ශ්‍රී ලංකාවේ Green tea වෙළෙඳ‍පොළෙන් 50ක ඉල්ලුම සපුරන්නේ Fadna නිෂ්පාදනයි.
මෙරට කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය Shape up tea ඇතුළු පාරම්පරික ඖෂධ රැසක් Tea bag වශයෙන් හඳුන්වා දීම නිසා Fadna සමාගම වෙනස්ම ආරක තේ නිෂ්පාදකයෙක් ලෙස වෙළෙඳ‍පොළේ නමක් දිනාගැනීමට සමත් වී තිබේ.මෙවර රිවිර ඉරිදා සංග්‍රහයේ Billion words විශේෂාංගය සමග එක්වන්නේ Food and nature pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ චාමේන්ද්‍ර සෝමතුංග මහතායි.

කොහොමද පුංචි කා‍ලේ විස්තර?
මගේ ගම ඇල්පිටිය. අම්මා පාසලක විදුහල්පතිවරියක්. තාත්තා රජයේ සේවකයෙක්. පවු‍ලේ මට බාල මල්ලි කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. ප්‍රාථමික පාසල වුණේ ඇල්පිටිය ආනන්ද විද්‍යාලයයි. පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා. ගමේ ජීවිතේ හරිම සුන්දරයි. ඒ පාසල් අවදියත් දඟකාර සහ සුන්දර විදිහට ගෙවුණා කිව්වොත් හරි.

කොළඹ ආනන්දයට පැමිණීම ජීවිතේ යම් සන්ධිස්ථානයක් වුණාද?
කොළඹ ආනන්දයට පැමිණීම ඇත්තටම ජීවිතේ Turning Point එකක් වෙන්න ඇති කියලා හිතෙනවා. ගමේ හිටියා නම් මීට වඩා ගොඩක් ජීවිතේ වෙනස් වෙන්න තිබුණා. මුල් කා‍ලේ ඥාතියෙක්ගේ ගෙදර සහ තවත් තැන්වල නවාතැන් අර ගත්තා. පස්සේ Hostel එකේ හිටියා. Hostel  එකේ ඉන්න කා‍ලේ යාළුවොත් එක්ක සුන්දර සමයක් ගත කළා.

උසස් පෙළ කා‍ලේ හුඟක් යාළුවෝ ආශ්‍රය කළා. ඔය කා‍ලේ අම්මාගේ පඩියෙන් තමයි අපි ජීවත් වුණේ. නමුත් මහලොකු සල්ලියකුත් තිබුණේ නැහැ. ඒත් කොහොමරි අවශ්‍යතා ටික ඉටු කර ගත්තා.

උසස් පෙළ අවසන් වුණාට පස්සේ ජීවිතේ වෙනස් වෙන්නෙ කොයි විදිහටද?
තාත්තා මුලින්ම මට මේ දේ කරන්න කියලා විශේෂයෙන් කිව්වේ නැහැ. ඒකත් එක්ක දෙයක් හිතලා තීරණය කරන්න නිදහස ලැබුණා. කොළඹ ඇවිල්ලා තනියෙන් ජීවත් වෙනකොට බලන්න කියලා කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා අසීමිත නිදහසක් තිබුණා. දැන් කා‍ලේ වගේ නිතරම කතා කරලා බලන්න ටෙලිෆෝන් තිබුණේ නැහැ. ගෙදරින් ආවාට පස්සේ ආයි ගෙදර යනකන් ජීවිතේ තීරණ තමන්ටම හිතලා බලලා ගන්න වුණා.

මුල්ම රැකියාව ගැන කතා කළොත්?
උසස් පෙළ අවසන් වුණාට පස්සේ මට බාටා ආයතනයේ Management Trainee කෙනෙක් හැටියට රැකියාව ලැබුණා. මතක හැටියට නම් වැටුප විදිහට ලැබුණේ රුපියල් 1600ක් වගේ දීමනාවක් පමණයි. පළවෙනි මාස හයෙන් පස්සේ රුපියල් 5000ක වැටුපක් ලැබුණා. මුල් කා‍ලේ ලැබුණ මුදල ජීවත් වෙන්න මදි නිසා අම්මගෙනුත් කීයක් හරි ඉල්ල ගන්න සිද්ධ වුණා.

