කොළඹ මහවැලි කේන්ද්‍රය යනු එක්තරා සංස්කෘතික තිප්‍පොළකි. මසකට වරක් දෙවරක් මහවැලියට යන මගේ නෙත ගැටෙන අපූරු දසුන් පෙළකි. ඒ වීදි සිත්තරුන්ගේ සිත්තම්ය. ප්‍රංශයේ ඉබපඥඥබ චපබඵ මාවත් සිහි ගන්වන නෙළුම්‍පොකුණ මාවත දෙපස ඇති එම වෛවර්ණ සිත්තම් එම මාවතට රැගෙන ආ මිනිසාව, මිනිසුන් සොයා යන ගමනේදී එක් මොහොතකදී මට හමුවිය. හේ බොරැල්ල, වනාතමුල්ල වාසී අජිත් සුසන්තය. අඩි පාරවල්, ලෑලි ගෙවල්, මුඩුක්කු හා මගේ ලොවට ආගන්තුක වන මිනිසුන් අතරින් ඔහු සොයා ගිය ගමන ගැන වෙනත් දවසක ලිවිය යුතුය. මා දැන් සිටින්නේ වනාතමුල්ල මහල් නිවාස සංකීර්ණයේ උඩම මහ‍ලේ අජිත්ගේ කුඩා කුටියේය.

මේ වෙනකොට මොනවද කරන්නේ?

මේ වෙද්දිත් මම Artist කෙනෙක් විදිහට වැඩ කරනවා. වෘත්තියක් විදිහට රටේ ප්‍රධාන පෙළේ ජාතික පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවය කරනවා. ඊට අමතරව නිවාඩු දවස්වල පන්ති කරනවා. ඒක මුදලට ‍නෙවෙයි කරන්නේ. මේ පැත්තේ ළමයින්ට චිත්‍ර ගුරුවරු නෑනේ. දැන් අවුරුදු 3-4ක ඉඳන් මේක කරන්නේ. මගේ Time table එකට අනුව තමයි මේ පන්ති කරන වේලාව හදාගෙන තියෙන්නේ. තව මට gallery යක් තියෙනවා.

නෙළුම්‍පොකුණ පාරේ චිත්‍ර අඳින්න අවස්ථාව ආවේ කොහොමද?

මට මතක හැටියට ඒ 2003. මාත් එක්ක තව යාළුවෝ හතරදෙනෙක් විතර හිටියා. අපි හැමෝම ඒ කා‍ලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ. එතකොට ඔය පාර නෙළුම්‍පොකුණ පාර නමෛයි. වෙනත් නමකුයි තිබුණේ. මේ සිද්ධිය වෙන්නේ සිංහල අලුත් අවුරුදු සමයේ. ශිෂ්‍යයෝ අලුත් අවුරුද්දට ගෙවල්වල යනවා. මම කොළඹ මිනිහා නිසා කොළඹ ඉන්නවා. අවුරුද්දට ගමේ යන කොට අම්මලාට, තාත්තලාට මොනා හරි අරන් දෙන්න අපේ කොල්ලෝ ගාව සල්ලි නැහැ. මහ‍පොළ හම්බ වෙන්නෙත් 1700 හෝ 2000 ගාණක්. ඔය ගාණ කොල්ලෙකුට හරියනවද කියන්නකෝ? දැන් අපි ‘මොකද බං කරන්නේ?’ කිය කියා මායි තව කොල්ලො තුන් දෙනෙකුයි හිත හිතා ඉන්නකොට තමයි අපි තෝරාගත්තේ පාරේ චිත්‍ර විකුණලා කීයක් හරි හොයා ගන්න. අපේ කලා ‍පොළේ තිබිච්ච චිත්‍ර 15ක් විතර අපි වෙන්කර ගත්තා. දවල් වරුවේ යන්න ලැජ්ජා නිසා අපි හතරදෙනා හවස් වරුවේ චිත්‍ර ටිකත් අරගෙන පාරට බැස්සා. අපි කලාවේ තියෙන ආධිපත්‍යය පැත්තක තියලා ජීවිතේ වෙනුවෙන් පාරට බැස්සා. අපිට සියලු දේට වඩා මේ සමාජයේ ජීවත් වෙන්න මුදල් අවශ්‍යයිනේ. එතකොට අපි ගාව තිබ්බේ රුපියල් 15යි. අපි Art gallelery ඉස්සරහ තියෙන බෝඩර් එකේ වැටේ චිත්‍ර එල්ලුවා. ටික වේලාවක් යද්දි අඳුර වැටුණා. පස්සේ ලයිට් පත්තුවෙන තැන්වලට චිත්‍ර ටික ඇරේන්ජ් කරලා තියලා තණකොළ බිස්සේ වාඩිවෙලා හිටියා. රෑ 7.30ට 8.00ට විතර අපිව පහු කරගෙන කාර් එකක් ගියා විදගෙන. පස්සේ වාහනේ ආපහු අපි ඉන්න තැනට රිවර්ස් කළා. කාර් එකෙන් බැහැලා ආපු මනුස්සයෙක් ඒ, මල්ලි මේ painting විකුණන්නද තියෙන්නේ කියලා ඇහුවා. මං කිව්වා විකුණන්න තමා තියෙන්නේ කියලා. කීයද  කියලත් ඇහුවා. එතකොට අපි විකුණනවාද? මොනවා කරනවාද කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ.

