ඔබ දායක වුණ අලුත් නිර්මාණ ගැන කතා කළොත්?
ටෙලි නාට්‍ය හතරක් විකාශනය වෙන්න නියමිතව තිබෙනවා.  චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘උයනට මල් ගේන්න’ ටෙලි නාට්‍යය ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දුගේ මා ද ඔබම විය ටෙලි නාට්‍යය චන්ද්‍රරත්න මාපිටිගම ගේම බලය ඇවිත් ටෙලිනාට්‍යය, ඒ වගේම ක්‍රිස්ටි අයියාගේ නව ටෙලිනාට්‍යයක් එක්කම සහන් විජේසිංහගේ පාට පාට බැලුම් බෝල කියන ටෙලිනාට්‍යය විකාශනය වෙන්න නියමිතයි.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසුන මුල් කාලය හා වර්තමානය සංසන්දනය කරනකොට දැනෙන වෙනස කොහොමද?
මම ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු දහ අටක් වෙනවා.  මම ක්ෂේත්‍රයට ආපු කා‍ලේ සහ දැන් කා‍ලේ අතරලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම මම දැන් නිර්මාණවලට දායක වෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ කලා ක්ෂේත්‍රය අතහැරලා ‍නෙවෙයි. මේ යන විදිහත් එක්ක ටිකක් වැඩකරන්න අමාරුයි.

නිර්මාණයකට දායක වෙද්දි මුලින්ම මම තෘප්තිමත් විය යුතුයි. …වැඩකරන පිරිස, පිටපත අධ්‍යක්ෂවරයා වැනි දේ පිළිබඳව මම තෘප්තිමත් වුණොත් තමයි මාගෙත් හොඳ චරිතයක් බිහිවෙන්නේ.

දැන් යන විදිහත් එක්ක දිනපතා ක්‍රමය මට හරිම හුරුයි. මම හිමින් ගමනක් ආපු කෙනෙක්. මගේ ප්‍රතිපත්තියක් විදිහට එක වරකට ඒක නිර්මාණයක් තමයි භාර ගන්නේ.

වර්තමාන නිර්මාණකරණයේ ඔබ දකින සංකීර්ණත්වය මොන වගේද?
අපි මුල් කා‍ලේ ටෙලි නිර්මාණයක් භාර ගත්තම දුර පළාත්වල ගිහින් එක දිගට  ඒ නිර්මාණය සම්පූර්ණ කරනවා. දැන් එහෙම ‍නෙවෙයි. දැන් දින ගණන අනුව නිර්මාණ කිහිපයක් වුණත් එකට කරන තත්ත්වයක් තියෙන්නේ. සමහර වෙලාවකට ලොකේෂන් එකට ගියහම තමයි පිටපත ලැබෙන්නේ. තවත් සමහර අවස්ථාවල ටෙලිනාට්‍යයේ මුල මැදඅග වත් දන්නේ නැහැ.

මෙගා ටෙලිනාට්‍ය කිහිපයක් තුළින් ඔබ ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඇයි දැන් මෙගා නිර්මාණවල දකින්න නැත්තේ?
මෙගා ටෙලිනාට්‍යවල වරදක් මම දකින්නේ නැහැ. ගොඩක් පිරිසකට වැඩකරන්න ලැබෙනවා. ඉතා දීර්ඝ වශයෙන් ඇදි ඇදී යන්න ගියහම තමයි  ප්‍රේක්ෂකයින් වුණත් ප්‍රතික්ෂේප කරන්නෙ. ඉස්සරම ටෙලිනාට්‍ය කොටස් 25යි තිහයි. කොටස් සීයක් වුණත් කමක් නැහැ. නමුත් පිටපතක් නොමැතිව පටන් ගන්න ඒවා තමයි ප්‍රේක්ෂකයින් අතරමං කරන්නේ.

මේ දීර්ඝ ගමන් මගේ මතකහිටින චරිත ගැන කිව්වොත්?
මගේ පළවෙනි ටෙලිනාට්‍ය තුසිත ද  සිල්වාගේ ඇන්ගෝරා කියන එක. මගේදවෛනි ටෙලි නාට්‍ය නේත්‍රා මංගල්‍යය සුමිත් කුමාර මහතාගේ. ඒ නාට්‍යයේ කුමාර චරිතයෙන් තමයි අනුරාධා උදයංගනී කියලා ප්‍රේක්ෂකයෝ මාව හඳුනාගත්තෙ. ඊට පස්සේ දඹකොළ පටුන, නැව් තනන්නාගේ පුත්‍රයා,  සමර්ථා වගේම මෙගා නාට්‍ය වන වසූදා, කාව්‍යයා වැනි නාට්‍යවල චරිතත් ඉතාම ප්‍රේක්ෂක ආකර්ෂණීය චරිත වුණා.

ටෙලි නාට්‍ය  කලාවෙන් ඔබ්බට වේදිකා නාට්‍යවලට යොමු නොවෙන්නේ ඇයි?
වේදිකා නාට්‍ය තුනකට සම්බන්ධ වුණා. දෙබිඩි, කල්වාරියේ දෝංකාරය සහ නැව් තනන්නාගේ පුත්‍රයා යන  වේදිකා නාට්‍ය කළා. වේදිකා නාට්‍යය කරන්න ආසයි.  ඒ වුණත් ගොඩක් වෙලාවට ඇතැම් නිෂ්පාදකයෝ පුහුණුවෙන් පසුව වේදිකා නාට්‍යය රඟ දක්වන්නේ ඉතා කෙටි කාලයයි. හොඳ නාට්‍යයක් හොඳ නිෂ්පාදකයෙක් සමග කරන්න ලැබුණොත් භාරගන්නවා.

පවු‍ලේ තොරතුරු කොහොමද?
මම පවු‍ලේ එකම දරුවා. මගේ අම්මයි, තාත්තයි හෙවනැල්ල වගේ මගේ ළඟින් ඉන්නවා. හසිත වික්‍රමරත්න මගේ සැමියා. මට මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න සහයෝගය දෙනවා. ඔහු ඡායාරූප ශිල්පියෙක්. මම  අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. මම හිතනවා මගේ වාසනාවට මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබුණේ කියලා. දැනටමත් මම ක්ෂේත්‍රයෙන් අයින් වෙලා නැහැ. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ නිර්මාණයක් ලැබුණොත් ආසාවෙන් කරනවා.

නෙරංජලා වික්‍රමසිංහ