ව්‍යාපාරයක් කරන්න ඕන කියලා හිතට එන්නේ කොයි කාලෙද?
මුල්ම කා‍ලේ මොනවා හර කරන්න ඕන කියලා හිතුවට මොකක්ද කරන්නේ කියලා අදහසක් තිබුණේ නැහැ. බාටා ආයතනයේ වැඩ කරන කා‍ලේ තමයි Business එකක් කරන්න ඕන කියලා ලොකුවටම හිතට ආවේ. මුලින්ම කළේ Garment Factory එකක්. ඒකේ තරගකාරීත්වය හුඟක් වැඩියි. ඒත් පාඩු නැතුව කරගෙන ගියා. පස්සේ ඒක මම නැවත CFL බල්බ් බිස්නස් පටන් ගත්තා. ප්‍රමිතියෙන් තොර CFL බල්බ් වෙළෙඳ‍පොළේ අඩු මිලට විකුණන්න පටන් ගැනීමනිසා මගේ බිස්නස් එක කඩාගෙන වැටුණා. කොටින්ම කියනවා නම් අනාථ වුණා වගේ බිංදුවෙනුත් පල්ලෙහාට වැටුණා. ඒක හොඳ අත්දැකීමක් වුණා. බිස්නස් එකක් පාඩුයි කියන දේ අපි දැනගෙන හිටියට ඒක ඇඟට දැනෙන්නේ ප්‍රාග්ධනය කියන දේ සම්පූර්ණයෙන්ම හිඳුනට පස්සෙයි.
ඒක අදටත් මට ලොකු අත්දැකීමක් වුණා. ඊට පස්සේ තමයි මම මේ බිස්නස් එකට යොමු වෙන්නේ.

Fadna ආයතනය පටන් ගන්න කොට මූලික මුදල හොයා ගත්තේ කොහොමද?
CFL බල්බ් බිස්නස් එක වැටුණ නිසා Fadna ආයතනය පටන් ගන්න කොට අතේ සතයක්වත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මට ව්‍යාපාරික සම්බන්ධකම් බොහොමයක් හැදිලා තිබුණා. ඒ හැඳුනුම්කම්වලින් උදව් අරගෙන තමයි මුලින්ම මේ ආයතනය පටන් ගත්තේ. මුලින්ම කළේ අපේ පාරම්පරික බෙහෙත් වර්ග ඒ කියන්නේ බෙලිමල්, රණවරා වගේ ඒවා භාවිත කිරීමට පහසු විදිහට Tea bag විදිහට වෙළෙඳ‍පොළට නිකුත් කිරීමයි. පස්සේ මට ආචාර්ය ඩී.බි.ඩී. විජේරත්න මහතා තමයි මුලින්ම Shape Up tea කියන අදහස මට දුන්නේ.

ඔහු ඒ කා‍ලේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු Research and development department එකේ අධ්‍යක්ෂවරයා. එයාගේ රැකියාව වුණේ තාක්ෂණය නව ව්‍යවසායකයින්ට හඳුන්වා දීමයි. ඒ යටතේ තමයි Shape Up tea පිළිබඳ අදහස මට ලැබෙන්නේ.

Fadna Shape Up tea එක සහ ඊට පසු නිෂ්පාදනවල ව්‍යාප්තිය මොන වගේද?
වෙළෙඳෙ‍පොළේ මේ වගේ තේ එකක අවශ්‍යතාව අපි දැක්කා. කෙට්ටුවීම සඳහාත් ඇඟ හැඩ කර ගැනීම සඳහාත් විශේෂයෙන්ම කාන්තාවන්ට තිබෙන උනන්දුව, හොඳ වෙළෙඳපළක් ඇතිකර තිබුණා. ඒ අනුව ගොරකා භාවිත කරලා Shape Up tea එක නිෂ්පාදනය කළා. ඒත් ගොරකා ඇඹුල් නිසා මේ ඇඹුල් ගතිය අඩු, පානය කිරීමට හැකි තත්ත්වයට ගැනීම සඳහා ගොඩක් මහන්සි වෙන්න වුණා. දැන්නම් තාක්ෂණය ඉතාම දියුණු වෙලා. ප්‍රණීත තේ පානයක් ලෙස Shape Up tea එක වෙළෙඳ‍පොළට යොමු කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා.

වර්තමානය වන විට Ranawara Tea, Belimal tea, Ginco tea, Bittergourd tea, Cinnomon tea, Tummy tea ƒ Ezy tea සහ Tummy teaවශයෙන් නිෂ්පාදන 24ක් අපි වෙළෙඳපළට නිකුත් කරනු ලබනවා. එයින් ඊභථථර බඥච කියන තේ වර්ගය මේ දිනවල ඉතාම ජනප්‍රියයි.

Fadna කියන නම හැදෙන්නේ කොහොමද?
සමාගමේ නම Food and nature කියන එකයි. මේ නමේ අකුරු අරගෙන තමයි Fadna කියලා Brand name එක හැදෙන්නේ. මුලින් අපි වැඩිය හිතුවේ නැති වුණාට පසුව ඒ නම ‍ජ්‍යොතිෂයට අනුව ඉතා හොඳ නමක් වුණා. අපේ සමාගමේ අරමුණ වන්නේ ස්වාභාවික නිෂ්පාදන මිනිසුන්ගේ ෙදෙනික ජීවිතයේදී පහසුවෙන් භාවිත කිරීමට හැකි වන පරිදි හඳුන්වා දීමයි.

