පාරම්පරික හන්දි වෙදකම (කැඩුම් බිඳුම් වෙදකම) සම්බන්ධව මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලනු ලබන්නේ ගුරුදෙණිය වෙද පරම්පරාවය. මාතර සිට කන්ද උඩරටට පැමිණි මෙම වෙද පරම්පරාවේ 16 වැනි පුරුක වන්නේ මහනුවර, ගුරුදෙණිය, පිච්චමල් වත්තේ පදිංචිව සිටින පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ජී. ඩබ්ලිව්. ජී. එස්. ගුරුදෙණිය මහතාය. සිය පරම්පරාවෙන් උරුම වූ සුවිශේෂී වූ දැනුමෙන් අද ඔහු විශාල පිරිසක් සුවපත් කර සිටින්නේය.

මෙරට පෘතුග්‍රීසි, ලන්දේසි අතර ඇතිවූ ගැටුම්වලදී  තුවාල ලැබූවන්ට වෙදකම් කරනු ලැබුවේ ගුරුදෙණිය වෙද පරම්පරාව විසින් බව අතීත මූලාශ්‍ර සඳහන් කරනු ලබයි. මාතර, දෙනගම, කන්දෙගොඩ හත්පත්තුවේ සිටි වෙද පරපුර වන්නේ ගුරුදෙණිය වෙද පරපුරයි. මෙම වෙද පරම්පරාවේ සාමාජිකයින් ඕලන්ද සමයේදී උඩරටට පැමිණ ඇත්තේ යුද්ධයේදී තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහාය. එතැන් සිට ගුරුදෙණිය පරම්පරාවේ සාමාජිකයින් උඩරට ජනතාවට රෝගාබාධ වලදී ප්‍රතීකාර කටයුතු සිදුකර ඇත.

ගුරුදෙණිය වෙද පරම්පරාවේ සිය මුතුන් මිත්තන්ගෙන් ලද ආභාෂයන්ද සහිතව නව ක්‍රමවේදයන්ද ඇතුලත් කරගනිමින් වෙද මහතා වර්තමානයේදී සිය ගණනක් ජනතාවට ප්‍රතිකාර කටයුතු කරනු ලබන්නේය. කැඩුම් බිඳුම් වෙදකම් කටයුතු වලට මූලිකත්වය ලබාදෙමින් ජී. ඩබ්ලිව්. ජී. එස්. ගුරුදෙණිය මහතා ප්‍රතිකාර කටයුතු කරන්නේය.

ජී. ඩබ්ලිව්. ජී.එස්. ගුරුදෙණිය මහතා පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර ධර්මරාජ විදුහලෙනි. ඔහු කුඩා කල සිටම දුටුවේ සිය පියා රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරුය. මේ නිසා ඔහු සිය පියාගේ වෙදකම් කටයුතු වලට නිතරම  පාහේ උදව් උපකාර කළේය. බෙහෙත් සෑදීමේ කටයුතුවලදී පියාට උදව් කළේය. මේ නිසා ඔහුගේ අභිප්‍රාය වූයේ සිය පියාගේ වෙදකම ඉදිරියට පවත්වාගෙන යාමය. සිය පියාගේ අභාවයෙන් පසු ජී. ඩබ්ලිව්. ජී. එස්. ගුරුදෙණිය මහතා වෙදකමට අත්‍පොත් තබන්නේ වයස  අවුරුදු 16 දීය. ඒ වනවිටද ඔහු පාසල් යමින් සිටි සිසුවෙකි. සිය පිය උරුමයෙන් ලද දැනුමින් අද වනවිට ගුරුදෙණිය වෙද මහතා රෝගීන් දහස් ගණනක් සුවපත්කර ඇත්තේය.

ඇතැම් රෝගීන් එන්නේ වෛද්‍යවරු කීපදෙනෙකු ළඟට රැගෙන යාමෙන් පසු නිසි සුවයක් නොලැබුනු පසුවයි. සමහර වයෝවෘද්ධ අයගේ රෝග සුව කිරීමේ අවදානම ගන්න ඇතැම් වෛද්‍යවරු අකමැතියි. රෝගියා මානසිකව වැටෙන පැතිකඩ තිබෙනවා. අපි මුලින්ම රෝගියාගේ මානසිකත්වය තේරුම්ගත යුතුයි. මේ නිසා අපි රෝගීන් උපරිමයෙන් සුවපත් කිරීමට කටයුතු කරනවා. රෝගියෙකු එකම තැනකට වෙලා ඉද්දී වා පිත්, සෙම් තත්ත්වයන් ඇතිවෙනවා. අපි මේ රෝගීන්ට විවිධ ප්‍රතිකාර ලබාදෙනවා. නවීන වෛද්‍ය විද්‍යාවේ හැටියට එක්ස් රේ තාක්ෂණයද අපි භාවිතා කරනවා. යැයි ගුරුදෙණිය වෙද මහතා පවසන්නේය.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඒ ඒ පරම්පරාවට අයත් සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමවේදයන් තිබෙනවා. වෙළුම් පටි මගින් ප්‍රතිකාර කරන සුවිශේෂී ක්‍රමවේදයක් අපේ පරම්පරාවේ තිබෙනවා. අපි ඒ ක්‍රම ගැන අනෙක් වෙද මහත්වරුන්ටත් කියා දෙනවා. නමුත්, බොහෝ දෙනා සිය දැනුම අනෙක් අයට ලබාදෙන්න අකමැතියි.

