අලුත් අලුත් දෑ නොතන ජාතිය ලොව නොනගී යැයි පවසන්නේ ලෝකයේ දියුණු ජාතීන් සිය දියුණුව සාක්ෂාත් කරගැනීමට නව නිපැයුම් නිරන්තරයෙන් සිදුකිරීම හේතුවෙනි.

මෙරට තුළ එවැනි නව නිපැයුම් සංස්කෘතියක් තවමත් හරිහැටි නොමැති තත්ත්වයක් තුළ පාසල් සිසුවකු කළ අපූර්ව නිර්මාණයක් පිළිබඳව වාර්තා වූයේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ කර වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ ‘සියවසක අබිමන්’ අධ්‍යාපනික ප්‍රදර්ශනයේදීය.

සියවසක අබිමන් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සියවසේ අබිමන් නැරඹීමට ගෞරවනීය ඇරයුම් ලබා සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රදර්ශන කුටියක් කුටියක් පාසා ගොස් බණ්ඩාරනායක සිසුවන්ගේ දස්කම් නරඹන්නට විය. ඒ අතරතුර උසස් පෙළ විද්‍යා සිසුන්ගේ ප්‍රදර්ශන කුටිය අසල ඔහු මඳක් නතර විය.

විද්‍යා දැනුමෙන් සන්නද්ධ වී සිටි සිසුන්ගේ එක් එක් නිමැවුම් නරඹමින් සිටි ජනපතිතුමා සිය දෙනෙතට ප්‍රබලව ග්‍රහණය වූ යම් නිර්මාණයක් අසල රැඳී ඒ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් විය. එය රොකට්ටුවකි.

කරුණු එකින් එක සොයා බලමින් ඒ පිළිබඳ විමසිලිමත්ව බැලූ කල්හි ජනපතිඳුන්ගේ පමණක් නොව, එම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණි සියලුදෙනාගේ නෙත් සිත් පැහැරගත් මෙම අපූර්ව නිර්මාණය කර තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ උසස් පෙළ ඉගෙනුම ලබන ගිහාන් කවින්ද හෙට්ටිආරච්චි සිසුවා අතිනි.

සිය නෙත් සිත් පැහැර ගත් නව නිපැයුම් කුටියේ තිබූ රොකට්ටුවේ සාඩම්බර හිමිකරු වූ ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි සිසුවාට මඳක් කිට්ටු වූ ජනාධිපතිවරයා පුතා දැන් මේකේ තව මොනවද කෙරෙන්න තියෙන්නේ යැයි විමසුවේය.
මේකේ ඔක්කොම හරි මට මේක උඩ යවාගන්න විදියක් නැතුවයි ඉන්නේ යැයි සිසුවා පැවසීය.

ඇයි මොකක්ද ප්‍රශ්නය උඩ යවා ගන්නට බැරි යැයි ජනපතිවරයා කුතුහලෙයන් විමසන අතර කොපමණ දුරක් ඉහළට මෙය ගමන් කරන්නේදැයි විමසුවේය.
කිලෝ මීටර් 20 ක් විතර යනවා යැයි සිසුවා කීවේය.
එසැණින් ජනපතිවරයා පුතා ඔයා මේක අත්හදා බැලුවේ නැද්ද යැයි විමසීය.

මාස තුනක් තිස්සේ මේක අරින්න මම අවසර ඉල්ලලා වගකිව යුතු තැන්වලට ලියුම් අරිනවා. ඒත් මට ඒ කිසිදු ආයතනයකින් අවසර ලැබුණේ නෑ. ගත් කටටම සිසුවා ජනපතිවරයා හා පැවසීය.

සිසුවා දුන් පිළිතුරින් වික්ෂිප්ත වූ ජනපතිවරයා මේ වගේ දරුවෝ හොයාගෙන ඇවිත්නේ උදව් කරන්න ඕනේ. යැයි කියමින් තව තවත් ඔහු හා පිළිසඳරේ යෙදෙන්නට විය.

හරි පුතා. ඔයා දැන් ලියුම් ලිව්වා ඇති. ඔයා දැන් ලියුම් ලියන එක නවත්වත්න. මේ රොකට් එක යවන්න හිතාගෙන ඉන්නේ කොහොමද? රොකට් එක යවන දවස තීරණය කරන්න. යැයි ජනපතිවරයා පැවසීය.

එහිදී සිසුවා තමන් රොකට්ටුව ගුවන් ගත කරන්නට සිතාගෙන ඉන්නේ කල්පිටි මුහුදු තීරයේ බව ජනපතිවරයා හා පැවසීය. තමන්ද එදින එය නැරඹීමට එන බව සිසුවාට පැවසූ ජනපතිවරයා ඔහුට එය ගුවන්ගත කිරීමට ඇති අඩුපාඩු මොනවාදැයි විමසන්නටද අමතක නොකළේය.