Fadna නිෂ්පාදන Research වෙන්නේ කොහොමද?
අපිත් එක්ක ලොකු ටීම් එකක් වැඩ කරනවා. මාකට් එකේ අවශ්‍යතාව අපි වෙනම බලනවා. අනෙක් පැත්තෙන් තාක්ෂණය පිළිබඳවත් ලොකු අවධානයක් යොමු කරනවා. ආචාර්ය විජේරත්න මහතා සහ Food Scientist ආයුර්වේද වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ නිෂ්පාදන පිළිබඳව නිබඳවම Research කරනවා. සම්පූර්ණ නිෂ්පාදනයම අපේ.Factroy එකේ කරන්නේ නැහැ. තවත් නිෂ්පාදනාගාර රැසක් අපිත් එක්ක
නිෂ්පාදනයේදී එකතු වෙනවා. අපේ නිෂ්පාදන ඉතාම ඉහළ තත්ත්වයෙන් පාරිභෝගිකයාට නිකුත් කිරීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඊට අමතරව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් අපේ ආයතනය සතුයි. ISO 22000/HACCP සහතිකය අපි ලබාගෙන තිබෙනවා. GMP System for general Principles of food Hygiene අනුමැතිය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත සහතිකය අපි ලබාගෙන තිබෙනවා.

Fadna ආයතනයේ ආරම්භය සහ වර්තමානය අතර ඔබ දකින වර්ධනය පිළිබඳ කතා කළොත්?
අපේ Food and Nature පුද්ගලික සමාගම ලියාපදිංචි කරන්නේ 2004 වසරේදීයි. අද වෙනකොට Fadna කියන Brand එක හැමෝම හඳුනාගෙන තිබෙනවා. දැන් ලංකාවේ Green tea කියන වෙළෙඳ‍පොළ අංශයේ සියයට 50ක ඉල්ලුම සපුරන්නේ අපේ ආයතනයයි. ඊට අමතරව මැද පෙරදිග රටවල්, ඇමරිකාව, රුසියාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට අපේ නිෂ්පාදන අපනයනය කරනවා. අපි ලංකාවෙන් අලුත් දෙයක් කළා. ඒ ඒ රටවලටත් මේ අලුත් නිෂ්පාදනය හඳුන්වා දීමටත් ඒ සඳහා වෙළෙඳ‍පොළක් ඇති කිරීමටත් අපි වෙහෙසෙනවා.

ව්‍යාපාර ජීවිතේ ඉදිරි සැලසුම් මොනවාද?
තවදුරටත් ජනතාවට අවශ්‍ය නිෂ්පාදන පිළිබඳව අධ්‍යයනය කොට ඒ දේවල් වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට පියවර ගැනීම තමයි අරමුණ. ඒ වගේම වෙනස්ම විදිහේ නිෂ්පාදන කිහිපයක් තුළින් ව්‍යාපාර පුළුල් කිරීමටත් සැලසුම් කරමින් ඉන්නවා. අපි හැමදාම කළේ මිනිසුන්ගේ සතුට වර්ධනය කර ගැනීම සඳහා Life style Products වෙළෙඳ‍පොළට නිකුත් කිරීමයි. නව ව්‍යාපාර තේ නිෂ්පාදනයෙන් තොර වෙනස්ම දෙයක් වේවි.

ව්‍යාපාර ජීවිතයෙන් පෞද්ගලික ජීවිතේට ගියොත්?
මගේ බිරිඳ ඇනලින්. මට එක දුවක් ඉන්නවා. ඇය තවම පාසල් අධ්‍යාපනය ලබනවා. මම ව්‍යාපාර සහ මගේ පෞද්ගලික ජීවිතේ සමබරව ගෙනියන්න උත්සාහ කරනවා.

හොඳ ව්‍යවසායකයෙක් විදිහට අලුත් පරපුරට මොකක්ද කියන්නේ?
ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර ප්‍රධාන වෙනස්කම් තිබෙනවා. වෙළෙඳා‍පොළ අවශ්‍යතාව හඳුනාගෙන ඊට හරියන නිෂ්පාදනයක් හෝ සේවාවක් තුළින් සමාජයට යම් සේවාවක් කරන කෙනෙක් ව්‍යවසායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.

රටක් දියුණු වීමට නම් පුළුවන් තරම් ව්‍යවසායකයෝ තව තවත් බිහි විය යුතුයි. Fadna කියන Brand එක අද හොඳ තත්ත්වයක තිබෙනවා. ඒ පිළිබඳව මට තිබෙන්නේ ඉතා නිහතමානී සතුටක්.

නෙරංජලා වික‍්‍රමසිංහ
neranjalatw@gmail.com