කෙලින්ම ගැනුම්කරුවෙක් මුලින්ම හමුවෙන අවස්ථාව. මං කිව්වා 2500 කියලා. තව එකක් කීයද ඇහුවා. මම 2500 කිව්වා. ආ.. එහෙනම් දෙකම දෙන්න කිව්වා. 2003 රුපියල් 2500 හරි වටිනවා. දැන් හරි. කෙළින්ම ගත්තා summer garden එකෙන් සප්පායම් වෙන්න දේවල්. දැන් ඉතින් පාර අයිනට වෙලා අපි සප්පායම් වෙමින් හිටියා. එතැන පහු කරමින් ගිය කට්ටිය චිත්‍ර විකුණනවාද? ගණන් කීයද? වැඩේ හොඳයි කියලා ගියා. රුපියල් 3000කට කිට්ටු වෙන්න අතටත් ඉතුරු වුණා. එතැනින් තමා අපි පටන් ගත්තේ. පාරේ සල්ලි තියෙනවා කියලා දැනගත්තේ ඔතැනින්. art කැමති lovers ලා ඉන්නවා පාරේ. පස්සේ අපි තීරණයකට ආවා සෙනසුරාදා ඉරිදා චිත්‍ර දාන්න. එහෙමයි පටන් ගත්තේ. කැන්වස් එක ඒ කා‍ලේ අපි ගෙනාවේ 44ට.

මමයි, කමන්තයි, මංජුයි චිත්‍ර දාන්න ගත්තා දිගටම. ගොඩක් අය හම්බ වෙනවා. කතාබහ කරනවා. ගනුදෙනු කරනවා. අපේ අතට මුදල් ලැබෙනවා.

මගේ අම්මා චූටි කා‍ලේ නැතිවුණේ. තාත්තා නැතිවුණේ ඕලෙවල් කරන්න මාස තුනක් තියලා. මගේ අක්කයි, අයියයි මාව හැදුවේ. ඒගොල්ලන් මැරි කරලා එයාලාටත් ළමයි ඉන්නවා. එයාලටත් ආර්ථික ප්‍රශ්න. මට කිව්වේ ඉගෙන ගන්න කියන එක විතරයි. ඉගෙන ගන්න කියලා අපිට හැම තිස්සේම පන්ති දෙන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. මට ඕලෙවල්, ඒලෙවල් ආර්ට් උගන්වන්න ඉස්කෝ‍ලේ ගුරුවරයෙක් හිටියේ නැහැ. නමුත් චිත්‍රවලට ‘ඒ’.

ඉතින් කොහොමද කැම්පස් ආවේ?

ඒක තමයි කියන්නේ. මට ඕලෙවල් කරපු ගුරුවරයා මාස හතක නිවාඩුවක් ගත්තා. පස්සේ ඉස්කෝ‍ලේ ඒලෙවල් කරන්න චිත්‍ර විෂය තිබ්බේ නැහැ. මං වෙනම ප්‍රයිවට් දාලා ලිව්වා. ප්‍රයිවට් කරන්නත් සල්ලි නෑනේ. පස්සේ ඉස්කෝ‍ලේ පද්මලාල් පියවංශ කියලා ගුරුවරයෙක් මහරගම මහවත්තේ ඉන්න කල්දේරා කියන සර් කෙනෙක්ට මාව සම්බන්ධ කළා. මං පන්තියේ ගියේ එක අවුරුද්දයි. එතැනින් තමා මං චිත්‍ර ඉගෙන ගත්තේ.

