1981 ඔක්තෝබර් 16 වන දින මුල්වරට ප්‍රදර්ශනය කරන ලද  ‘සතර දිගන්තය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රවීණ සිනමා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් විසිනි.

1941 පෙබරවාරි 11 වනදා උපන්  එදිරිසිංහගේ මුල් ගම පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ වේ. කැලණියේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් සහ ඇල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයෙන් සහ මාලිගාකන්ද විද්‍යා විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබිය.  ඔහු කලා ලොවට හඳුන්වා දුන්නේ ඔහුගේම වැඩිමල් සොහොයුරු ධර්මසිරි එදිරිසිංහයන් විසිනි. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මුල්ම වේදිකා රංගනය වූයේ ‘වෙස්සන්තර’ නාට්‍යයයි. කලාගුරු ජේ.ඒ.ඩී. පෙරේරා යටත් ඔහු එහි රඟපෑවේය.

ඉන් පසු ඔහු වේදිකා නාට්‍ය ලෝකයට ඇතුළත් විය. ශ්‍රී වික්‍රම අනේ මස්සිනේ බකතපස් අත්තික්කා මල් පිපිලා එරබදු මල් මොට්ටු පිපිලා ඉබිකට්ට ලියතඹරා මනරංජන වැඩවර්ජන ගැහැනියක් සයුරෙන් ආ ලඳ ඔන්න බබෝ ඇතින්නියා  රතු රෝස හබුං කටයි බත් දෙකටයි  රොමියෝ ජුලියට් එලඳ මහගෙදර මහහේනේ රීරියකා හොටබරි යුද්දෙ මහකොළඹ, වෙරිඋයන සොක්කන් රජානෝ අපායේ අවුරුදු තහංචි යනාදී නාට්‍ය විශාල සංඛ්‍යාවක රඟපෑවේය. ඔහුට අවස්ථාව උදාවිය. මේ අතරින් බකතපස් හොටබරි යුද්දෙ අත්තික්කා මල් පිපිලා තහංචි අපායේ අවුරුදු සහ සොක්කානෝ රජානෝ යන නාට්‍ය ඔහු විසින්ම නිර්මාණය කළ නාට්‍යය වේ.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර මාතර ආච්චි රජගෙදර පරෙවියෝ ශ්‍රී මදාරා සතර දිගන්තය අධිෂ්ඨානය සහ වදුල යන චිත්‍රපට ද සහ අධිෂ්ඨානයද වේ. තිර රචනය ලියූ චිත්‍රපට අතර රජගෙදර පරෙවියෝ හුලවාලි ශ්‍රී මදාරා  ආදිය වේ. ඔහුගේ චිත්‍රපටවල රඟපා තිබේ. ඔහු හොඳ ටෙලි නාට්‍ය නළුවෙක් ද වේ.

පාසල් කාලයේත් වේදිකා නාට්‍යවලට සම්බන්ධව සිටි සතිස්ට වෙස්සන්තර නාට්‍යයෙන් එඩී. ජයමාන්න, රුක්මණී දේවි එච්.ඩී. කුලතුංග, ජෙසිකා වික්‍රමසිංහ ශීලා පීරිස් වැනි ප්‍රවීණ නළුනිළියන් සමග රඟපෑමේ භාග්‍ය ලැබුණි. මෙහි මුලින්ම සතිස්ට ලැබුණේ සුළු චරිතයකි.  දෙබස් වශයෙන් ඔහුට තිබුණේ වචන 8ක්  කීම පමණකි. එසේ වුණත් ඔහු සතියකට දින තුන ගණනේ  මාස 8ක් මේ නාට්‍ය පුහුණුවීම් සඳහා සහභාගි විය. අද ආපසු  හැරී බැලීමේදී ඉන් පෙනීයන කරුණක් වන්නේ රංගනය උදෙසා එදා ඔහු කළ කැපවීම කෙතරම් ද යන්නයි.  තමා මෙම නාට්‍යයේ පුහුණුවීම සඳහා බස් ගාස්තුව සොයා ගත්තේ නිවසේ පරණ පත්තර බෝතල්  විකිණීමෙන් බව සතිස් පසුකලෙක කියා ඇත.  දිනක් නාට්‍ය දර්ශනයකදී ජූජක බමුණාගේ චරිතය රඟපෑ නළුවා අසනීප වීම නිසා නිෂ්පාදක එම චරිතය සතිස්ට පැවරුවේය.  ඉන්පසු වෙස්සන්තර නාට්‍යයේ ජූජක බමුණා වූයේ සතිස්ය.

උපතින්ම බෞද්ධයකු වූ ඔහු ක්‍රිස්තු චරිතයේ ජේසුතුමාගේ ප්‍රධාන ගෝලයා වූ පේදුරුගේ චරිතයට  පණ පෙවීය. ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතරින් අධිෂ්ඨානය චිත්‍රපටය ජර්මනියේ ෂැන්හයිව් අන්තර් ජාතික චිත්‍රපට උළෙ‍ලේ ඩිප්ලෝමා සහතිකයක් ලද සිනමා පටයකි. සතිස් බුද්ධිමත් නළුවෙකි. රංගකලාව අළලා සාරගර්භ දෙසුමක් වුව පැවැත්වීමට හැකි ආකාරයේ සුවිශේෂ හා නැණ මහිමයක් ඔහු සතුව පවතී. සතිස් වේදිකාවට මෙන්ම සිනමාවට ද අලුත් පරපුරක් හඳුන්වා දීමෙන්  කළ මෙහෙවර ද අගැයීමට ලක්විය යුතුයි.  වික්ටර් රත්නායක (චිත්‍රපට පසුබිම් සංගීතය) වොලි නානායක්කාර (ගීත රචනය) සුනිල් එදිරිසිංහ (ගායනය) රෝහන වෙත්තසිංහ, දයා ආනන්ද රණසිංහ (චිත්‍රපට තිරනාටක රචනය) ඔහුගේ මගපෙන්වීම මත කලාවට සම්බන්ධ වූවෝ වෙති.

