මොනවද අලුත් තොරතුරු?
කැලණි සරසවි නාට්‍ය උළෙල පවත්වන්න සැලසුම් කරනවා. එක් චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. තවත් චිත්‍රපටයකට රූපගත කිරීම් ආරම්භ කරන්න තියෙනවා. මීට අවුරුදු දහයකට කලින් කරපු ඊඩිපස් නාට්‍යය ප්‍රති නිෂ්පාදනයක් කරන්න බලා‍පොරොත්තු වෙනවා.

පුංචි තිරයේ නිතර දකින්න නොලැබෙන්නේ ඈත්වෙලා නිසාද?
එහෙම ඈත්වීමක් නැහැ. එහෙම රංගනයෙන් දායක වෙන්න පුළුවන් නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ. එකක් ලැබිලා තියෙනවා. තවම ස්ථිර නැහැ.

ඔබෙන් වැඩි දායකත්වයක් ලැබෙන්නේ වේදිකාවට නේද?
දායකත්වය ලබාදෙන්න පුළුවන් වුණේ වේදිකාවට. මම වේදිකා නාට්‍යවල රඟපෑමෙන් වගේම අධ්‍යක්ෂණයෙනුත් දායක වෙනවා. මම අවුරුද්දකට දෙකකට සැරයක් මගේම නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. වේදිකා නාට්‍යයක් කළාම අවුරුදු තුන හතරක් පවත්වාගෙන යනවා. එතකොට නාට්‍යයත් එක්ක වැඩ කරන වෙලාව වැඩියි.

වර්තමානයේ තරුණ තරුණියන්ගේ වේදිකාවට තියෙන නැඹුරුව මොන වගේද?
වේදිකාවේ පැවැත්ම තියෙන්නේ තරුණ පරම්පරාවත් එක්ක. ඔවුන්ට අවස්ථාත් තියෙනවා යෞවන නාට්‍යවලට, රාජ්‍ය නාට්‍ය උළෙලවල්වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු දහයකට දොළහකට කලින් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උගන්වන්න ගන්නවා. විශ්වවිද්‍යාල තුළත් විභාග සඳහා නාට්‍ය නිෂ්පාදනය වෙනවා. ඒවත් සම්මාන උළෙලවල් නියෝජනය කරනවා. අද තරුණ පරම්පරාවේ සීයට අසූවක්ම විශ්වවිද්‍යාලවල ඉන්න අය.

විශ්වවිද්‍යාලවල විෂයක් ලෙස උගන්වන නිසා ස්ථාවරයක් ඇතිවෙලා තියෙනවා ඔවුන්ගේ වේදිකාවට ලබාදෙන දායකත්වය තුළ. තරුණයන් මත තමයි වේදිකාවේ අනාගතය තීන්දු වෙන්නේ. හැදෑරීමක් සහිත අද නාට්‍ය කලාව තුළ සිටින නිසයි වේදිකාව මැකිලා තියෙන්නේ. වේදිකාවේ නිතර නිතර වෙනස්කම් වෙනවා. පිරිස අඩුවැඩි වෙනවා. දිගින් දිගටම රූපවාහිනී නාට්‍ය කලාව වගේ කඩාවැටීමකට ලක්වෙන්නෙ නැහැ. වේදිකාව මිනිස්සුන්ගේ ශ්‍රමය මතයි පවතින්නේ. නාට්‍ය කලාව කියන්නේ බුද්ධිය හා හදවත කියන දෙයින් නිර්මාණය වන දෙයක්.

එදා සහ අද වෙනස මොන වගේද?
තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. අසූ අට අසූ නවය අවුරුද්ද තුළ කැරැල්ලක් තිබුණා. හැමදාම වේදිකාව රැඳුණේ එක් පිරිසක් මත. විවිධ බලපෑම් එක්ක වේදිකාවට පුළුවන් වෙලා තියෙනවා මිනිස්සු අතරට යන්න. විවිධ තේමාවන් ඔස්සේ නාට්‍ය කරන බවක් පේනවා. ඒ වගේම ස්වතන්ත්‍ර නාට්‍යවලට මුල්තැනක් දීලා පරිවර්තන නාට්‍යවලට විරෝධයක් වේදිකා නාට්‍යවලට ඇතිවෙලා තියෙනවා. අපේ නාට්‍ය කලාව දියුණු වෙන්න නම් ලෝකයේ දියුණු නාට්‍ය නිෂ්පාදනයක් වෙන්න ඕන.

