ලංකාවේ ප්‍රථම සංගීත මහාචාර්යවරිය මෙන්ම මුද්‍රා නාට්‍ය නිළියක් වූ අමරා රණතුංග මහත්මිය කෙටි කාලයක් අසනීපව සිටි අතර පසුගිය 18 වනදා හදිසියේ හෘදයාබාධයක් වැලඳීමෙන්  කොළඹ මහ රෝහ‍ලේදී අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට හැත්තෑ නව වන වියේ (79) පසු වූ අමරා සංගීතඥයකු මෙන්ම ප්‍රවීණ ගායකයෙකු වූ මහාචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳය. පුතුන් දෙදෙනෙක්ගේ සහ දියණියකගේ මවකි. හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ උපන් ඇය ඉගෙනීම ලැබුවේ හංවැල්ල මධ්‍යමහා විද්‍යාලයෙනි.  එවකට කලායතනයේ සංගීතය හැදෑරු ඇය අනතුරුව ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයේ  දී සහ කැලිෆෝනියන් විශ්වවිද්‍යාලයෙන්ද සංගීතය හැදෑරුවාය. පෙරළා ලංකාවට පැමිණීමෙන් පසු මීගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථම සංගීත ගුරුවරිය ලෙසින් ඈ වැඩ භාරගත්තාය.

ඩී.එම්. කොළඹගේ මහතා ගුවන් විදුලි සභාපති ලෙසින් කටයුතු කරන කාලයේ අමරා රණතුංග ළමා පිටියේ ගායිකාවක් වූවාය. අනතුරුව ශාස්ත්‍රීය හා සරල ගී ගායිකාවක ලෙසින් දස්කම් පෑවාය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත ගුරුවරිය වූ අමරා  ගුවන් විදුලියේ විවිධ වැඩසටහන්වලට නැතුවම බැරි ගායිකාවක් බවට පත්වූවාය. ඇය ගායනා කළ ගී අතරින් සුලෝචනා, සපුමල් සුවඳක්සේ, මහ රෑ යාමේ, පාළු පැ‍ලේ, රන්වන් එරන්වන්, චාමර පවන් සලා, උපුල්, උපුලි, දොන්ත දොං තරිකිට වඩාත් ජනප්‍රිය වූ ගීතයන්ය.  මහ රෑ යාමේ, පාළු පැ‍ලේ සුලෝචනා ගීතයන්ට සංගීත ලෝලයන් කැමැත්ත දැක්වූහ. අමරා  රුවැති ළඳක්ව සිටිය දී මුද්‍රා නාට්‍ය  ප්‍රධාන චරිතය පණගන්වමින් සිටියදී එය නැරඹීමට එක්වී සිටි දයාරත්න රණතුංග ඒ රුවට ආදරේ කරමින් සදහටම ඇයව ඔහු සතුකර ගත්තේය. ඉන් පසු ඔහු සමග ගැයූ යුග ගීත අතරින් ඊයේ  රෑ ඔබ සිහිනෙන් දෙඩූ සහ නිදි නැති රෑ යාමේ මා හැඬවූ ගීත දෙක ගායනා කිරීමෙන් පසු සංගීතලෝලින්ගේ හදවත් තුළ  මෙම යුවළ ලැගුම් ගත්හ. ‘සාරංග’ නමින් කරන ලද ගී ප්‍රසංගයේදී කිරි කවඩි, රඟහල අවසන්, සමකෝනි, පීරා රැළි ගංගාවේ, සැන්දෑ  අහසේ ගීිත ගායනා කළේ  ගීතය නව මගකට යොමු කරමිනි. ‍පොප් සංගීතය  සහ ශාස්ත්‍රීය සංගිතය ප්‍රියකරන අය වශයෙන් දෙකොටසකට බෙදී සංගීතලෝලීන් පිනවීමට හැකි බව පෙන්නූ ගායිකාවකි අමරා රණතුංග.

සංගීත ගුරුවරියක ලෙසින් බාල තරුණ පරපුර ඉදිරියට යාමට අතදුන් අමරා තම ස්වාමියා වූ දයාරත්න සමග තරුණ පරපුරට  සංගීතය ඉගැන්වූයේ මුදල් බලා‍පොරොත්තුව නොවේ. අපි ඉගෙනගත් දෙයින් අපේ රටේ ජනතාවට සේවයක් කළ යුතුයි. යන මතයෙන් කටයුතු කළ ඇයට සංගීතයෙන් තොර ජීවිතයක් තිබුණේ නැති බව දනිමි. 2019 ජනවාරි පහළොව රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ සමරු ප්‍රසංගයක්  පැවැත්වීම සඳහා පැමිණි ගායිකාවන් කිහිප දෙනෙකුට  පුහුණුවක් අවශ්‍ය බවත්  ඒ සඳහා  ආධාර කිරීමටත්  අපි ඒක කර දිය යුතුයි පුහුණු වන දිනයක් යොදාගන්න මම එන්නම් යැයි ඇය ‍පොරොන්දු වූවාය.  එම ‍පොරොන්දුව ඉටු කිරීමට අවස්ථාව මරුවා විසින් ලබා නොදුණි.

තම හැකියාවන් තුළින් ජනතාව අතරට ගිය ඇය හිස උදුම්මා නොගත් විශිෂ්ට ගණයේ ගායිකාවක් බව ප්‍රකාශ කළ යුතුය. මොනවා හෝ වචන ටිකක් ලියවාගෙන ගායනා කිරීමට නොගිය ඇය ගයන්නට පෙර එහි වචන කියවා බැලීම පුරුද්දක් කරගෙන තිබිණි. ගීතයෙන් සමාජය යහමගට ගත හැකි බව පිළිගත් ඇය තමා ගායනා කරන ගීතයන්ට සාධාරණයක්  ඉටු කිරීමට වෙහෙස ගත් ගායිකාවකි.