සෑහෙන කාලයක සිට ඔහුව රිවිසරසියේ පිටු අතරට ගේන්න අපි අවස්ථාවක් හොයමිනුයි  හිටියේ. සුදු හිම මත්තේ නිර්මාණය වුණු ‘කළු හිම’ ඒකට අපිට හොඳ අවස්ථාවක් හදලා දුන්නා. ඉතින් වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමා හරහා නිරන්තර කාර්යබහුල නිරෝෂන් විජේසිංහව මෙවර රිවිසරසි පිටු අතරට එක්වුණේ මෙහෙමයි.

කොහොමද ජීවිතේ කියලම කතාබහ පටන්ගමු?
ජීවිතේ නම් හරිම කාර්යබහුලයි.

එච්චරටම වැඩ අධිකද ඔබට?
ඔව්. සෑහෙන්න වැඩ එක දිගටම. ටෙලි නාට්‍ය, චිත්‍රපට කිහිපයකම වැඩ කරගෙන යනවා. ඊට අමතරව තව අලුතින් වැඩ පටන් ගන්න තියෙන නිර්මාණත් බොහෝයි.

ඒ කියන්නේ ඔබ අතිශය කාර්යබහුල නළුවෙක්?
එහෙම කීවත් වරදක් නැහැ. මොකද හැම නාළිකාවකම පාහේ මගේ මූණ දකින්න ලැබෙනවා. අඩුවක් නැතුව වැඩ කරන කෙනෙක් වෙලා මං.

කළු හිම ගැන කතා කරමු නේද?
උපාලි ගම්ලත්ගේ අධ්‍යක්ෂණයක් හැටියටයි කළු හිම තිරයට නැගෙන්නේ. ඒ තිරය පිටුපස අපූරු අත්දැකීම්වලින් පිරුණු ලස්සන කතාවක් තියෙනවා. මොකද එවරස්ට්වල තමයි මෙහි රූගත කිරීම් කෙරුණේ. නළුවෙක් විදිහට ලැබිය හැකි උපරිම අත්දැකීම් මම මේ හරහා ලැබුවා.

මහන්සිය තරමටම ප්‍රතිඵලත් ලැබුණා කියලා ඔබ හිතනවද?
අද වෙනකොට සමස්ත සිනමාවම මුහුණ පාලා ඉන්න මේ අර්බුදයත් එක්ක හොඳ නිර්මාණයක පැවැත්ම සීමා සහිත වෙලා. සිනමාශාලා තුළ අපිට ලැබුණු විකාශන කාලසීමාවන් සීමාවීම තුළ අපි හිතපු මට්ටමටම නිර්මාණය අරන් ආවේ නෑ. නමුත් නිර්මාණයක් විදිහට කළු හිම සාර්ථකයි.

ලැබුණු ප්‍රතිචාර ගැනත් කියමු?
ගොඩක් හොඳ, ඒ වගේම සතුටු විය හැකි මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපට ලැබුණා. කෙටි කාලයක් වුණත් ඒ කෙටි කාලය තුළ නිර්මාණය රස විඳින්න බොහෝ පිරිසක් කළු හිම වටා එකතු වුණා.

මේ දවස්වල වේදිකාවේ මොකද වෙන්නේ?
තාරාවෝ ඉගිලෙති, ජයසිරිට පිස්සු, හදන්නම බෑ කියන නිර්මාණත් එක්ක වේදිකාවෙන් නොනැවතී ගමනක් යනවා.

වේදිකා නළුවෙකුත් වෙන ඔබ රංගන ක්ෂේත්‍රයේදී පරිපූර්ණ අයෙක්ද?
මම රඟපාන්න එන්නේ වීදි නාට්‍ය හරහා. වීදියෙන් වේදිකාවට ඇවිත් වේදිකාවෙන් රූපවාහිනියට ඇවිත් රූපවාහිනියෙන් සිනමාවට ආපු මේ ගමන මාව වෘත්තීය රංගන ශිල්පියෙක් බවට පත් කරලා. තවම මම පරිපූර්ණ නෑ. නමුත් මම මේ ගමන යන්නේ ඒ පරිපූර්ණත්වය හොයාගෙන.

කොච්චර නිර්මාණවල ඔබ හිටියත් නිහඬ චරිතයක් විදිහට ඔබව දකින්න ලැබෙන්නේ ඇයි?
බොරුවට මාධ්‍ය ඉස්සරහා වීරයෙක් වෙන්න මම උත්සාහ ගන්නේ නෑ. ඒ නිසා වෙන්න ඇති මාව නිහඬ චරිතයක් හැටියට පේන්නේ.

විවිධ චරිත හඹාගෙන යන නළුවෙක්ද ඔබ?
ඔව්. මම කැමති මටම අභියෝගයක් වෙන චරිත තුළින් ඉස්සරහට එන්න. ඒ නිසාම එකම තලයකට කොටු නොවී විවිධත්වය තුළින් පරිපූර්ණත්වය ළඟාකර ගන්නයි මම උත්සාහ ගන්නේ. රඟපෑමට මට තියෙන වුවමනාව මාව දිරිගන්වමින් ඉදිරියටම අරන් යාවි.

ඔබ කවියෙක්, ඒ ගැනත් කියමු?
තව කෙනෙක්ගේ නූලකට නැටවෙන නළුවාට තමාගේම හැඟීම් ප්‍රකාශ කිරීමට කුමන හෝ කලා මාධයයක් අවශ්‍යයි. ඉතින් මම එතැනදි තෝරාගන්නේ කවිය. දැනට මගේ කවි ‍පොතක් ප්‍රකාශයට පත්වෙලයි තියෙන්නේ. තවත් ‍පොතක් නිර්මාණය වෙමින් පවතිනවා. ඊට අමතරව කෙටි කතා එකතුවකුත් හිමින් නිර්මාණය වෙනවා.

ඒ කියන්නේ ඔබ සාහිත්‍යකරුවෙක්?
ඔව්. එහෙම කීවා කියලා වැරැදද්දක් නැහැ. නළුවෙක් සාහිත්‍යකරුවෙක් වීම හරි වටිනවා. සාහිත්‍යකරුවා සහ නළුවා එකතු වුණාම හරි අපූරුවට ප්‍රේක්ෂකයාව පිනවන්න පුළුවන්.

නළුවෙක්, සාහිත්‍යකරුවෙක් වන ඔබ පෞද්ගලික ජීවිතේ මොන වගේ චරිතයක්ද?
මටම හිතාගන්න බැරි තරමට අතිශය සංවේදී චරිතයක් මම. නිස්කලංක, නිදහස් වටපිටාවට ආදරය කරන, සරල, සාමාන්‍ය වගේම නිරන්තර ‍පොතපත ඇසුරු කරන්නෙක් කීවොත් නිවැරදියි.

පෞද්ගලික ජීවිතේ විස්තර ගැනත් කතා කරමු?
මම දරු දෙන්නෙක්ගේ පියෙක්. දුවයි, පුතයි, බිරිඳයි එක්ක ගෙවන ලස්සන ජීවිතයක් මට තියෙනවා. බිරිඳ කලාවට සම්බන්ධ අයෙක් නම් ‍නෙවෙයි.

අනාගතේ ගැන හීන ඇති ඔබට. ඒ ගැනත් කියමු?
මට ලොකු අනාගත බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ තමයි දවසක නිර්මාණකරණයට යොමු වීමේ බලා‍පොරොත්තුව. ඉතින් ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය තුළින් ඒ හීනයත් සැබෑවක් වේවි.

නඳුනි ආරියවංශ