වෘත්තීමය ජීවිතයේ අත්දැකීම් සේම භාහිර ජීවිතයේ අත්දැකීම් ඇසුරෙන්ද  ලියූ කෘතීන් ඔස්සේ  පාඨක අවධානය දිනාගත්  සෝමලතා වෛද්‍යරත්න මහත්මිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූ ලේඛිකාවකි. මෙවර සංහිඳ ඉඩ වෙන් වන්නේ ඇය වෙනුවෙනි.

ඔබ වෘත්තීමය හෙද නිලධාරිනියක ලෙස සේවය කළ අයෙක්. ලේඛිකාවක විදිහට කටයුතු කරන්න පටන් ගත්තේ කොයි කාලයේ ඉඳන්ද ?

මම පාසල් යන අවධියේ ඉඳන්ම තමයි ලේඛනයට ඇල්මක් දක්වන්නේ. ඒ කාලයේ ටිකිරි කතා නමින් පුවත්පත්වල කෙටි කතාවලට ඉඩ වෙන්කළ විශේෂාංගයක් තිබුණා. මම ඒවාට නිරන්තරයෙන් ලිව්වා. ඊට පස්සේ වනිතා විත්ති පුවත්පතට මම ලිව්වා. ඒ වකවානුවේ වනිතා විත්ති පුවත්පත ඉතා ජනප‍්‍රියයි. එතකොට වයස දා හත, දහඅට කාලේ. රස කතා නමිනුත් ඒ කාලයේ ජනප‍්‍රිය පුවත්පතක් පළවුණා. ඒ පත්තරේ තිබුණේ කෙටි කතා වෙනුවෙන්මයි. මම ඒ පුවත්පතටත් කෙටි කතා ලිව්වා. කොහොමහරි මට වයස 19දී මම මගේ මුල්ම කෙටි කතා කෘතිය එළිදැක්වූවා. ඒ පොතේ නම ”දර්ශන”.

පාසල් යන වියේදීම කෙටි කතා කෘතියක් එළිදක්වන්න යොමු වුණේ කොහොමද ?

මම රස කතා පුවත්පතට  ලියූ කෙටි කතා දැකපු නුවර ”ආරිය මුද්‍රණාලයෙන්” මට ආරාධනාවක් කළා ඔවුන්ට කෙටිකතා දහයක් යොමු කරන්න කියලා. ඒ අයට  ඕනෑ වුණා කෙටිකතා කෘතියක් කරන්න. මම ඒ කතා ඔවුන්ට යොමු කළා. ඒ විදිහට තමයි කෙටි කතා දහයක් එක්ක මගේ මුල්ම කෘතිය එළිදැක්වුණේ.

හෙද වෘත්තියත් එක්ක ලේඛන ජීවිතය සමබර කරගත්තේ කොහොමද?

උසස් පෙළින් පස්සේ  හෙද සේවයේ පුහුණුව ලබන්න මම සුදුසුකම් ලැබුවා. රත්නපුරේ හෙද විදුහලේ තමයි මම පුහුණුව ලැබුවේ. ඒ වකවානුවේ වෘත්තිමය ජීවිතය එක්ක මම තරමක් කාර්යබහුල වුණු නිසා කෘතියක් පළකරගන්න මට අපහසු වුණා. නමුත් මම දිගින් දිගටම පුවත්පත්වලට ලිපි ලිව්වා. කෙටි කතා වගේම කාලීන සමාජ කාරණා ගැනත් මම පුවත්පත්වලට ලිව්වා.

ඔබ පසුකාලීනව ලියූ බොහෝ කෘතීන්වලට පාදක වෙලා තිබෙන්නේ ඔබේ වෘත්තිමය ජීවිතය පිළිබඳ අත්දැකීම්?

ඔව්. මගේ වෘත්තිමය ජීවිතය බොහෝ සෙයින් මගේ ලේඛන කලාවට බලපෑවා. මුල් වකවානුවේ රැුකියාවේ කාර්යබහුලකම නිසාම පොත පතක් පළකර ගන්න මට අපහසු වුණා. නමුත් පොත්පත් ලියන්න අවශ්‍ය විදිහේ අත්දැකීම් සමූහයක් මට වෘත්තීය ජීවිතයෙන් ලැබිලා තිබුණා. කොහොමහරි මම තරමක් කලින්  හෙද  වෘත්තියෙන් විශ‍්‍රාම ගත්තා. ඉන්පසුව තමයි මම නැවත සක‍්‍රීය විදිහට ලේඛන කාර්යයේ නියැළෙන්නේ. තුන් අවුරුද්ද, හෙද සොයුරියකගේ මතක සටහන්, විසල් පවුරක් සේ සහ  රෝහලෙන් ඇසුණු කතා නමින් මම ලියූ කතාවලට වැඩි වශයෙන් මගේ පෞද්ගලික අත්දැකීම් බලපෑවා. ඒ වගේම ඒවාට බොහොමයක් ප‍්‍රතිචාර ලැබුණා.

කිසියම් වෘත්තිමය ජීවිතයකට සීමා වුණු අයකු අතින් වෙනත් නිර්මාණ බිහිවෙන්නට තියෙන්නේ හරි අඩු ඉඩක්. නමුත් ඔබ එතැනදී විශේෂ චරිතයක්.

