අන්තර්ජාල භාවිතය අද ලොව පුරා පවතින සමාජීය මෙන්ම සෞඛ්‍ය  ගැටලුවක් බවට පත් වෙමින් පවතින බව හෙළිව හමාරය. ලොව පුරා සිදුවෙන ඕනෑම සිදුවීමක් තත්පර කීපයකින් දැන ගැනීම හා තමන්ට අවශ්‍ය ඕනෑම පණිවිඩයක් තත්පර කීපයකින් ලොව පුරා ප්‍රචාරය කරලීමේ හැකියාව අද අප සතුව පවතින්නේය. එහි හොඳ මෙන්ම නරකද පවතින්නේය. අපගේ අවාසනාවකට මෙන් අන්තර්ජාලය හොඳට වඩා අප නරකට යොදාගෙන   ඇත්තේය. අන්තර්ජාල විද්‍යුත් මාධ්‍ය ඇබ්බැහිය හා අවභාවිතය පුද්ගලයාට විශාල  හානියක් සිදු කරන්නකි. අන්තර්ජාලයෙන් ඇඳටත් ඇඳෙන් අන්තර්ජාලයටත් ගමන් කරන තරුණ පරපුර අප රට තුළ පමණක් නොව ලොව පුරා බිහි වෙමින් හා බිහි වී  ඇත්තේය.

‍පොත්  කියවීමෙන් මොළයට කිසිදු හානියක් සිදු නොවන නමුත් විද්්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය තුළ බොහෝ වේලාවක් සැරිසැරීම තුළින් මොළයේ ෙසෙලයන්ට විශාල හානියක් විය හැකි යැයි ලොව පුරා පර්යේෂකයින් අනතුරු අඟවා ඇත්තේය. ජීවිතයක් අවශ්‍ය නම් ලොග් ඕෆ්  වන්න යැයි කියන තරමටම සමහරු අන්තර්ජාලයට  ඇබ්බැහි වී ඇත්තේය.

මේ වන විට අප රට තුළද වයස අවුරුදු පහට අඩු දරුවන්ට පවා ජංගම දුරකථනය සෙල්ලම් බඩුවක් ලෙස ලබා දී ඇති දෙමාපියන් සැලකිය යුතු පිරිසක් සිටින්නේය. මෙහි දී වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට තිරයක් සහිත ඉලෙක්ටේ‍රානික් උපකරණ ලබා නොදිය යුතු යැයි මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති. මන්ද මුල් අවුරුදු කීපය තුළ මොළයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවෙන බැවින් එම කාලය තුළ පුද්ගල සම්බන්ධතාවන් මගින් තීන්දු තීරණ ගැනීමට දරුවාට ඉඩ ලබා දිය යුතු වන්නේය. එමගින් දරුවාගේ මොළයේ නිසි වර්ධනයක් සිදු වේ. එහෙත් අද වන විට අපගේ දෙමාපියන්ගෙන් සැලකිය යුතු පිරිසක් දරුවා නළවා ගැනීමට හෝ කෑම කවා ගැනීමට ජංගම දුරකථනයක් හෝ තිරයක් සහිත උපකරණයක් ලබා දීමට පුරුදු පුහුණු වී ඇත්තේය. එහෙත් මෙම ක්‍රමවේදයන් මගින් දරුවා තුළ  පුද්ගල සබඳතාවන් ගොඩ නැගෙන්නෙ නැත. එපමණක් නොව භාෂා වර්ධනය පවා  ගොඩ නගා ගැනීමට නම් රූපවාහිනි තිරයේ විකාශනය වන කාටුන් වැඩසටහන් මගින් එය කළ නොහැකි වන්නේය. එයින් කියවෙන භාෂාව දරුවාගේ මනසේ සටහන් නොවන නමුත් අම්මා කියා දෙන කථාන්තරයක් දරුවාගේ මනසේ නිවැරදිව සටහන් වන්නේය. මෙහි දරුවා සහ මව අතර ඇතිවන කථන  සබඳතාව දරුවාගේ භාෂා ශක්තිය හා මතක ශක්තිය වැඩි වර්ධනය කරන්නේය.

