අවුරුදු කුමරා තරගය හරහා රංගනයට වරම් හිමි කරගත් ලක්සිත් මේ දිනවල ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වන දෙවැනි ඉනිම හරහා ඔබේ ආලින්දයට පැමිණෙනවා. තවමත් රංගනයට කෝඩුකාර ඔහු සමග ටිකක් කතා කරන්න රිවිසරසි අපි කල්පනා කළා.

කොහොමද රඟපෑම් කටයුතු?
දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගන කටයුතුවල තමයි නිරත වෙමින් ඉන්නේ.

මේ ඔබේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීමද?
ඔව්. දෙවැනි ඉනිම මගේ පළමුවෙනි රංගන අත්දැකීම.

ඒ ගැන කියන්න යමක් ඇති ඔබට?
මම හිතුවේ නැහැ මගේ පළමුවෙනි රංගන අත්දැකීම මේ තරම් ජනප්‍රිය නිර්මාණයක් තුළින් එළියට ඒවි කියලා. ඉතින් තවම ක්ෂේත්‍රයට අඩිය තියපු නවකයෙක් විදිහට ඒ ගැන මට නිහතමානී සතුටක් තියෙනවා.

ඒ චරිතය මොන වගේද ඔබට දැනෙන්නෙ?
ආදරේ බලෙන් ලබාගන්න උත්සාහ කරන චරිතයක්නේ මම එහි රඟපාන්නේ. නමුත් හැබෑ ජීවිතේ නම් මම එහෙම කෙනෙක් නමෛයි. ඒත් මේ චරිතය මම මගේ උපරිමය ඉටු කරනවා කියලා හිතනවා.

කොහොමද ඔබට රඟපාන්න එන්න අවස්ථාව ලැබෙන්නෙ?
2017 වසරෙත් 2018 වසරෙත් මම අවුරුදු කුමරා තරගයට සහභාගි වෙනවා. 2017 දී අවසාන 15 දෙනා අතරටත් 2018 දෙරණ අවුරුදු කුමරා තරගයේ අවසාන දොළොස් දෙනා අතරටත් එනවා. ඉතින් එහිදී මේ දොළොස් දෙනාව තිර පර්යේෂණයකට කැඳවනවා. ඒ විදිහට ලැබුණ අවස්ථාවක් හරහා තමයි මට රඟපාන්න එන්න අවස්ථාව ලැබෙන්නේ.

ලක්සිත් හීන දැක්කෙත් දවසක නළුවෙක් වෙන්නද?
‍පොඩි කා‍ලේ නම් එහෙම හීනයක් තිබුණේ නැහැ. පරිගණක තාක්ෂණය සහ සංගීතයට තමයි මම වඩාත් ලැදියාවක් දැක්වූයේ.

මොකද හිතෙන්නෙ මේ ක්ෂේත්‍රය ගැන?
අපි හරියට ඉන්නවා නම් දුර ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක් මේක.

ප්‍රවීණයන්ගේ සහයෝගය එහෙමත් ලැබෙනවා ඇති?
ඔව්. හැමෝගෙම සහයෝගය, ඒ වගේම සුහදත්වය අඩුවක් නැතුව ලැබෙනවා. ඒක ලොකු හයියක් අපි වගේ අයට ඉදිරියට යන්න.

නව ආරාධනා ලැබුණ නිර්මාණ තියෙනවාද?
තවම ආරෘධනා නම් ලැබිලා නැහැ. නමුත් ඉදිරියේදී තවත් ආරාධනා ලැබෙයි කියලා බලා‍පොරොත්තු වෙනවා.

දිගටම මේ ක්ෂේත්‍රයේම රැඳෙන්නද කල්පනාව?
ඇත්තටම ඔව්. මොකද රඟපාන්න ආවාට පස්සේ ඒ ගැන ලොකු ආසාවක් ඇති වුණා. ඉතින් දිගටම රඟපාන්න බලා‍පොරොත්තු වෙනවා.

ස්තුති කළ යුතු පිරිස ගැනත් කියමු?
විශේෂයෙන්ම මගේ පවු‍ලේ සියලු දෙනාටම ස්තුති කළ යුතුයි. ඒ වගේම දවෛනි ඉනිම අධ්‍යක්ෂතුමා ඇතුළු එහි සියලුම පිරිසට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මේ ගමන එන්න උදව් කළ ආදරණීයයන් පිරිසක් ඉන්නවා. ඔවුන් හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න මම කැමැතියි.

නඳුනි ආරියවංශ