පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේ දී වෙනස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහි ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

රේඛීය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද 2019 වසර සදහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛයට අදාළ ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදයේ සංශෝධන සිදුකිරීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කිරීම හේතුවෙන් ගැටලූකාරී තත්ත්වයක් මතුව ඇත.

අමාත්‍යවරයා පවසන්නේ විදුහල්පතිවරුන් සහ මාපියන් ද ගැටලූ රැසකට මුහුණ පා ඇති බව ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙලෙස උපදෙස් ලබා දුන් බවයි.

රේඛීය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක‍්‍රලේඛ සංශෝධනය කිරීමේ බලය ද රේඛීය අමාත්‍යාංශයට පැවරී ඇත.

බස්නාහිර පළාත් සභාව විසින් අත්තනෝමතිකව සහ නීති විරෝධීව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිව මෙම සංශෝධන සිදුකර ඇති බවට ද චෝදනා එල්ල වේ.