සතර දිගන්තය චිත්‍රපටයේ කතාව මෙසේය. මෙය එකිනෙකට ප්‍රති විරෝධතා ඇති චරිත හතරක් අතර ඇතිවන ඝට්ටනයක් තේමාකොට ගත් කතාවකි.

රත්තොට සනීව මුණගැහෙන්නේ නගරයේ මුඩුක්කුවකදීය. සනී පාදඩ ජීවිතයක් ගත කළ ද ඔහු තමන්ගේ හැකියාවන් පෙන්වා පනම් හතරක් සොයා ගන්නෙකි.  මිනිසුන් ගැවසෙන ගාලු මුවදොර වැනි පිට්ටනිවලදී විටෙක ඔහු ක්ලින්ට් ඊස්වුඩිය. විටෙක චාලි චැප්ලින් සේද රඟපෑවේය. තම පුතා රැක ගැනීමට හොර අරක්කු විකිණූ  රත්නේගේ මව පසුව ‍පොලිසියට හසුව සිරකාරියක් වූවාය. තනිවූ රත්නේ නීති විරෝධී කටයුත්තකට ‍පොලිසියට හසුවී ‍පොලිසිය ලුහුබැඳ එද්දී සනි විසින් බේරාගනු ලබයි. දෙදෙනා එක්ව යහපත්ව මුදල් සොයන්නට නොයෙක් දේ කරයි. මේ අතර රත්නේට රඟා නම්වූ ‍පොහොසත් කෙල්ලක් මුණගැසෙයි.  ඇය තම පෙම්වතා අතින් අනාථ වූ එකියකි.  රත්නේ හා රඟා අතර ආදරයක් ඇතිවෙයි. නමුත් රඟාගේ පියා වන යකා මහත්තයා මේ සම්බන්ධයට විරුද්ධ වෙයි. තම කුටියට රත්නේව ගෙන්වා අපහාස කරයි. පසුව  රත්නේට  රැකියාවක් සොයා ගන්නට රඟා උදව් කරයි. රඟා සහ යකා මහත්තයා ගැටෙයි කාලයකට පසුව රත්නේ රඟා විවාහ කරගනී.  ඇයට දරුවකු ලැබෙන්න යන ආරංචිය අසා යකා මහත්තයා කෝප වෙයි. පසුව රත්නේ හා රඟා මුඩුක්කු හලක කටුක ජීවිතයක් අරඹයි.

මේ අතර යකා මහත්තයා රත්නේට විරුද්ධව ‍පොලිසිය මෙහෙයවයි. එහිදී යකා මහත්තයා හා ගැටුණු රත්නේ මුදල් ගෙන ‍පොලිසියෙන් බේරී සූතිකාගාරයට එන අතර රඟාට දරුවා ලැබෙයි.

මෙහි තිරනාටකය රෝහණ වීරසිංහ ගෙනි.   සමාජයේ් ජීවත්වන නන්නත්තාර තරුණ  කොටස්වල  පැවැත්ම වැනි ඉතා වැදගත් වස්තු විෂයක් සතරදිගන්තය තිර නාටකයට ඇතුළත්ව තිබිණ.  නමුත් චිත්‍රපටයේ දී එය සාර්ථකව ප්‍රතිනිර්මාණව  නැති බව විවේචකයන්ගේ හැඟීමයි. සතර දිගන්තය තිර නාටකය ‍පොතක් වශයෙන් ද පළවූවේය. තිරගතවූ චිත්‍රපටයක තිරනාටකයක් මුද්‍රිත කෘතියක් ලෙස පළවූ මුල්ම අවස්ථාව මෙයයි.

මේ චිත්‍රපටය ඉදිරිපත් කිරීම සතිස් ෆිල්ම්ස් මගිනි. නිෂ්පාදනය කපිල මුණසිංහ සමග සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය. කතාව දෙබස් තිරනාටකය සහ ගීිත රචනය රෝහණ වෙත්තසිංහ. සහාය අධ්‍යක්ෂණය සරත් සාරංග පෙරේරා, කැමරාකරණය සේන කොතලාවල සහාය චන්ද්‍රලාල් මනමේන්ද්‍ර සංස්කරණය ජයතිස්ස දිල්ලිමුණි. සහාය හැරිස් නන්දසිරි අංග රචනය සනත් විජේවර්ධන. කලා අධ්‍යක්ෂණය ජෝ දඹුලුගල, නැටුම් අධ්‍යක්ෂණය විමල් නයනානන්ද, ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග. සහාය කේ.එම්. ජයවර්ධන.

සංගීත අධ්‍යක්ෂණය පී.වී. නන්දසිරි, කොණ්ඩා මෝස්තර සෑම් පෙරේරා, ගීත ගායනා සුනිල් එදිරිසිංහ, ගීත යනමග කොහේදෝ සදම් පවුරු බිඳ, හද පතුළේ ඒ හැඟුම් ආදර  මුදු හැඟුම්.

නළු නිළියන් රවින්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, විමල් කුමාර ද කොස්තා, ජෝ අබේවික්‍රම, රුක්මණි දේවි, සොමී රත්නායක, සෝමසිරි දෙහිපිටිය, දෙනවක හාමිනේ, ගීතා කුමාරසිංහ, සීතා කුමාරි, පියසේන අහංගම, රූපා ගෝමස්, සෝමා හෙට්ටිගේ, බන්දුල සිල්වා ජෝ දඹුලුගල.

ඔස්කා මෙන්දිස්