ආයුර්වේද වෛද්‍යවරුන් අද මුහුණ දී සිටින ප්‍රධානතම ගැටලුව නම් ප්‍රමාණවත් පරිදි ඔෞෂධ වර්ග සොයා ගැනීමට ඇති අපහසුතාවයි. සිය ගම් ප්‍රදේශයෙන්ම ඖෂධ වර්ග සොයා ගැනීමට කටයුතු කරන බව ගුරුදෙණිය වෙද මහතා පවසන්නේය.

ඖෂධ වර්ග ලබා ගන්නා ක්‍රමවේදයක් තියෙනවා. අපි හිතමු යම් ඖෂධයක් සඳහා ගහක ‍පොත්තක් අවශ්‍යයි කියලා. අපි කියන්නේ ගසක ‍පොත්ත ගලවපුවාම ඒ ස්ථානය වතුරෙන් සෝදා, මඩ ටිකක් එම ස්ථානයේ ගල්වන්න කියලා. බෙහෙත් ගලවන දවස් තිබෙනවා. බෙහෙත්වල ගුණ පිහිටන බ්‍රහස්පතින්දා ආදී දවස්, වෙලාවල් තිබෙනවා. රාහු කාලය  පහු කරලා ගිහින් බෙහෙත් ගලවන්න ඕනේ. එතකොට තමයි එම බෙහතෛන් රෝගියාට ගුණ වැඩිවෙන්නේ. යැයි ගුරුදෙණිය වෙද මහතා කියන්නේය.

අපේ සිංහල ආයුර්වේද වෙදකමේ නොපෙනෙන ආශිර්වාද තිබෙනවා. අපේ මුතුන් මිත්තන් මේ වෙදකකමට ගොඩාක් ගෞරව කළා. අද දේශීය වෙදකම රැකියාවක්, වෘත්තීය මට්ටමට පත්කරගෙන ගියාට වෙදකම රැකිලා තියෙන්නේ අතීත මුතුන් මිත්තන් ඊට දැක්වූ ගරුත්වය නිසයි. යැයිද ගුරුදෙණිය වෙද මහතා පවසන්නේය.

කැඩුම් බිඳුම් වෙදකම සම්බන්ධව පමණක් නොව උපතින් එක් පාදයක් දික්වූ අයට ඇවිදීමේදී ඇතිවන අපහසුතා වළක්වා ඔහුට හෝ ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට හැකිවන පරිදි ප්‍රතිකාර කිරීමේ සුවිශේෂී හැකියාවක් ගුරුදෙණිය වෙද පරම්පරාවට තිබෙන්නේය.

ඕනෑම කෙනෙක්ගේ පාදයක් උපතින් අඟල් දෙකක් තුනක් දික් වූ විට ඔහුට හෝ ඇයට ඇවිඳීමේ අපහසු තත්ත්වයන් ඇති වෙනවා. කකුල් කිට්ටු කරලා තියන්න බෑ. කකුල තියන්නේ ඈතින්. සාමාන්‍ය කෙනෙකු කරන ක්‍රියාකාරකම්වල ඔහුට නිරත වෙන්න  බෑ. පඩි පෙළක් පල්ලමක් බහින්න බෑ. මේ නිසා දෙමාපියන් මහත් පීඩනයට පත්වෙනවා. නමුත්, මේ තත්ත්වය නිවැරදි කරන්න ඉංග්‍රීසි වෙදකමේ බෙහෙත් නෑ. නමුත් මේ තත්ත්වය නිවැරදි කරන ක්‍රමවේද කීපයක් අපේ වෙදකමේ තිබෙනවා. යැයි ගුරුදෙණිය වෙද මහතා පවසන්නේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නාවින්න, පල්‍ලේකැ‍ලේ, රාජගිරිය ආයුර්වේද රෝහල්වල පුහුණුවීම් ලබන සීමාවාසීක වෛද්‍යවරුන්ද සිය පුහුණුවීම් කටයුතු සඳහා ගුරුදෙණිය ආයුර්වේද මධ්‍යස්ථානයට පැමිණෙන්නේය. මෙම වෛද්‍යවරුන්ට ගුරුදෙණිය ආයුර්වේද මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණුවක් ලබා දෙන්නේය. එමෙන්ම ගුරුදෙණිය වෙද මහතා රෝගීන් නේවාසිකව නතර කරවාගෙන ප්‍රතිකාර කටයුතු කරනු ලබන්නේය. සීමාවාසික ආයුර්වේද වෛදවරුන්ට සිය දැනුම උපරිමයෙන් ලබා දීමට ගුරුදෙණිය  වෙද මහතා කටයුතු කරන්නේය.
සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com

IMG_20181013_103716198 IMG_20181013_104453654