මම මේකට තෙල් ටික ටික ගහලා උඩ යවනවා. වරින් වර ගන්නවා. මේක හරියට කිලෝ මීටර් 20 ම යන්නම ඕනෑ නම් ගුවන් යානාවලට දාන එක්ලක්ෂ පනස් දහසක  තෙල් ඕනෑ යැයි සිසුවා පැවසීය.

ඒත් සමගම ජනපතිවරයා සිසුවාගේ කර වට අත යවමින් ඔහුගේ තුරුළට ගෙන මම ඔයාට ලක්ෂ 100ක් දෙන්නම් දරුවෝ. තවත් ඕනෙ නම් ඕනෑ තරමක් දෙනවා. ඔයා වැඩේට ලෑස්ති වෙන්න. මමත් එදාට අනිවාර්යයෙන්ම නිලධාරීනුත් එක්කම එතැනට එනවා. ඔයා මට තැනයි, දිනෙයි තීරණය කරලා මට කියන්න යැයි ජනපතිවරයා ගිහාන් කාවින්ද සිසුවාට ඉතා සෙනෙහසින් මහත් ආඩම්බරයෙන් පැවසීය.

බණ්ඩාරනායක විදුහ‍ලේ සියවස් සැමරුමේ ආරම්භක උත්සවයෙන් පසු ජනපතිවරයා නික්ම යන්නේ මහර ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට සහභාගි වන්නටය.

මම මෙතැනට පැමිණෙන්නට ඉස්සෙල්ලා බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති ප්‍රදර්ශනයකට ගියා. එම විද්‍යාලයේ දරුවෙක් නිපදවූ රොකට් එකක් පෙන්වන්න විදුහල්පති මාව එක්කගෙන ගියා. සාමාන්‍යයෙන් බැලූ විට එය ඇමෙරිකාවේ, රුසියාවේ නිපදවූ රොකට් එකක් විදිහම තමයි. ලස්සනට ස්ටෑන්ඩ් එකක් ගහලා රොකට් එක හදලා තියෙනවා. ඒ දරුවා උසස් පෙළ ළමයෙක්. යැයි එහිදී පැවසූ ජනපතිවරයා අපේ රටේ සිසුවෙක් අතින් නිමැවූ එම රොකට්ටුව පිළිබඳව මහත් ආඩම්බරයෙන් කතා කරන්නට විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කළ කතාවෙන්ම පැහැදිලි වන්නේ මෙවැනි නව නිපැයුම් කරන දරුවන් දිරිගන්වනවා වෙනුවට ඔවුන් අසහනයට හා රස්තියාදුවට පත් කිරීම තුළින් රටක් ලෙස අප සිටින්නේ කොතරම් පසුගාමී තැනකද යන්නයි.

ඒ බව මනාව පසක් වන්නේ මෙරට පාසල් සිසුවෙකු අතින් මෙවන් රොකට්ටුවක් පළමු වරට නිර්මාණය වන්නේ මෙයට වසර 60 කට ඉහතදී වූවත් තවමත් අප එකම තැන පල්වෙන ජාතියක් බවට පත්ව ඇති බැවිනි.

එදා ඒ රොකට්ටුව නිර්මාණය කරන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුන් කණ්ඩායමකි. අප ඒ නිර්මාණයට හිමිකම් කියන්නේ පළමු වරට සඳ මතට මිනිසකු පා තැබිමටත් පෙරදීය. නමුත් බලධාරීන්ගේ සහ පාලකයින්ගේ ඇස රොකට් තාක්ෂණය දියුණු කිරීමට යොමු නොවීම නිසා රටක් වශයෙන් අප පත්ව ඇත්තේ ඛිෙදනීය තත්ත්වයකටය.

එදා ඒ රොකට්ටුව නාලන්දාවේ සිසුන් නිර්මාණය කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වූ වාර්ෂික අන්තර් පාඨශාලයීය විද්‍යා ප්‍රදර්ශනය වෙනුවෙනි. අනතුරුව ඔවුන් දස වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් 1959 පෙබරවාරි 3 වෙනිදා එම රොකට්ටුව සැතපුම් 4 ක් දුර ඉහළ අහසට යවන්නේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පිහිටි පැරණි හැව්ලොව් ගොල්ෆ් පිටියේදීය. එදා එම රොකට්ටුවක් ගුවන්ගත කරන විට එය නැරඹීමට රාජ්‍ය නායකයින් මෙන්ම තානාපතිවරුන්ද ගොල්ෆ් පිටියට රැස්ව සිටීම විශේෂත්වයකි.

ඒ පිළිබඳව එදා අපේ රටේ ජනමාධ්‍ය මෙන්ම පිටරටවල ජනමාධ්‍යයද මහත් ඉඩක් ඒ වෙනුවෙන් වෙන්කර තිබිම තවත් විශේෂත්වයකි.

