පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පවත්වන ලද ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට ආසන්න පිරිසක් සහභාගි වී තිබුණද එකම පදක්කමක් හෝ දිනා ගැනීමට අසමත් වුවත් ඊයේ (13) අවසන් වීමට නියමිතව තිබූ 3 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙ‍ලේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාව පදක්කම් සටහනට එක්වී තිබුණේ නියඟයට පසු ඇදහැළුණු ආසිරි වැස්සක් පරිද්දෙනි.

පළමු දිනයේ ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ විශිෂ්ටම දක්ෂතාව බවට පත්ව තිබුණේ පිරිමි ටී 42/63 කාණ්ඩයේ මීටර් 200 තරගය වෙනුවෙන් ප්‍රදානය කළ රන්, රිදී හා ලෝකඩ යන පදක්කම් තුනම දිනා ගැනීමය.
ඒ අනුව අන්තර්ජාතික මලල ක්‍රීඩා ඉසව්වකදි ශ්‍රී ලංකාවට පළමු දෙවන හා තෙවන යන ස්ථාන තුනම දිනාදුන් පළමු අවස්ථාව අමිල ප්‍රසාත්, ඉන්දික චූලදාස හා නිර්මල බුද්ධික යන ක්‍රීඩකයින් තිදෙනා විසින් උදාකර දී තිබුණේ ශ්‍රී ලංකා ජාතික ගීය ඉන්දුනීසියානු ගුවන සිසාරා විහිදී යන අතරතුරදීය.

කෙසේ වුවත් ක්‍රීඩා උළෙ‍ලේ පළමු දිනය වූ සඳුදා (8) ශ්‍රී ලංකාවට පළමු පදක්කම හිමිකර දීමේ ගෞරවය කාන්තා දුර පැනීම ටී 45/47 ඉසව්වට සහභාගි වූ අමරා ඉන්දුමතීට හිමි වූවාය.
ඇය එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගෙන තිබුණේ මීටර් 4.62ක දක්ෂතාවක් දක්වමිනි. එම ඉසව්වට සහභාගි වූ කුමුදු ප්‍රියංකට ලෝක පදක්කම අහිමි වී ගියත් සිව්වැනි තැනට පත්ව ඇයද මීටර් 4.41 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත් වූවාය.

මේ අතර පළමු දිනයේ ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් ලබා දීමට සමත් වූ චමින්ද සම්පත් හෙට්ටිආරච්චි පිරිමි හෙල්ල විසිකිරීම එෆ් 42/44 ඉසව්වේදී මීටර් 59.32ක දුරක් වාර්තා කර තිබිණි.
එම ඉසව්වට සහභාගි වූ සමිත දුලාන් මීටර් 58.38ක දුරක් සහිතව සිව්වැනි ස්ථානයට ද මීටර් 46.57ක දුරක් සහිතව ලොකු අජිත් 7 වැනි ස්ථානයට ද පත්ව සිටියහ.

එසේ වුවත් දෙවන දිනයේ පැවැති අවසන් තරග තුනකට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබුණද එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව හිමි නොවීය.
එදින පිරිමි මීටර් 200 ටී 45/46 අවසන් තරගයට ප්‍රදීප් සෝමසිරි හා මදුරංග සුබසිංහ සහභාගි වී තිබුණ ද ඔවුන් දෙදෙනාට පිළිවෙළින් පස්වැනි හා හය වැනි ස්ථාන හිමිව තිබිණ.

වෙඩි තැබිමේ මූලික තරගයේදී ශ්‍රී ලංකාවේ දිනේෂ් කුමාර, සමන්ත කුමාර, හා කැළුම් සූරිය කුමාර පිළිවෙළින් 16, 19, හා 20 යන ස්ථානයන්ට පත් වූහ.
පිරිමි දුනු ශිල්ප තරගාවලියට සහභාගි වූ සම්පත් බණ්ඩාරට හෝ ජගත් නිශාන්ත වීරතුංගටද පදක්කම් දිනා ගැනීමට නොහැකි විය.

සීවලී එදිරිවීර