මිතුරන් කිහිප දෙනෙක් එක් වෙලා කරපු වැඩේ දැන් දැවැන්ත වීදි ‍පොළක් බවට පත් වෙලා තියෙනවා නේද?

මුල් කාලෙදි ලොකු විරෝධතාවක් ආවා කැම්පස් එක ඇතුළෙන් පාරවල්වල චිත්‍ර විකුණනවා කියලා. තත්ත්වයට ගැළපෙන්නෙ නෑ කියලා ප්‍රශ්න ආවා. ටික කලක් යනකොට අපි වගේම තවත් පිරිස් මෙතැනට එකතු වෙන්න ගත්තා.

කණ්ඩායම දිනෙන් දින වර්ධනය වුණා. ඉබේම කලා වීදියක් ඇති වුණා. ඒත් එක්කම අපි අපේම කියලා සංගමයක් හැදුවා ‘කොළඹ වීදි සිත්තරුන්ගේ සංසදය’ කියලා. මං අවුරුදු හයක් සභාපති විදිහට කටයුතු කළා. අපි ඔතනට එනකොටම වැටේ එහා පැත්තේ හිඟන්නෝ. එයාලගේ ඇඳුම් එල්ලනවා. අපි චිත්‍ර එල්ලෙන්නෙත් ඔය වැටේ. ඊට පස්සේ වාහන ගෙනැල්ලා නවත්වනවා අයිනෙන්. අපි එල්ලුවේ වික්ටෝරියා පාර්ක් එක වැටෙන්නේ. කපල්ස් ඉන්නවා.

පෙළක් එවුන් වාහන ගහගෙන ඒ ආතල් බලන් ඉන්න එවුන් ඉන්නවා. මං කියන්නේ අපි පාරට එනකොට තිබුණ තත්ත්වය ඒකයි. අපිත් ඉතින් ගේම ඉල්ලලා වාහන අයින් කරලා වැටවල්වල ඇඳුම් අයින් කරලා, හිඟන අය ගානට ෂේප් කරලා ආර්ට්වලට අවකාශයක් හැදුවා පාරේ. ඒකට ගොඩ කාලයක් ගියා. මං සභාපතිකමෙන් අයින් වෙනකොට සාමාජිකයන් හැටදෙනෙක් හිටියා. ඒ හැටෙන් යැපෙන තව කී දෙනෙක් ඉන්නවද? තාමත් මං ඉඳලා හිටලා යනවා පාරට. මං ළඟදිත් කතා කළා දැන් ඉන්න සභාපති එක්ක. ගුණාත්මක භාවය වැඩි කරන්න ඕන කියන එක සම්බන්ධයෙන්. මුදල කියන එකට මුල්තැන දෙන්න බෑ කියන එක.

කැම්පස් එකේ ජීවිතේ කොහොමද?
සෙකන්ඩ් ඉයර් මැද වෙද්දි තමයි අපි වැඩේට බහින්නේ. බැස්සට පස්සේ සෙකන්ඩ් ඉයර් එකෙදි වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි. ඒ කා‍ලේ මීට වඩා ලයිෆ් එක වෙනස්. කාටත් බයක් නෑ. කාටත් යටත් වෙන්නෙත් නෑ. ඒකත් එක්ක ගොඩක් හැලහැප්පීම් තිබ්බා. මං කාගෙවත් පස්සේ යන්නෙත් නෑ. දැනෙන දේ ක්‍රියාත්මක කළා. මුල්ම කා‍ලේ මං කැම්පස් යනකොට කොණ්ඩේ වවන් ගියේ. බාටා කෑල්ලක් දාගෙන ෂර්ට් එකයි, ඩෙනිමයි දාගෙන කැම්පස් ගියේ. ඔය නව්‍යකරණ වැඩසටහනට මායි, ප්‍රගීත් මනුවංශයි ගියේ එහෙම. එයා ලංකාවේ අංක එකේ ‘එසම්බල් ආර්ටිස්ට්’ අද. මත්තල ගුවන් තොටු‍පොළේ මොනරා, පංචිකාවත්තේ අශ්වයාගේ එයාගේ නිර්මාණ.

