* හිරු මෙගා ස්ටාර් ජයග්‍රහණයත් එක්ක දැනෙන සතුට විස්තර කළොත්?
ඇත්තටම සතුට කියා නිම කළ නොහැකියි. මමයි රනිලුයි සලකන්නේ මේ ජයග්‍රහණය ලොකු වාසනාවක් විදිහටයි. මේ තරගය සඳහා කලාකරුවන් අසූ දෙනෙක් තරග කළා. ඒ නිසා අවසන් මහා තරගයට ඇවිත් එයින් ජයග්‍රහණය කරන්න ලැබිමත් ලොකු භාග්‍යයක්. අපේ පිටිපස්සේ හුඟ දෙනෙක්ගේ ශක්තියත් ආශීර්වාදයත් තිබුණා; සහ අපි දෙන්නා මේ තරගෙට ඉදිරිපත් වුනේ ජයග්‍රහණයක් බලාගෙන නොවෙයි. ඒ කා‍ලේ තිබුණ කාර්යබහුලත්වයත් එක්ක අවසාන වටයට යන්න පුළුවන් වෙයිද කියලා අපිටවත් විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් පළවෙනි වටය අවසාන වෙනකොට සහ එකින් එක තරග වට ජයග්‍රහණය කරගෙන යනකොට ලොකු වගකීමක් දැනුණා. ජයග්‍රහණය වෙනුවෙන් ඇත්තටම සටන් කරන්න හැඟීමක් ආවා.

* හිරු මෙගාස්ටාර් වෙනුවෙන් කරපු කැප කිරීම ගැන කතා කළොත්?
මම නර්තන ශිල්පිනියක්, ගුරුවරයෙක් විදිහට මට ලැබිලා තිබෙන අවස්ථාව පුළුවන් උපරිමයෙන්ම කරන්න උත්සාහ කළා. ඒ නිසාම සාම්ප්‍රදායිකව නර්තනයන් වගේම අලුත් අලුත් දේ කරන්නත් උත්සාහ කළා. නර්තනය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරන්න මම උත්සාහ කළා. එහෙම උත්සාහ කරලා කැප කිරීම් කරලා තමයි අපි මේ අවසන් තරගාවලිය වෙනකම් ආවේ. රනිල්ගෙයි මගෙයි දෙන්නාගේම අදහස වුණේ කරන වැඩේ හරියට කළ යුතුයි කියන එකයි. එය ඉතාම සාර්ථක වුණා කිව්වොත් හරි.

* මේ දවස්වල මිණිගන් දෑල ටෙලි නාට්‍යයේ වෙනස්ම චරිතයක් නිරූපණය කරනවා නේද?
මිණිගංදෑල ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා තමයි මට මේ චරිතයට ආරාධනා කළේ. වෙනස්ම ආරක ටෙලි නාට්‍යයක් කිව්වොත් ්හරි. ඒ චරිතය තුළ තරුණ කා‍ලේ ඉඳලා වයසට යනකන්ම චරිතය ගලා යනවා. දරුවෙක් නැතිව ජීවත් වෙන කාන්තාවක් විදිහට මගේ දක්ෂතා එළිදක්වන්න හොඳ අවස්ථාවක් ලැබුණා. මම හිතනවා මේ චරිතය ප්‍රේක්ෂකයෝ ඉතා හොඳින් ආකර්ෂණය කර ගත්තා කියලා. මිණිගංදෑල කියන්නේ මගේ කලා ජීවිතේ වෙනස්ම පැත්තකට අරගෙන ගිය ටෙලි නාට්‍යයක් කිව්වොත් හරි.

* මිණිගංදෑලට අමතරව මොනවද අලුත් කලා තොරතුරු?
මේ දවස්වල ටී.වී. එකේ උරුමයක අරගලය ටෙලි නාට්‍යය විකාශනය වෙනවා. වීර පුරන් අප්පුගේ බිරිඳගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඇත්තටම මම හරිම ආසාවෙන් රඟපාන තිර පිටපතක් තමයි උරුමයක අරගලය කියන්නේ. ඊට අමතරව ‘කරැලි’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. රනිල්ගෙයි මගෙයි ටෙලි නාට්‍යයේ නැවත රූපගත කිරීම් ලබන 20 වැනිදා ආරම්භ කරනවා.

