සාමාන්‍යයෙන් කුඩා දරු දැරියන්ගේ දුවන පනින ගති ලක්ෂණයෙන් හැඟවෙන්නේ ඔවුන්ගේ නිරෝගී බව හා දඟකාරකමය.
කවිඳි සංජානා එදිරිසිංහ නමැති දැරිය තුළද එකී දඟකාර බව නොඅඩුව තිබිම ඇයගේ දෙමව්පියන්ට අමුත්තක් නොවීය.
පාසල් වියේ ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන විට සම වයසේ මිතුරියන් සමග තරගයට දිවීම කවිඳිගේද පුරුද්දක්ව තිබිණි. එහෙත් එසේ තරග වැදුණු කිසි දිනක ඇයට 7 වැනි ස්ථානයෙන් ඉහළ ස්ථානයක් හිමි වී නොතිබිණි.
ඇය ඉගෙනුම ලබන නාවල ජනාධිපති බාලිකා විදුහ‍ලේ දැරියන්ට මලල ක්‍රීඩා පුහුණුව ලබාදීම සඳහා ඩිලාන් මෙන්ඩිස් නම් වූ ක්‍රීඩා ගුරුවරයා සම්බන්ධ වන්නේ 2016 වසරේදීය.

ඔහු එම විදුහ‍ලේ වැඩ ආරම්භ කරන්නේ මලල ක්‍රීඩාව පුහුණු වීමට කැමති දැරියන්ට ආරාධනා කරමිනි. කවිඳි සංජානා මලල ක්‍රීඩා පුහුණුවට එක්වන්නේ එකී ආරාධනාව අනුවය.
එලෙස මලල ක්‍රීඩා පුහුණුවට එක්වූ දැරියන් අතර සිටි කවිඳිගේ දිවීමේ වේගයක් ඇති බවක් ඩිලාන් මෙන්ඩිස් පුහුණුකරුවා නුදුටුවද ඇය තුළ තිබෙන ධාවන රිද්මය හඳුනා ගැනීමට ඔහුට වැඩි කාලයක් ගත නොවීය.
ආරම්භයේදී කවිඳි සංජානා ධාවන පථයට එක්ව තිබුණේ මීටර් 200, 400 හා 800 යන ඉසව් තෝරා ගනිමිනි. ඊට අමතරව මීටර් 4×100 හා 4×400 යන සහාය දිවීමේ ඉසව්ද ඇය ප්‍රගුණ කළාය.
එසේ වුවත් කල්යත්ම මීටර් 800 අතහැර දමන්නට කවිඳිට සිදුවූ අතර සහාය දිවීමේ ඉසව් සඳහා පාසල තුළ ක්‍රීඩිකාවන් නොවීමෙන් එම ඉසව්ද ඇය අතහැර දැමුවාය.

කවිඳි මලල ක්‍රීඩාවට එක්වන්නේ 2016 වසරේදී ඩිලාන් මෙන්ඩිස් ගුරුතුමන්ගේ මග පෙන්වීම යටතේය. එවකට 12 හැවිරිදි වියේ පසුවූ ඇය 2017 වසරේ පවත්වන ලද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේදී අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය හිමිකර ගන්නේ තත්පර 58.67ක් ලෙස නව වාර්තාවක්ද පිහිටුවමිනි.
ඇයට සිය පළමු නව තරග වාර්තාව පිහිටුවීම 13 හැවිරිදි වියේදී එලෙසින් සටහන් කරන්නට අවස්ථාව හිමිවූයේ අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩය වෙනුවෙන් මීටර් 400 ඉසව්වක් නොපවත්වන බැවිනි.

කවිඳි සංජානාට ඩිලාන් මෙන්ඩිස් පුහුණුකරු හමුවූයේ ඇගේ පෙර වාසනාවටය. එසේ ප්‍රකාශ කිරීමට ප්‍රධාන හේතුව ලෙස සඳහන් කළ හැක්කේ ඇය මලල ක්‍රීඩිකාවක ලෙස ධාවන පථයට එක්වී ගෙවී යන වසර දෙකක කාලය තුළ තමන්ගේම වාර්තාද ඇතුළුව වාර්තා 7ක්ම අලුත් කරන්නට සමත්ව සිටින නිසාය.
පුහුණුකරු ඩිලාන්ගේ මීළඟ ඉලක්කය වී ඇත්තේ වසර 32ක් තිස්සේ අලුත් නොවී පවතින අවුරුදු 18න් පහළ මීටර් 400 බාලිකා තරග වාර්තාව කවිඳිට අත්පත් කරදීමය.

