පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත් සැප්තැම්බර් 28 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. ඉන් කියැවෙන්නේ වෙළෙඳ‍පොළේ අලෙවි කෙරෙන පානීය ජල බෝතල්වල මිල ගණන් අඩු කිරීම සම්බන්ධවය. දිනකට ලක්ෂ ගණනින් අලෙවි වන පානීය ජල බෝතල්වල මිල ගණන් අඩු කිරීම නිසා පාරිභෝගිකයාට යම් සහනයක් ලැබුනද, එම ජලයේ ගුණාත්මක තත්වය පිළිබඳව තවමත් ගැටලු රැසක් පවතින්නේය.

මෙරටට පානීය ජල බෝතල් හඳුන්වා දෙනු ලැබුවේ 1980 වසරේ අග භාගයේදීය. අද වන විට පානීය ජල බෝතල් සඳහා පවතින ඉල්ලුම අධිකය. බොහෝ කර්මාන්ත ශාලා, කාර්යාල, නිවාස ආදියෙහි සේම මඟ තොට යන එන බොහෝ දෙනාද පානීය ජල බෝතල් බාවිතයට පුරුදුවී සිටිති. මේ නිසා පරිසරයට එකතු වන ප්ලාස්ටික් ජල බෝතල් ප්‍රමාණය ගණන් කළ නොහැකි තරමටම විශාලය.

රුපියල් පනහේ සිට රුපියල් තුන්සීය, හාරසීය ආදී විවිධ මිල ගණන්වලට පානීය ජල බෝතල් අලෙවි කෙරෙයි. සංචාරක හෝටල්වල පානීය ජල බෝතල් අලෙවි කෙරෙන්නේ බෝතලයේ සඳහන් මිලට වඩා වැඩි මිලකටය. මිලි ලීටර් 500 පානීය ජල බෝතලයක් අලෙවි කෙරුණේ රුපියල් පනහකට හෝ හැටකටය.

මිලි ලීටර් 500 පානීය ජල බෝතලයක් නිෂ්පාදකයා විසින් වෙළෙන්දාට අලෙවි කරනු ලබන්නේ රුපියල් 22. 00 කටය. ලීටරයේ පානීය ජල බෝතලයක් රුපියල් 38කටද, ලීටර් 5 පානීය ජල බෝතලයක් රුපියල් 115 කට ද නිෂ්පාදකයා වෙළෙන්දාට අලෙවි කරනු ලබන්නේය.

පානීය ජල බෝතල්වල මිල අඩු කරන්න හේතුව ඒවායින් වෙළෙන්දා අසීමිත ලාභයක් ඉපැයීම නිසයි. නිෂ්පාදකයා රුපියල් පහලොවට විකුණන ජල බෝතලය වෙළෙන්දා විකුණන්නේ රුපියල් පනහට. කාලයක් තිස්සේ මේ ගැටලුව පැවතියා. ඒ නිසා මෙලෙස මිල ගණන් අඩු කරනු ලැබුවා. යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙකු පැවසීය.

දැනට වෙළෙඳ‍පො‍ලේ තිබෙන පානීය ජල බෝතල්ද නව ගැසට් පත්‍රයේ මිලට අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනුම් දී ඇතත්, තවමත් පානීය ජල බෝතල් අලෙවි කෙරෙන්නේ පැරණි මිල ගණන්වලටය.

පානීය ජල බෝතල් නිෂ්පාදකයා ඉකුත් සැප්තැම්බර් මස 28 වැනිදා සිට නිෂ්පාදනය කරන පානීය ජල බෝතල්වල නව මිල සඳහන් කළ යුතුයි. අපි ඉදිරියේදී පානීය ජල බෝතල් නව මිල ගණන්වලට විකුණනවා දැයි පරීක්ෂා කිරීම සඳහා වැටලීම් සිදු කරනවා. යැයිද එම නිලධාරියා කීවේය.

කෙසේ වූවද මෙම පානීය ජල බෝතල් නිපදවන ස්ථාන ඉදිකර තිබෙන්නේ රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතවය.  නකල්ස් ප්‍රදේශය ආශ්‍රිත සංවේදී වනාන්තර පද්ධති එළි පෙහෙලි කර පානීය ජල බෝතල් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ සැලසුමක්ද පසුගිය කාලයේදී පැවතියේය. ඒ දේශපාලන අධිකාරියේ සහයෝගයද ඇතිවය. මාධ්‍යයෙන් ඒ සම්බන්ධව කළ හෙළිදරව්ව නිසා එය තාවකාලිකව නතර කෙරිණි. නමුත් අලු යට ඇති ගිනි පුපුරු මෙන් කොයි වේලාවක හෝ මෙම ව්‍යාපෘතිය නැවත කරලියට පැමිණිය හැකිය.