නාලන්දාවේ සිසුන් එදා ගුවන්ගත කළ ඒ රොකට්ටුව ගැන පාර්ලිමේන්තුවේදී පවා කථාබහට ලක්වන්නේ දිනක් පුරාවට විවාදයක්ද පවත්වමිනි. ඒ, රොකට් තාක්ෂණයෙන් අපේ රට සන්නද්ධ කිරීමටය. එය අදටත් වචනවලට පමණක් සීමා වී තිබියදී එදා එම දැවැන්ත කාර්යයට උරදුන් නාලන්දා රොකට් සංගමයේ නායකත්වය දැරෑ සිසුවා අද සිටින්නේ ලෝකයම ජයගෙනය.

ඔහු මහාචාර්ය පද්මජීව ගණේ‍පොලය.
ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ වැලී රෝහ‍ලේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ ඔහුය.

1969 ජූලි 01 වැනිදා ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ 11 සඳ තරණය මෙහෙයුම යටතේ ගගනගාමී නීල් ආම්ස්ටේ‍රා්ං සහ එඩ්වින් ඕල්ඩී්‍රන් සඳ මත පා තැබිය. ඊට වසර 10කට පෙර එනම් මීට වසර 60කට පෙර මහාචාර්ය පද්මජීව ගණේ‍පොළ මහතාට තිබූ විද්‍යාත්මක ඥානය සමස්ත පාසල් පද්ධතිය හරහා වැඩිදියුණු කළේ නම් මේ වන විට ශ්‍රී ලංකාව අඩුම තරමින්  අසල්වාසි ඉන්දියාවේ මෙන් රොකට් තාක්ෂණයේ දියුණු තත්ත්වයකට පත්වීමට  හෝ ඊට එහා ගිය තැනකට යන්නට තිබුණු ඉඩකඩ බොහෝය. නමුත් රටේ අවාසනාවකට සිදුවූයේ කටින් බතල සිටුවීමක් පමණි.

අද වන විට ලෝකයේ බලවත් තැනක් හිමිකරගෙන සිටින ඉන්දියාවට රොකට් තාක්ෂණය හඳුන්වා දෙන්නේ ආචාර්ය වික්‍රම් සාජා බායිය. ඒ 1963 වසරේදීය. ඉන්දියාවේ පළමු රොකට්ටුව උඩු ගුවනට යැවීම සඳහා ඔහු එය රැගෙන ගියේ තම පාපැදියේ බැඳගෙනය. නමුත් අද ඉන්දියාව රොකට් තාක්ෂණය අතින් ඉහළටම පැමිණ තිබෙන්නේ එහි පාලකයින්ගේ නිවැරදි දූරදර්ශී තීන්දු නිසා බව නම් පැහැදිලිය.

1959 වසරේදී මෙරට ප්‍රථම රොකට්ටුව ගුවන්ගත කළ මොහොතේ පටන් එය වැඩිදියුණු කිරීමට තාක්ෂණයේ සහය පාලකයින්ගේ කට වචනයට පමණක් සීමා නොවී ලැබුණේ නම් අද වන විට බණ්ඩාරනායකයේ ගිහාන්ලා සිටින්නේ කිලෝ මීටර් 20 ක් උඩු ගුවනට යන රොකට්ටුවක් නිර්මාණය කරමින් නොව, සිතා ගැනීමටත් නොහැකි අයුරින් රොකට් තාක්ෂණයෙන් විශ්වයම ජයගෙනය.

 ලංකාවෙ රොකට් එකක් කවදහරි අභ්‍යවකාශයට යවනවා

කුඩා කාලයේ ඉඳලම මම දුරස්ථ පාලකයෙන් යන ගුවන් යානා හදනවා. සාමාන්‍ය පෙළ කරන අවධීයේදී ගුවන් යානා තාක්ෂණය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා. පාස‍ලේදී නව නිපැයුම් රැසක් සිදු කළා. ජාත්‍යන්තර නව නිපැයුම්රුවන්ගේ සම්මාන උළෙ‍ලේදී පවා රන් පදක්කම් ලැබුවා. සියවසක අබිමන් ප්‍රදර්ශනයටයි  මම මේ රොකට්ටුව නිර්මාණය ක‍ලේ. මේ රොකට්ටුව පැයට කිලෝමීටර් 750ක වේගයකින් ගමන් කරනවා. උස අඩි 20යි. බර කිලෝග්‍රෑම් 25යි. මේ රොකට්ටුව හදන්න අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබා ගත්තා. රොකට්ටුව සෑදීම සඳහා නාසා ආයතනයෙන් උපදෙස් ලබා ගත්තා. රොකට් තාක්ෂණය දියුණු කිරීමට සහයෝගය ලැබෙනව නම් ශ්‍රී ලංකාවේ නාමය ඉහළ තැනකට ගෙනියන්න පුළුවන්. මගේ අනාගත ඉලක්කය ශ්‍රී ලංකාවට අයත් රොකට්ටුවක් කක්ෂගත කිරීමයි.

ඉෂාර රත්නකාර

Untitled-2 Untitled-3