රටේ දකුණු ප්‍රදේශයට ගංවතුර ගලන්නට තරම් දැඩි වර්ෂාපතනයක් ඇදහැලුණද උතුරුකරයේ බොහෝ ප්‍රදේශවල තවමත් පවතින්නේ නියං තත්ත්වයකි. මේ නිසා යාපනය දිස්ත්‍රික්කයේ පවුල් දහස් ගණනකට පානීය ජලය නොමැතිව මහත් පීඩාවකට පත්ව සිටින්නේය. මේ අතුරින් වඩාත් පීඩනයට පත්ව සිටින යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්, අරාලි, ‍පොන්නාලි, චුල්ලිපුරම්, චංකානි යන ගම්මානවල පදිංචිකරුවන්ට පානීය ජලය නොමැතිව ජලය සොයා දිනකට සැතපුම් ගණන් ඇවිද ගියේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයෙන් පවා ප්‍රමාණවත් පරිදි ජලය නොසැපයීම නිසාවෙනි.

සිංහ‍ලේ අපි ජාතික සංවිධානය පිළිබඳව බොහෝ දෙනා අවබෝධ කරගෙන සිටියේ ජාතිවාදී කළකෝලාහල ඇති කරන සංවිධානයක් ලෙසිනි. නමුත් ඔවුන් සිය සංවිධානය පිළිබඳව ජනතාව තුළ තිබූ දුර්මතය වෙනස් කරමින් උතුම් සද්කාර්යයකට අප්‍රසිද්ධියේ පසුගියදා අතතැබුවේය. එය නම් උග්‍ර පානීය ජල හිඟයෙන් පීඩා විඳින උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පානීය ජලය ලීටර් ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් සිය දෑතින්ම බෙදාහැරීමට කටයුතු කිරීමය.
මේ සද්කාර්ය සිදු කරනු ලැබුවේ සිංහ‍ලේ අපි ජාතික සංවිධානයේ මනුදම් සහන ප්‍රජා සත්කාර ඒකකය විසිනි.

දරුණු ජල අර්බුදයකට මුහුණපා සිටි මෙම ප්‍රදේශයේ ජනතාවට සෑම සති දෙකකටම වරක් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය විසින් එක් පවුලකට ජලය ලීටර් තිහක් ලබාදෙන බවත්, එම ජල ප්‍රමාණය දින තුනක කාලයකටවත් පරිභෝජනය කළ නොහැකි බව ජල අර්බුදයට මුහුණදී සිටින කරෙයිනගර්, අරාලි, ‍පොන්නාලි, චුල්ලිපුරම්, චංකානි යන ගම්මානවල පදිංචිකරුවන් කියා සිටිති.

මෙම අවස්ථාවේදී පානීය ජල බෝතල් ලබා ගැනීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ඉහතකී ගම්මානවල විශාල පිරිසක් පැමිණ සිටියහ. මනුදම් සහන ප්‍රජා සත්කාර ඒකකයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා සිය අනෙකුත් සාමාජිකයින්ද සමඟ වෙහෙස නොබලා ජලය බෙදා හැරීමේ කටයුතු වල නිරත වූහ. මෙම කටයුත්ත සිදු කිරීම සඳහා උතුරු පළාත් ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි මහතාද විශාල සහයෝගයක් දැක්වූවේය.

මෙම වැඩසටහන සම්බන්ධව සිංහ‍ලේ අපි ජාතික සංවිධානයේ මනුදම් සහන ප්‍රජා සත්කාර ඒකකයේසභාපති ජඹුරේවෙල චන්දරතන හිමියෝ මෙසේ කියා සිටියහ.

රට කරවන පාලකයෝ අධාර්මික වනවිට සුදුසු කලට වැසි නොවැටී අකලට වැසි වැටී බත බුලත විනාශවී ජනතාව පීඩාවට පත්කරන බව බුදුහාමුදුරුවෝ දේශනාකර තිබෙනවා. මෙවැනි පරිසරයක් තුළදී සිංහ‍ලේ අපි ජාතික සංවිධානය උතුර දකුණ යාකරන මනුස්සකමේ පැන් පූජාව උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට ගෙනෙන්න සැලසුම් කළා.

දකුණේ පරිත්‍යාගශීලී සිංහල ජනතාව ලබාදුන් පානීය ජලය ලීටර් ලක්ෂයත් මේ සඳහා අපට ලබා දුන්නා. අප මේ ජලය බෙදා දුන්නේ හත්වැනි අවස්ථාවටයි. සිංහල ජාතියේ සැබෑ අරුත නම් සතුරෙකුටවත් වෛර නොකිරීමයි. එය තමයි සැබෑ සිංහල බෞද්ධකම. වර්තමාන දේශපාලකයෝ බල ලෝභයෙන් කෘතිමව ඇති කරන ජනවාර්ගික ගැටලු අපි පිළිකුලෙන් යුක්තව ප්‍රතික්ෂේප කරනවා.

පානීය ජලය බෙදා හැරීමේ කටයුත්ත සඳහා සිංහ‍ලේ අපි ජාතික සංවිධානයේ මහ ‍ලේකම් බටුවන ඥානිස්සර, ව්‍යාපෘති අධ්‍යක්ෂ මාළිඟාවිල සිසිල ජෝති, කැඳවුම්කරු පල්ලෙබැද්ද පේමාලෝක, මූල්‍ය ‍ලේකම් ගලහිටියාවේ සංඝරක්ඛිත, උප සභාපති නැලිගම චන්දානන්ද යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තිස් නමක් පමණද, එම සංවිධානයේ සාමාජිකයින් සියයක් පමණද සහභාගි වූහ.

නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මීට පෙර අවස්ථා හයකදී පානීය ජලය ලීටර් ලක්ෂ පහළොවක් පමණ බෙදාදුන් බවද මනුදම් සහන ප්‍රජා සත්කාර ඒකකය සඳහන් කරයි.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com