“ඒ වාර්තාව 1986 වසරේ පිහිටුවලා තියෙන්නේ ටානියා වැන්හීර් මීටර් 400 ඉසව්ව තත්පර 55.9කට අවසන් කිරීමෙනුයි. මේ වෙනකොට කවිඳි මීටර් 400 තත්පර 56.88කදී අවසන් කරන්න සමත්වෙලා තියෙනවා. ටානියාගේ ඒ වාර්තාව මකා දමන්න කවිඳිට කාලය ඉතිරිවෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ ඒ වාර්තාව තමන්ගෙ අතට ගන්න කවිඳිට තව වැඩි කාලයක් අවශ්‍ය වෙන එකක් නැහැ කියලයි” ඩිලාන් මෙන්ඩිස් සිටින්නේ එවැනි නිගමනයකය.
කවිඳිගේ පියාද පාසල් අවධියේ මීටර් 400 ධාවන ඉසව්වේ ජයග්‍රහණ රැසකට හිමිකම් පෑ ක්‍රීඩකයෙකි. නමින් චමින්ද ප්‍රේමරුවන් එදිරිසිංහ වන ඔහු දුර පැනීමේ ඉසව්වකට සහභාගි වී සිටියදී ආබාධයකට ලක්වීමත් සමග ක්‍රීඩා පිටියට සමු දී තිබිණි.

ඔහු එම ආබාධයට මුහුණදී ඇත්තේ එකල දුර පැනීමේදී ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට භාවිත කරන ලද්දේ ලී කුඩු සහිත වළක් වීමය.
ඔහු ක්‍රීඩකයකු වුවත් තමන්ගේ දෙටු දියණිය මලල ක්‍රීඩිකාවක වනවාට පියාගේ වැඩි කැමැත්තක් තිබි නැත. ඔහුට අවශ්‍ය වී තිබුණේ ඇයට උසස් අධ්‍යාපනයක් ලබාදීමටය.
එහෙත් පියාගේ දෝෂාරෝපණද නොතකමින් දියණිය රැගෙන ක්‍රීඩා පිටියක් ගානේ කැමැත්තෙන් ගියේ කවිඳිගේ මව අචිනි සමරතුංගය.

අද වනවිට කවිඳි ඇගේ පියාගේ අපේක්ෂාව අඩාළ වෙන්නට ඉඩ නොතබා අධ්‍යාපන කටයුතු හොඳින් ඉටුකර ගන්නා අතරේ මවගේ අපේක්ෂාද ඉටු කරන්නට සමත්ව සිටින්නීය.
දරු පවුලකට පුතකු සිටීම සම්පතක් බව සැබෑය. චමින්දට හා අචිනිට පුතෙකුගේ උණුසුම නොලැබුණද ඒ අඩුපාඩුව ඔවුනට දැනෙන්නට ඉඩ නොතැබිමට කවිඳි සමත් වී ඇත.
ක්‍රීඩා පිටියේදීත් අධ්‍යාපනයේදීත් ඉහළම තැනක රැඳෙන ඉලක්කයක් ඇතිව කටයුතු කරන කවිඳිගේ ගමන් මග ඒකාලෝක කරන්නට නාවල ජනාධිපති බාලිකා විදුහ‍ලේ විදුහල්පතිනි නයනා ලක්ෂිකා වන්නිආරච්චි, ක්‍රීඩා භාර ආචාරිනී තනූජා රාජනායක, තුල්‍යා තිලකරත්න, වෛද්‍යවරුන් වන රනිල් ජයසූරිය හා චතුරංග රණසිංහ මෙන්ම භෞත චිකිත්සක දයානි කුලතුංගද ඇය වටා නිරන්තරයෙන්ම රැඳී සිටිති.

තවද කවිඳි පසුගියදා නිමාවට පත්වූ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 200 හා මීටර් 400 යන ඉසව් දෙකම නව තරග වාර්තා සහිතව ජය ගන්නට සමත් වී තිබිණි.
ඒ අනුව ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇය නම් කළ අතර ඒ වෙනුවෙන් දින 08ක ජපන් සංචාරයකට සහභාගි වීමේ වාසනාව ඇයට උදාවී ඇත.
ඇයගේ එම සංචාරයට තනූජා රත්නායක මහත්මිය සහභාගි වීමට නියමිතය.

සීවලී එදිරිවීර