com

Untitled-13 Untitled-12 Untitled-14