ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අගමැතිවරයා ඇතුළු ප‍්‍රභූන් කිහිපදෙනකු හා වැදගත් ස්ථාන කිහිපයකට අයිඑස් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙරට අමාත්‍යවරයකුගේ බෑණා කෙනකු වන මොහොමඞ් කමේර් නිලාර් නිසාම්ඞීන්ට එරෙහිව තිබූ සියලූ චෝදනාවලින් ඔහු ඉවත් කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ.

එරට නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටි නිසාම්ඞීන් අයිඑස් ත‍්‍රස්ත සංවිධානයට අනුබද්ධව ප‍්‍රහාර සැලසුම් කළ බවට චෝදනා පිට පසුගිය අගොස්තු 31 වැනිදා අත්අඩංගුවට ගෙන ඇප රහිතව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකතන, ලැප්ටොප් හා කෙටි සටහන් පොත් තුළ එවැනි ප‍්‍රහාරයකට අදාළ දත්ත් තිබූ බවට චෝදනා තිබුණ ද එම චෝදනා පදනම් රහිත බවට එ් පිළිබඳ පැවැති නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.

නිසාම්ඞීන්ගේ ඥතීන් පවසා තිබුණේ යමකු විසින් සැලසුම් කොට මොහු වරදකරුවකු කිරීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවට පෙනී යන බවයි.

කෙසේවෙතත් කෙටි සටහන් පොතේ පැවැති අත්අකුරු නිසාම්ඞීන්ගේ නොවන බැවින් චෝදනා ප‍්‍රතික්ෂේප වී තිබේ.
කෙසේවෙතත් නිසාම්ඞීන්ගේ නීතිඥවරයා පවසා ඇත්තේ නිව්සවුත් වේල්ස් පොලිස් ත‍්‍රස්ත මර්දන එ්කකය නිසාම්ඞීන් සම්බන්ධයෙන් කි‍්‍රයා කළ ආකාරය ඔහුට දැරිය නොහැකි හානිකර එකක් වූ බවයි.

නිසාම්ඞීන්ට මේ සඳහා වැයවූ නඩු ගාස්තු ආදිය නිව්සවුත්වේල්ස් ප‍්‍රාන්ත රජය මගින් අයකරගැනීමේ නඩුවක් ද  ඔහු  විසින් පවසා තිබේ.

පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ බෑණා කෙනකු වන නිසාම්ඞීන් නිව්සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබ මේ වනවට එහිම සේවය කරන කීර්තිමත් හා එම ප‍්‍රාන්තයේ අගගැයීමට ලක්වූ සිසුවෙක් බව එරට වාර්තා සඳහන් කර තිබුණි.