* ‘පූරි’ ටෙලි නාට්‍යය රනිල්ගේ පළමු අධ්‍යක්ෂණය. ඔබත් එහි රඟපානවා. කොහොමද මේ අත්දැකීම?
ඇත්තටම පූරි අධ්‍යක්ෂණය කරන්නේ රනිල් නිසා එයාගේ සිහිනය ආසාව කැපවීම වෙනුවෙන් පසුබිමේ ඉඳලා මම උපරිමයෙන් සහාය දුන්නා. ඒ පිටපත ගොඩ කාලෙකට කලින් එයාගේ හිතට ආපු දෙයක්. පූරි මේ වෙනකොට විකාශනය වෙලා තිබෙන කොටස් ගාණට මම රනිල් සහ පූරි කණ්ඩායමටම තෘප්තිමත් වෙන්න පුළුවන්.

රනිල් කියන්නේ හොඳ නිර්මාණ හැකියාවක් තිබෙන කෙනෙක්. මම ඔහුගේ බිරිඳ නිසා එහෙම කියනවා ‍නෙවෙයි. මම හොඳ සම්මානලාභී අධ්‍යක්ෂවරුන් යටතේ නිර්මාණවලට දායක වුණ කෙනෙක්. ඒ නිසා රනිල්ගේ නිර්මාණවල තිබෙන අමුතු වෙනස් විදිහේ රහස් නිසා තමයි පූරි මේ තරම් සාර්ථක වෙලා තිබෙන්නේ.

මේ කා‍ලේ මම එළියට ගියත් මගේ රසිකයෝ මට කතා කරන්නේ පූරි කියන නමින්. ඒ නිසා මට දැනෙනවා පූරි කොයි තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තියෙනවාද කියලා.

මම ගොඩක් කැමැත්තෙන් හිටියා මම රඟපාන චරිතෙක නමකින් ප්‍රේක්ෂකයෝ මට කතා කරනකල්. ඒ ආසාව ඉටු වුණා. අමුතු කලාවක් එක්ක මිනිස්සු අතරට ගිය නිසා පූරි මේ කාලයේ වෙනස්ම ටෙලි නාට්‍යයක් වුණා.

* රනිල් කියන නිර්මාණවේදියා ඔබ දකින්නේ කොහොමද?
රනිල් ඉදිරියේදී හොඳ නිර්මාණවේදියෙක් වෙයි. ඒක මගේත් එකම ප්‍රාර්ථනාව වගේම ඔහුට ඒ හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් මගෙන් වෙන්න ඕන උපරිම සහාය මම අනිවාර්යයෙන්ම දෙනවා. ඔහුගේ පූරි අධ්‍යක්ෂණයේදී රනිල් කොයිම වෙලාවකවත් මාවයි පූරිවයි පටලවා ගත්තේ නැහැ. පවුල් ජීවිතෙයි කලාවයි පටලවා ගත්තෙත් නැහැ. පූරි රූගත කිරීම්වලදී මට කියලා වෙනම විශේෂත්වයක් දැක්වූවෙත් නැහැ. මම ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.

* මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක පෞද්ගලික ජීවිතේ ගලාගෙන යන්නේ කොහොමද?
අපි දෙන්නගේ පෞද්ගලික ජීවිතේ බොහොම නිදහසේ සතුටින් ගලාගෙන යනවා. අපි දෙන්නා හැම වැඩක්ම එකට කරන්නේ. අපි අපේ රැකියාවේ වැඩ බොහොම ලස්සනට බෙදාගෙන කරගෙන යනවා. මගේ වැඩකටයුතුත් එක්ක හැම වෙ‍ලේම පවුල් ජීවිතේට සහ රනිල්ට මුල් තැන හිමි වෙනවා. මගේ නිර්මාණ වැඩත් එක්ක වුණත් රනිල්ගේ සියලු වැඩ ටික කරලා තමයි මම ගෙදරත් යන්නේ. හැම තැනම නිතරම එකට ඉන්න නිසා අපි දෙන්නටම කාර්යබහුලත්වය ලොකුවට දැනෙන්නෙ නැහැ.