කෙසේ නමුත් පානීය ජල බෝතල් ව්‍යාපෘතිවලට මහා පරිමාණයෙන් අතගසා ඇත්තේ බහු ජාතික සමාගම්ය. එම සමාගම්වල අවශ්‍යතා පරිදි මෙරට රක්ෂිත ප්‍රදේශ එම සමාගම්වලට ලබා දීමට මෙරට දේශපාලනඥයින් අරඅඳිමින් සිටින්නේය. මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කරනු වෙනුවට සමාගම්වලින් ලබාදෙන ඩොලර්වලට මෙරට දේශපාලනඥයින් බොහෝ දෙනෙකු වහල්වී සිටින්නේය.

පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන සමාගම් රැසක් මෙරට පිහිටා ඇත. මෙම නිෂ්පාදන කටයුතු සඳහා ජලය සපයා ගන්නා අදාළ මූලාශ්‍රය පරීක්ෂා කර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක් නිකුත් කරනු ලබන්නේය. නමුත්, මෙම ස්ථානවල නිසියාකාර ක්‍රමවේදයන්ට අනුව පානීය ජලය සකස් කරන්නේද යන්න ගැටලුවට කරුණකි. බහුලව පානීය ජල බෝතල් අලෙවි කෙරෙන පිටකොටුවේ පානීය ජල බෝතල් නිෂ්පාදනය වන්නේ ක්ෂණිකවය. තත්වයෙන් බාල ප්ලාස්ටික් බෝතල්වලට ටැප් වතුර පුරවා සූක්ෂම ආකාරයෙන් පාරිභෝගිකයාට අලෙවි කරනු ලබන්නේ කාලයක සිටය. පාරිභෝගිකයින් එම ස්ථානවලින් ජල බෝතල් මිලදී නොගැනීමට වගබලා ගත යුතුව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් මෙරට වෙළඳ ‍පො‍ලේ තිබෙන පානීය ජල බෝතල් සම්බන්ධව පරීක්ෂණයක්ද සිදු කරන ලදි. එහිදී අනාවරණය වී ඇත්තේ ඒවායෙහි මලපහ අඩංගු බවය.

පානීය ජල බෝතල්වල ජලයේ තත්වය සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ඕ. ඒ. ඉ‍ලේපෙරුම මහතා මෙසේ කියා සිටියේය.

බෝතල් කළ පානීය ජලයේ එතරම් හොඳ තත්වයක් නෑ. එක පාරක් පානීය ජල බෝතල් සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් මේ සම්බන්ධව පරීක්ෂාවක් මීට වසර තුන හතරකට ඉහතදී සිදු කළා. එම පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා ඊ කෝලයි නමැති මලපහවල තිබෙන බැක්ටීරියා අන්තර්ගතව තිබෙන බව. අපේ ලංකාවේ මිනිස්සුන්ගේ පිරිසිදුකම අඩුයිනේ. ඒකයි ඊට හේතුව. පානීය ජලයේ කිසිම දෙයක් තියෙන්න බෑ. ඒවා පිරිසිදු මට්ටමක තිබිය යුතුයි. නල ජලයේ උනත් ක්ලෝරීන් බහුලව අන්තර්ගතයි. පානීය ජල බෝතල් නිෂ්පාදනයේදී ජලය සඳහා වැය වෙන්නේ රුපියල් දෙකක විතර මුදලක්. වැඩි වියදමක් යන්නේ ප්ලාස්ටික් බෝතලය සඳහායි. යැයි සම්මානිත මහාචාර්ය ඉ‍ලේපෙරුම මහතා පැවසුවේය.

වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල පානීය ජලය ලීටරයක් රුපියල් තුනකට හෝ හතරකට අලෙවි කෙරෙන්නේය. ගෘහස්ථවල සකසා ඇති ජල පෙරණ යන්ත්‍ර මගින් මෙම පානීය ජලය අලෙවි කෙරේ. නමුත්, මෙම පානීය ජලයේද ගැටලු තත්වයන් පැවතියද ඒ පිළිබඳව වගකිවයුතු අංශ මතෛක් නිසි අවධානයක් යොමුකර නැත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ලොරිවල ප්ලාස්ටික් ජල ටැංකි පටවා පානීය ජලය මුදලට බෙදාහරින්නේය.

පානීය ජල බෝතලයේ මිල අඩු කිරීම මගින් පාරිභෝගිකයාට යම් සහනයක් ලැබුනද, ඒවායෙහි ගුණාත්මක තත්වය පිළිබඳවද අදාළ අංශ නිරතුරු පරීක්ෂා කරන්නේ නම් ඉතා අගනේය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com

Untitled-6