නව දුම්රිය මාර්ග පද්ධතියක් ප්‍රවාහන පද්ධතියට එකතුවීම යනු රටේ සංවර්ධනයේ අනන්‍යතාව තහවුරු වීමකි. මාතර දිස්ත්‍රික්කයේ ජනතා සිහින මල්පල ගන්වමින් මාතර කතරගම යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය නව නොබෝ දිනකින් ජනතා අයිතියට පත්වීමට නියමිතය.

ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ග ගොන්නට එකතු වන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය අපේ රටට සම්පතක් වන්නේ එය සුද්දාගේ කාලයෙන් පසුව අපේ රටේ දුම්රිය මාර්ග පද්ධතියට එකතු වන පළමු ප්‍රධාන පෙළේ දුම්රිය මාර්ගය වන නිසාය.

ඉංග්‍රීසීන්ගෙන් පසුව මෙරට ඉදි කළ පළමු දුම්රිය මාර්ගය වන්නේ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ඉදිකළ කිලෝමීටර් දොළහක කෙටි දුම්රිය මාර්ගයයි. තනි දුම්රිය මාර්ගයක් වූ මෙම දුම්රිය මාර්ගය භාවිතයට ගැනෙන්නේ ‍පොසොන් සමයේදී වන්දනාකරුවන්ට මිහින්තලය වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව සැලසීමට පමණි.

යෝජිත මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස කිලෝමීටර් 27කින් සමන්විත වන අතර 2013 වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබිය.

කැකුණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලිඅත්ත යන ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකින් හා පිළිදූව සහ වෙහෙරහේන යන උප දුම්රිය ස්ථාන දෙකකින් සමන්විත නව දුම්රිය මාර්ගයෙන් සියයට දහයක පමණ කොටසක් කණු මතින් දිවෙන ගුවන් පාලම් මතින් ඉදිවී තිබිම විශේෂත්වයකි.

නව දුම්රිය මාර්ගයේ ප්‍රධානතම දුම්රිය ස්ථානය වන්නේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයයි. එහි මීටර් 110කින් යුත් දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලක් සහ මීටර් 250කට වැඩි දුම්රිය වේදිකා තුනක් ඉදිකර තිබේ. ඒ අනුව ලංකාවේ දැනට තිබෙන දිගම දුම්රිය වේදිකාව ලෙස බෙලිඅත්ත දුම්රිය ස්ථානය වාර්තාගත වෙයි.

මාතර සිට කැකුණදුර දක්වා කොටසේ කිලෝමීටරයක් පමණ දිගු ගුවන් පාලමක් සහ මීටර් 615ක් දිගින් යුතු බිංගෙයක් ඉදිකර තිබේ. ඒ අනුව ලංකාවේ දිගම දුම්රිය බිංගෙය ලෙස වාර්තාව හිමි කරගෙන තිබෙන උඩරට දුම්රිය මාර්ගයේ සිංගිම‍ලේ බිංගෙය පිළිබඳ වාර්තා බිඳහෙළමින් දිගම දුම්රිය බිංගෙය පිළිබඳ වාර්තාව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නාකුට්ටිය බිංගෙයට හිමිවනු ඇත. බඹරකන්ද සිට වැව්රුකන්නල දක්වා වූ කොටසේ ඉදිවී තිබෙන කිලෝමීටර් 1.5ක් දිගින් යුතුව ඉදිකර ඇති පාලම ඉදිරියේදී දිගම සහ උසම දුම්රිය ගුවන් පාලම ලෙස වාර්තාගත වීමට නියමිතය.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා :
මේ වෙනකොට මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වැඩ සියයට 95ක් පමණ අවසානයි. පසුගිය සතියේ අපි පළමු පුහුණු දුම්රිය ගමන සාර්ථකව නිම කළා.

මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 277ක් වෙනවා. චීනයේ අවුරුදු සියයක විතර පළපුරුද්ද තිබෙන චයිනා රේල්වේ ගෲප් 5 සමාගම දුම්රිය ස්ථානවල ඉදිකිරීම් භාරව කටයුතු කරනු ලැබුවා.

මෙහි දුම්රිය ස්ථාන ඉතාම අලංකාරවත් ලෙස වෙනස්ම ආරක සැලසුම්වලට අනුව සකස් කොට තිබෙනවා. මේ සෑම දුම්රිය ස්ථානයක්ම නිල නිවාස සංකීර්ණ සුපිරි වෙළෙඳසල් වගේ පහසුකම්වලින් සමන්විතයි. ඉතිරි වැඩකටයුතු අවසන් කිරීමෙන් පසුව දෙසැම්බර් මාසයේදී මෙම නව දුම්රිය මාර්ගය අපි රජයට භාර දෙනවා. ඉන් අනතුරුව ඉතා නොබෝ දිනකින් එය ජන සතු කෙරෙනු ඇත.

බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගය පිහිටි භූමියට වඩා ඉහළින් ඉදිකර තිබිම නිසා දුම්රිය ස්ථාන ද උස් භූමි මත ඉදිකර තිබේ. මෙම සියලු දුම්රිය පළවල්වල තවත් විශේෂයක් වන්නේ දුම්රිය වේදිකා අතර මගීන් ගමන් කිරීම සඳහා යටි බිම් මාර්ග ඉදිකර තිබිමයි.

මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගයේ අවසන් ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙමින් තිබේ. මාර්ගය විවෘත කිරීමෙන් පසුව මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීම සඳහා වැය වන කාලය විනාඩි 20කි.

බ්‍රිතාන්‍ය සමයෙන් පසුව සංවර්ධනය නොවූ මෙරට දුම්රිය සේවයේ නව මානයක් සනිටුහන් කරමින් මාතර කතරගම යෝජිත නව දුම්රිය මාර්ගයේ පළමු අදියර බෙලිඅත්ත දක්වා වූ කොටස ජනතා අයිතියට පත් වෙයි.

නෙරංජලා වික්‍රමසිංහ
Untitled-8 Untitled-9 Untitled-10