පෙනුම කියන දේ රංගන ශිල්පියෙක්ට කොපමණ වැදගත්ද?
මම හිතන්නේ කායික හා මානසික අතිනුයි රංගන ශිල්පියෙක් ‍පොහොසත් වෙන්න ඕන. ලස්සන කැත සාප්කේෂ දෙයක්. හොඳ පියකරු පෙනුමක් තිබිලා නිරෝගී වුණත් වැඩක් නැහැ. හොඳ මොලොක් හදවතක් නැත්නම් හදවතෙනුයි මොළයෙනුයි තමයි හොඳ රංගන ශිල්පියෙක් බිහිවෙන්නේ.

ක්ෂේත්‍රයට එකතුවෙලා වසර කීයක් වෙනවද?
වසර තිහක් වෙනවා.
ඔබට ක්ෂේත්‍රයට එන්න අඩිතාලම වැටුණේ කොහොමද?
එකම කාලසීමාව තුළ විශ්වවිද්‍යාලයටත් එනවා. රාජ්‍ය නාට්‍ය පාසලට  යනවා. එහිදී ගාමිණී හත්තෙට්ටෙගම, සෝමලතා සුබසිංහ, මහාචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධනයනුත් මට මුණගැහෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා හා යොවුන් රංග පීඨයේ ධම්මජාගොඩ මහත්තයගේ රංග ශිල්ප ශාලිකාවටයි ගාමිණි මහත්තයගේ වීදි නාට්‍ය කණ්ඩායමටයි එකවර සම්බන්ධ වෙනවා. එතනින් තමයි වේදිකාවට එන්නේ. සිනමාව රූපවාහිනියට එන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙසයි. වසන්ත  ඔබේසේකරයන්ගේ ටෙලිනාට්‍යවලටත් රංගනයෙන් දායකවෙනවා.

වේදිකාවේ නිතර දකින්න ලැබෙන මුහුණු අපට ටෙලිනාට්‍යවල, චිත්‍රපටවල දකින්න නොලැබෙන්නේ ඇයි?
එදාට වඩා අද වේදිකාවේ දකින්න ලැබෙන  මුහුණු, ටෙලිනාට්‍යවල දකින්න ලැබෙනවා. මෑත කාලයේ ටෙලිනාට්‍ය කඩා වැටීමකට ලක්වෙනවා.

මෑත අවුරුදු දෙක තුළ ටෙලිනාට්‍ය කතාබහට ලක්වෙන්න පටන් අරගෙන තියෙනවා. වේදිකා නාට්‍යශිල්පීන් සම්බන්ධ කරගත්තම ටෙලිනාට්‍යට ආකර්ෂණයක් වගේම රූපගත කිරීමේ පහසුවකුත් තියෙනවා. වේදිකා නාට්‍යශිල්පීන් කියන්නේ වෘත්තියක් විදියට කරන්න  පුළුවන් දෙයක් ‍නෙවෙයි. ඒ නිසා වෘත්තියක් විදියට කරන්න ඔවුන් ටෙලිවිෂනයට  එකතු වෙනවා. වේදිකාවේ ඉන්න ශිල්පීන්ගේ පැවැත්මට  ටෙලිවිෂනය වැදගත්. අද ඔවුන්ට ටෙලිවිෂනයට සම්බන්ධ වෙන අවශ්‍යතාව වැඩිවෙලා තියෙනවා.

ඔබ කාවහරි අනුකරණය කරනවද?
නැහැ. මම කිසි කෙනෙක්ව අනුකරණය කරන්නෙ නැහැ. කවුරුත් කියලා නැහැ. මම අරයා වගේ රඟපානවා කියලා. මම හැම රටකම චිත්‍රපට රසවිඳිනවා.  ඒ නළුවන් හැම කෙනාගේම දෙයක්ම මගේ රංගනයට දෙයක් එකතු කරගන්නවා.

වෘත්තියෙන් විශ්විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස වැඩකරද්දි කොහොමද මේ සියලු දේවල් සමබරව කරගෙන යන්නේ?
මම ටෙලිනාට්‍යයක, චිත්‍රපටයක, වේදිකා නාට්‍යයක රඟපෑවත් ඒ ‍පෝෂණය  දෙන්නේ විශ්වවිද්‍යාලයම තමයි. අපි  අනෙක් අයට වඩා වාසනාවන්තයි. මොකද අපේ වෘත්තියයි විනෝදාංශයයි දෙකම එකක්. මම විශ්වවිද්‍යාලයේ කරන ඒවා ගෙදරට ගෙනියන්නෙත් නැහැ. ගෙදර වැඩ විශ්වවිද්‍යාලයට ගෙනියන්නෙත් නැහැ. රූගත කිරීම්වලට ඒ දෙකේම වැඩ අරගෙන යන්නෙ නැහැ. අපි  කාලය කියන දේ හොඳින් කළමනාකරණය කරගත්තොත් මේ වැඩවලට යෙදෙන එක අමාරු දෙයක් නොවෙයි. අද වර්තමාන පරපුරට අමාරුම දෙයක් තමයි මේ කාලය බෙදාගැනීම. අපි පුරුදුවෙලා තියෙන්නේ කාලය කළමනාකරණය කරන නිසා ගැටලුවක් ඇතිවෙලා නැහැ.

චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය නිර්මාණකරණයට යොමුවෙන්න අදහසක් නැද්ද?
ඇත්තටම තියෙනවා. චිත්‍රපටයකුත් ටෙලි නාට්‍යයකුත්  ලියාගෙන ඉන්නවා. වර්තමාන තත්ත්වය  එක්ක නිෂ්පාදකයෙක් හොයාගැනීමේ අපහසුවක් තියෙනවා.  නිර්මාණකරණයට යොමුවීම ප්‍රමාද වෙලා තියෙන්නේ. ආසාව නොමැතිකමවත්, නොහැකියාවවත් නිසා නොවෙයි මූල්‍ය ප්‍රතිපාදනවල ගැටලුව නිසයි.

සමාජය යහපත් කිරීමට වර්තමානයේ කලාකරුවාගේ  දායකත්වය ප්‍රමාණවත්ද?
නැහැ. කලාකරුවාගේ ගැටලුවක් ‍නෙවෙයි. ඒක මේ රටේ දේශපාලනයේ වැරැද්දයි. මේ රටේ දූෂිත තත්ත්වය නිර්මාණය වෙන්න කලාකරුවාගේ නිර්මාණ වගේම ඔවුන්ගේ පුද්ගල කාර්යභාරයත් බලපෑවා.  ඒ අනුව කලාකරුවා දේශපාලන අවුල තුළ හිරවෙලා තියෙනවා. කලාව කොතැනටද ගෙනියන්නේ කියන අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. කලාවට මේ අවුලෙන් ගැලවෙන්න  බැහැ.  මුළු දේශපාලන ක්‍රමයම පිරිසිදු වෙන්න ඕන. දේශපාලනයේ තියෙන අවුලම තමයි කලාවෙත් තියෙන්නේ. එකෙන් මිදෙන්න කලාකරුවට  වගකීමක් තියෙනවා. ඇතැම් කලාකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා මිනිස්සුන්ටත් කලාව එපා වෙලා  තියෙනවා. දේශපාලනඥයාත් කලාවේ සැබෑ තත්ත්වය මතුකරන්න වෙහෙසෙන්නෙ නැහැ. එහෙම වුණොත් මේ දූෂිත දේශපාලනයට වැඩි දුරක් යන්න බැහැ. ඒ නිසා සාහිත්‍ය, සිනමාව, ගීතය, ඉහළට ගේන්න කටයුතු කරන්නෙ නැහැ. එහෙම කළොත් ඔවුනට පැවැත්මක් නැති නිසා ඔවුන් කවදාවත් කලාවට  දායකත්වයක් ලබාදෙන්නෙ නැහැ.

මොනවද පුද්ගලික විස්තර?
මගේ බිරිඳ හර්ෂිකා රත්නායක. ඇය  වෘත්තියෙන් ගුරුවරියක්. ඇය නම් මට වඩා ටිකක් ජනප්‍රියයි. සකුණිගේ කතාවේ මාලාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ ඇය. දූලා දෙන්නෙක්  ඉන්නවා.

දෙන්නම කාර්යබහුල නිසා පුද්ගලික ජීවිතේ මගහැරිලා නැද්ද?
අනේ‍යාන්‍ය විශ්වාසයෙන් වැඩ කරගන්න නිසා එහෙම මගහැරීමක් වෙලා නැහැ. අපි කරන්න ඕන ඇගේ මහන්සියෙන් මගේ වැඩ කරගන්නවත් මගේ මහන්සියෙන් ඇගේ වැඩ කරලා දෙන එකත් නමෛයි. අපි දෙන්නම මනුස්සයෝ. අපට  වෙනම ඉලක්ක දෙකක් තියෙනවා.  ඒ දේවල්වලට අපි යන්න ඕන. ගෑනු වැඩ, පිරිමි වැඩ කියලා දෙයක් නැහැ. දෙන්නම වැඩ  සහයෝගයෙන් කරගත්තාම දෙන්නටම ගෙදර  සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන.  උයන එක ගැහැනු අයට, පිරිමි අයට අනෙක් වැඩ කියලා අප හිතන්නෙ නැහැ. ඒ අවශ්‍යතාව අනුව අපි දෙන්නම වැඩ කරන නිසා ජීවිතේ මගහැරීම් නෑ.

තිළිණි කරුණාරත්න