පසුගිය දිනක ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් විය. දරුවනට වඩා දෙමාපියන් බෙහෙවින් උනන්දු වුණ මෙම විභාගයේ ප්‍රතිඵල ගැන ද වැඩිපුර උනන්දු වන්නේ  දෙමව්පියන්ය. තමන් බලා‍පොරොත්තු වූ ප්‍රතිඵලවලට වඩා ප්‍රතිඵල විශිෂ්ට වූයේ නම් කිසිදු ගැටලුවක් ඇති නොවන අතර ප්‍රතිඵලය අඩු වුවහොත් මානසික පීඩාකාරී ඉච්ඡා භංගත්වයට පත්වන්නේ දරුවන්ය. සාමාජීය වශයෙන් දරුවාට සහ දෙමව්පියන්ට උපහාස, අපහාස, ලැජ්ජාමය කරුණු චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයකි. දරුවා යම් හෙයකින් ශිෂ්‍යත්ව විභාගය අසමත් වුණි නම් මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ වනු ඇත.

මෙම අවස්ථාවේ දෙමාපියන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුමය. විභාගය අසමත්වීම හේතුවෙන් දරුවා මානසික පීඩාවට ලක්ව සිටින මොහොතේ දෙමාපියන් විසින් තව තවත් කායිකව හෝ මානසිකව පීඩාවට ලක් නොකළ යුතුය.

දෙමාපියන්ගේ මානසිකමය තත්ත්වය ද දරුවාට නොපෙන්විය යුතුය.  අනෙක් දරුවන් හා සන්සන්දනය කිරීම, අතීත සිදුවීම් ආවර්ජනය කිරීම, තමා පත්වන අපහසුතාව ගැන නිතර කතා කිරීම, දරුවාගේ සිත නිතර නිතර අපහසුතාවට පත්කිරීම, නෑදෑයින් හා හිතවතුන් ඉදිරියේ මෙම අසමත්වීම ගැන පවසා දරුවා ලැජ්ජාවට පත්කිරීම, සූක්ෂ්ම පළිගැනීම්වලට ලක්කිරීම කිසිවිටක නොකළ යුතුය.sampath

මෙකී අවස්ථා දරුවාගේ හැරවුම් අවස්ථා ලෙස හැඳින කටයුතු කිරීම ඉතාම වැදගත්ය. පරාජය පසුපස ජයග්‍රහණයේ යෝධ සෙවණැල්ලක් තිබෙන බව දරුවාට අවබෝධ කර දිය යුතුය. ඉදිරි  ජාතික විභාග දෙකක් තිබෙන බව සහ ඉන් විශිෂ්ට ප්‍රතිඵල ලබා සමාජයේ ඉහළ-වැදගත් කෙනකු විය යුතු බවත් ඒ සඳහා උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතු බව හා ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම ගැන කනගාටු නොවිය යුතු බවත් දරුවාට අවබෝධ කර දිය යුතුය.

තවද ලබා ඇති ලකුණු ගැන තමන් සෑහීමකට පත්වන බවත් ජය පරාජය දෙකටම සූදානම් විය යුතු බවත් උත්සාහය මත ඕනෑම දෙයක් සිදුකළ හැකි බවත් අවබෝධ කර දිය යුතු අතර දෙමාපියන් ලද ජයග්‍රහණයන් හා පරාජයන් හමුවේ ඔවුන් මුහුණ දුන් අයුරු ද අප සමාජීය වශයෙන් උත්සාහය මත නැගී සිටි පිරිස ගැන විස්තර පෙන්වා දෙමින් අධ්‍යාපනයේ බාධාකාරී  අංගයන් ඉවත්කිරීමට නිතර උත්සාහ කළ යුතුය.

ඉගෙනීම කටු අත්තකි
එහි ඵලය මල් ඉත්තකි

මෙම කියමනෙන් ඉගෙනීමේ අපහසුතාවත්  ඉන් අනතුරුව ලැබෙන ඵලය ප්‍රශංසනීය සුබදායක පී්‍රතිමත් එකක් බවත් පෙන්වා දෙයි. අධික සැප මධ්‍යයේ ඉගෙන ගන්නා දරුවන්ගෙන් ඉතා ඉහළ අධ්‍යාපනයට යොමු වන්නේ ඉතා සීමිත පිරිසකි. එයද බොහෝ විට තම මුදල්  මත සිදුවන්නකි. ශිෂ්‍යත්වය වැනි විභාගයකදී ජනප්‍රිය පාසලම මූලික වෙයි.

මෙලෙස දරුවාගේ සිතට විභාගයට පෙර අධික ලෙස බලා‍පොරොත්තු තබා ඒ ඔස්සේ තම ඉලක්කය සපුරාගැනීමට බොහෝ දෙමාපියන් උත්සුක වෙයි. එම ඉලක්කය වැරදුන තැන දෙමාපියන්ගේ මානසිකත්වය අසුබවාදී ලෙස විපර්යාසයන්ට භාජනය වෙයි. එකී මානසික තත්ත්වයද නිවැරැදි ලෙස හසුරුවා සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ජනප්‍රිය පාසලක උරුමය ලබාගැනීමට උනන්දු වීම වඩා යෝග්‍යය. කෙසේ නමුදු මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වූයේ, ඕනෑම දරුවකු යම් මානසික පීඩාවකට සිටින මොහොතක දෙමාපියන්  ඒ සඳහා සුබවාදී ලෙස ප්‍රතිචාර දක්වන ආකාරය පහදා දීමයි.  ඉහළ ශේ්‍රණිවල ළමුන්ට වඩා කුඩා දරුවන්ගේ ලාමක සිත් පීඩාවට පත්වනුයේ ඒ තුළින් දරුවාගේ අනාගතයට ද ජු බලපෑමක් එල්ල කරමිනි. මේ බව තේරුම ගෙන දෙමාපියන් හා වැඩිහිටියන් කටයුතු කරන්නේ නම් එය ඉතා අගය කළ යුතු තත්ත්වයකි.

නෙරංජලා වික්‍රමසිංහ