එපමණක් නොව මෙම ඉලෙක්ටේ‍රානික් උපකරණයන් මගින් ලබා දෙන උත්තේජනයන් වැඩි බැවින් දරුවන් එයට ඇබ්බැහි වීම වේගයෙන් සිදු වෙයි. කුඩා කල දරුවන් මෙයට ඇබ්බැහි වීම යනු වැඩිහිටි වන විට ඔවුන් එවැනිඉලෙක්ටේ‍රානික් උපකරණයන්ට ඇබ්බැහිවීම සැලකිය යුතු මට්ටමක පවතින බවය.

රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගනගේ මහත්මිය සඳහන් කළේ මෙවන් අදහසකි.

අපේ ඇතැම් අම්මලා දරුවන්ට සෙල්ලම් කිරීමට සෙලියුලර් ෆෝන් ලබා දෙනවා. එහි අවාසනාවන්ත ප්‍රතිඵල දැන් දැන් අපට හෙළිවෙනවා. මොකද අපේ කථන සායනයන් වෙත රැගෙන එන ඇතැම් දරුවන්ට භාෂාව හසුරුවන්න බැහැ.

කථන හැකියාව දුර්වලයි. ඒත් එක්කම යමක් කියන විට දරුවාට වටහා ගන්න අසීරුයි.  අනික මෙවැනි ඉලෙක්ටේ‍රානික් උපකරණයන් මගින් මොළයේ ෙසෙලයන්ට විශාල හානියක් සිදුවෙයි කියන අවදානමක් ඇති වෙලා තියෙනවා. ඒත් ඒ බව තවම නිවැරදිව ඔප්පු වෙලා නැහැ. කොහොම නමුත් මෙවැනි දරුවන් වැඩිහිටිවියට පත් වෙන විට මෙවැනි දේවල්වලට ඇබ්බැහි වීමක් නිතැන්ම සිදු වෙනවා.

ඔබ අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටින්නේද යන්න පිළිබඳ ඔබට සිතා බැලීමට හැකි කරුණු කාරණා කීපයක් පෙන්වා දිය හැකිය.

නිරන්තරයෙන්ම ඔබ අන්තර්ජාලයට පිවිසීමට කල්පනා කරන්නේද?  එසේ කල්පනා කළද ඔබට අන්ර්ජාලයට හෝ මුහුණු ‍පොතට හෝ ජංගම දුරකථනයට ළඟාවීමට නොහැකි නම් එයින් දැඩි මානසික අපහසුවක් දැනෙන්නේද?

නැතහොත් ඔබ වෙනත් ක්‍රියාවක නිරත ව සිටින අතරතුර වරින් වර මුහුණු ‍පොතට හෝ අන්තර්ජාලයට පිවිසීමට උත්සාහ කරයි නම් ඔබ අන්තර්ජාලයට ඇබ්බැහී වූවෙකු ලෙස අනුමාන කළ හැකිය.

තවද අන්තර්ජාල භාවිතය ආරම්භ වූ දින සිට එහි රැඳී සිටින කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින්නේ නම් එවැනි පුද්ගලයින් ඇබ්බැහි වූවන් වන්නේය. මුලදී සතියකට වරක් හෝ දෙවරක් එහි සැරිසැරුවද පසුකාලීනව වැඩි වැඩියෙන් ඒ සඳහා කාලය මිඩංගු කිරීම, එමෙන්ම ආහාරපාන ගන්නා අතරතුර පවා සිටින තැන හෝ අවට සිටින පුද්ගලයින් පවා නොතකා මුහුණු ‍පොතේ රැඳෙන්නේය.

තමන් මුහුණු ‍පොතට අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති බව දැනී ඉන් ගැලවීමට අදිටන් කර ගත් නමුත් එම උත්සාහය අසාර්ථක වන්නේය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති පුද්ගලයකුට එයින් මිදීමට නොහැකි වන්නා සේම අන්තර්ජාලයට ඇබ්බැහි වූවන්ට එයින් මිදීමට නොහැකි වෙන්නේය.