අපේ වෘත්තිමය ජීවිතය දිහා බලල සමහරු හිතනවා හෙදියන් කියන්නේ ට්‍රොලිය තල්ලූ කරගෙන යන, බෙහෙත් දෙන, ඉන්ජෙක්ෂන් දෙන සමහර වෙලාවට  සැරෙන් කතා කරන පිරිසක් විතරයි කියලා. නමුත් ඒ පිටට පෙනෙන දේට වඩා වෙනස් අත්දැකීම් අපේ ජීවිත ඇතුලේ තියෙනවා කියන දේ පෙන්වන්න මට මගේ ලේඛනය යොදාගන්න පුළුවන් වුණා. හෙද සොයුරියකගේ මතක ලියපු වෙලේ සමහරු මගෙන් ඇහුවා හෙද ජීවිතයේ තියෙන්නේ දුක්බර මතක ගොඩක් විතරයිද කියලා. නෑ අපේ ජීවිතෙත් හාස්‍යජනක තැන්, අපට වුණු අකරතැබ්බ වගේ රසවත් දේවල් තියෙනවා. ඒ නිසා එවැනි අත්දැකීම් කැටි කරලා තමයි මම රෝහලෙන් ඇසුණු කතා පළකරන්න කල්පනා කළේ. ඒ කෘතියට සමාජයෙන් හොඳ ප‍්‍රතිචාර බොහොමයක් ලැබුණා.

ඔබේ ලේඛන ජීවිතයට ආදර්ශයක් වුණු වෙනත් ලේඛක චරිත තිබෙනවාද ?

නෑ. ආදර්ශයක්, පරමාදර්ශයක් කරගත් චරිත කිසිවක් මගේ ලේඛනයට බලපෑමක් කළේ  නෑ. මම  ඕනෑම පොතක් කියවන කෙනෙක්. නමුත් මම ආසාවෙන් රස විඳපු කෘතීන් තියෙනවා. විශේෂයෙන්ම ටී.බී ඉලංගරත්නගේ ලේඛනයට මම කැමැතියි. ඔහුගේ කෘතිවල ගැමි ජීවිතය, ජන ජීවිතය ගැන බොහෝ කරුණු කාරණා දැනගන්න හැකියාව ලැබුණා. ඒ වගේම පියසේන නිශ්ශංක මහත්මයාගේ කෘතිවලටත් මම කැමතියි. ඔහුගේ කෘතිවලිනුත්  අපිට හසුනොවන වෙනස් ජීවිත හඳුනාගන්න අවස්ථාව ලැබුණා.

ඔබට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වීම කොහොමද දැනුණේ ?

”මේ නිවාඩු කාලයයි” නමින් මම ලියූ යොවුන් නවකතාවට 2016  වසරේදී රාජ්‍ය සම්මානය හිමිවීම මට සතුටට කරුණක්. නුවර කලාවියේ ගැමි පරිසරයක තමන්ගේ නිවාඩුව ගත කරන්න ගිය තරුණියකගේ කතාවක් තමයි මම ඒ නවකතාවට පාදක කරගත්තේ. අද ළමාවියේ සුන්දරත්වය අහිමිවුණු ළමා පරපුරට තමයි මම ඒ පොත පිළිගැන්වුයේ.

මෙරට පැවැත්වෙන සම්මාන ප‍්‍රදානෝත්සව ගැන ඔබට තියෙන්නේ කොහොම අදහසක්ද ?

අපි දකිනවා බොහොමයක් ලේඛකයින් සම්මාන උත්සව ගැන විවේචනාත්මක අදහස් මාධ්‍ය හරහා පළකරන ආකාරය. කොහොමනමුත් සම්මානයක් කියන්නේ ලේඛකයකුට ධෛර්යයක්. පොත් තිහ හතළිහක් ලියපු කෙනෙක් හිතනවා නම් තමන්ට සම්මානයක් ලැබිය යුතුමයි කියලා එය සාධාරණ නෑ. ඇතැම් ප‍්‍රකට ලේඛකයින් තමන්ට සම්මාන ආදිය නොලැබුණාම සම්මාන උළෙලවල්වලට, විනිශ්චය මණ්ඩලවලට දොස් පවරනවා. මම ප‍්‍රකට ලේඛිකාවක් නෙමෙයි.

පොත් තිහ හතළිහක් ලියලත් නෑ. සමහරු කියනවා පොත්වලට සම්මාන දෙන්නේ මූණ බලලා, හිතවත්කමට කියලා. නමුත් මට රාජ්‍ය සම්මානය දුන් විනිශ්චය මණ්ඩලය කවුද කියලවත් මම දන්නේ නෑ. මම හිතනවා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල විනිවිදභාවයක් ඇතිව සිද්ධ වෙන්න ඇති කියලා. සමහරු  මට සම්මානය හිමි වුණු අවස්ථාවේ මගෙන් විමසා සිටියා මොන විශ්වවිද්‍යාලෙද උගන්වන්නේ කියලා. ඔවුන් හිතන්න ඇති මම කථිකාචාර්යවරියක් කියලා. මම හෙදියක් විදිහට සේවය කළ  බව කිවුවහම ඔවුන් අහනවා හෙදියකට ලියන්න වෙලාවක් තියා කියවන්නවත් වෙලාවක් තියෙනවද කියලා. ඉතිං මට කියන්න  ඕනෑ වුණේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය මට දුන්නේ මගේ තරාතිරම බලලා නෙමෙයි. මම ලියූ කෘතියේ අන්තර්ගතයට ඒ සම්මානය ලැබුණු බව මම විශ්වාස කරනවා.

අයේෂ් ලියනගේ