ගුරු වෘත්තියට එළැඹෙන්නේ මොන කාලෙද?
2011දී. මං ගුරුවරයෙක් වුණේ. 2005 ලියනවා මං ටීචින් 1 වැනි 2 වැනි ඉන්ටවිව් දෙකෙන්ම පාස් වෙනවා මං. ඊට පස්සේ තිබ්බ පත්වීම ගන්න. මං පත්වීම ගත්තෙ නෑ. එතකොට මං තනිකඩයි.

විවාහයෙන් පස්සේ පුතා හම්බවෙලා ලොකු පුතාට අවුරුදු තුනක් වෙනකොට ආපහු විභාගයක් තිබ්බා. 2010 කොහෙද. මං නිකම් ලිව්වා ආසාවට. ඒකෙනුත් පාස්. පත්වීම ගන්නත් ගියා. පත්වීම ගන්න ගිය එකේ ප්‍රධාන පරමාර්ථය වුණේ පරණ යාළුවෝ ටික හම්බ වෙන එක. අරලියගහ මන්දිරේ තිබුණේ. පත්වීම රෝල් කරගෙන තිබුණේ. මං දන්නෑ කොහෙද ඉස්කෝ‍ලේ කියලා. අපි යාළුවෝ කතාබහ කරනකොට එකෙක් ඇහුවා අජිත් උඹට කොහේද? කියලා. පස්සේ මම ලියුම දිග ඇරියේ. කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලකට මට ගුරු පත්වීම ලැබිලා තිබුණේ. ඒත් ඇවිල්ලා කිහිප වතාවක් මං කල්පනා කළා. යනවාද නැද්ද කියලා. පුතාට අවුරුදු තුනයිනේ. පුතා නිසා යනවා. එයාටයි මේ අවස්ථාව කියන අදහසින් මං ගියා.

නාතමුල්‍ලේ ජීවිතේ කොහොමද?
මං ‍පොඩි කා‍ලේ නාවලපිටියේ හිටියේ පුංචි අම්මා ගාව. පහ වසරේදි මං වනාතමුල්ලට එනවා. වනාතමුල්‍ලේ සීවලී විද්‍යාලයේ මං ඉගෙන ගන්නේ. මං මේ පරිසරයේ, සමාජයේ ඉන්න මිනිස්සු එක්ක හොඳට ආශ්‍රය කළා. මට තිබ්බ සුවිශේෂී හැකියාවක් ඕනෙම දෙයක් එක පාර ග්‍රහණය කරගන්න පුළුවන්. මෙහි ඉන්න මිනිස්සුන්ගේ අවංක භාවය දකිනවා. වෙනත් පැත්තකින්. ඔයාට අහන්න පුළුවන් මෙසේ ප්‍රචලිතයි කුඩුවලට, මංකොල්ල කන්න, මිනීමැරුම්වලට.

එහෙම දේවල් වෙද්දි කොයිද මේ අවංකකම කියන එක අහන්න පුළුවන්. ඒ මිනිස්සු දකින බාහිර කෝණය. මං ඒකේ දකින්නේ අනිත් පැත්ත. මම ඒක මගේ ආර්ට්වලට පෙරළනවා. මෙහේ මිනිස්සුන්ට අපි නොහිතන වයර්ලන්ස් එකක් ජවයක් තියෙනවා. මම ස්ටඩි කළේ මේ සමාජය. මේ සමාජය තුළ වෙන අකර්මන්‍යතාවය මං ස්ටඩි කළේ. ඒකේ පුරුකක් මම.

චිත්‍ර කලාව සම්බන්ධයෙන් දරන මතවාදය මොකක්ද?
පුංචි කා‍ලේ දරුවෝ කෑගහනවට, කතා කරනවට වඩා කැමති එක එක දේවල් කුරුටු ගාන්න. ප්‍රකාශනය කරන්න. ඒ ප්‍රකාශනය දෙන්නේ හැඩතල සහ රේඛා තුළින්. ‍ලේසිම මාධ්‍යය මේක. චිත්‍ර කලාව විශ්ව භාෂාවක්. ඕනම කෙනෙක්ට කියවන්න පුළුවන්. ඒ නිසා හැම කෙනකුම ඉගෙන ගත යුතු කලාව තමා චිත්‍ර කලාව. ඒ නිසා මේ සමාජය තුළ ඉඳගෙන මට වුවමනායි මේ සමාජයේ දකින දේ මගේ කලාව තුළින් නිරූපණය කරන්න.

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු
ඡුායාරූප – සජීව චින්තක කහඳගමගේ