විශේෂයෙන්ම ජංගම දුරකථනයන්ට මේ වන විට අපගේ තරුණ පරපුර වැඩි වශයෙන් ගොදුරුවෙමින් පවතින බව සක්සුදක් සේ පැහැදිලිය. ජංගම දුරකථනය බොහෝ විට මොළයට ආසන්නයේ තබා ගෙන දවසේ වැඩි වේලාවක් ගතකිරීම හේතුවෙන් දුරකථනයෙන් නිකුත් වන ඉලෙක්ටේ‍රානික් තරංගයන් මගින් මොළයේ ෙසෙලයන්ට හානි සිදු විය හැකි යැයි පර්යේෂකයින් සැක පළ කරති. මේ පිළිබඳව නිවැරදිව දත්තයන් තවමත් සොයාගෙන නොමැති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව පර්යේෂණ ආරම්භ කර ඇත.

අන්තර්ජාලයට ඇබ්බැහිවීම තුළ පුද්ගලයකුට දරු සම්පත අහිමි වීම, පෙම්වතාට පෙම්වතිය අහිමිවීම, යහළුවන් යෙහෙළියන් අහිමිවීම, සමාජ සබඳතා අහිමි වීම, කරනු ලබන වෘත්තියෙන් ඉදිරියට යාම අහිමි වීම වැනි අවදානම් තත්ත්වයන් මතුවිය හැකිය.

එසේම තවත් අවදානම් තත්ත්වයක් වන්නේ තමන්ට මුහුණ දීමට සිදුවෙන ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා හෝ ජීවිතයේ නීරස බව නැති කර ගැනීම සඳහා අන්තර්ජාලය හෝ මුහුණු‍පොත භාවිත කිරීම.

මෙම ක්‍රියාමාර්ගයන් තුළින් අන්තර්ජාලයට තම ජීවිතය බිලිදී බලා සිටිනා තරුණ පරපුරක් අප සතු වීම රටක් ලෙස අප ආපස්සට ගමන් කරන බව සත්‍යයකි. එපමණක් නොව කායිකව හා මානසිකව ගැටලු ඇති වීමට තිබෙන ඉඩකඩ අධිකය.

අන්තර්ජාලයට ඇබ්බැහි වූ පුද්ගලයින් මතෛකැයි තවමත්  විද්‍යාත්මකව ගණනය කර නොමැති  නමුත් ලොව පුරා සිදුකර තිබෙන සමීක්ෂණයන්ට අනුව විවිධ රටවල මෙම ගණනය කිරීම අවසන් කර ඇත්තේය. ඒ අනුව දකුණු කොරියාවේ මුළු ජනගහනයෙන්  සියයට 20ක් ද චීන ජනගහනයෙන් සියයට 10.2ක්ද ජපානයේ ජනගහනයෙන් සියයට 9.2ක්ද අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති බව හෙළිව ඇත්තේය.

අප විද්‍යාත්මක ගණනය කිරීමක් කර නොමැති නමුත් මේ වන විට ශ්‍රී ලාංකිකයන්ගේ අන්තර්ජාල භාවිතය ඉහළ මට්ටමක පවතිනේනේ යැයි අනුමාන කෙරේ. ඒ අනුව ලංකාවේ නාගරික ජනගහනයෙන් සියයට 15ක් අන්තර්ජාලය භාවිත කරන්නේය. ජනගහනනේ සියයට 87ක ප්‍රමාණයක් ජංගම දුරකථන සංඥා ලැබෙන ආවරණ කලාපයේ සිටින්නේය. වසර 2005 අන්තර්ජාල භාවිතය මෙන් 3 ගුණයක් වසර 2015 වසරේදී ශ්‍රී ලංකාව වාර්තා කරයි. මින් වැඩි පිරිසක් අන්තර්ජාලය භාවිත කරනුයේ ජංගම දුරකථන හා අනෙක් ජංගම දුරකථන සබඳතා මිලියන 25ක් ශ්‍රී ලංකාවේ ඇත. මිලියන 4.5ක ජනතාව මුහුණු‍පොත භාවිත කරන්නේය.  මෙහිදී මුහුණු ‍පොත භාවිත කරන අයගෙන් සියයට 33ක් කාන්තාවන් වන අතර සියයට 67ක් පුරුෂයින්ය.

ශ්‍රියානි විජේසිංහ