කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසාම ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. තවමත් ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙලා නැහැ. මේ වෙනකොට හුරතල් දරුවෝ දෙන්නෙක්ගෙම පියෙක් වන ඔහු රංගනයටත් වඩා දරුවෝ දෙන්නා වෙනුවෙන් වෙලාව වෙන් කරලා කියලයි ඔහුට කතා කරපු අපිට නම් හිතුණේ. ඉතින් මේ දිග හැරෙන්නේ විශ්ව කොඩිකාරගේ සොඳුරු කැදැල්ලෙන් අපිට වෙන් වුණු මොහොතක්.

* විශ්ව ගොඩක් කාර්යබහුලද මේ ටිකේ?
එහෙම කියන්න තරම් ලොකු කාර්යබහුලත්වයක් නම් නෑ. වැඩ ගොඩක් භාර ගත්තොත් නම් කාර්යබහුල වෙනවා, ඉතින් අනිවාර්යයෙන්ම.

* ඉස්සර හැමදාම දැකපු නළුවා දැන් දැන් දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්?
ඔව්. එහෙම එකක් නම් තියෙනවා තමයි. මගේ පවුල් ජීවිතේට කොහොමත් මුල් තැන ලැබිය යයතුයි කියන මතයේ සිටීම ඒකට හේතුවක් වෙන්න ඇති.

* ඒ කියන්නේ පිය පදවිය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලද තියෙන්නෙ?
මම කොච්චර වැඩ භාර අරන් කළත් ඒ හැමදේකම අවසාන සතුට තියෙන්නේ මගේ ගෙදර. මගේ දරුවෝ ළඟ. ඉතින් ඒ නිසා එයාලා වෙනුවෙන් කැපවෙන්න කාලය හදා ගන්න අවශ්‍ය නිසාම වැඩ ගොඩක් භාර ගන්නේ නෑ.

* මොනවද මේ දවස්වල කෙරෙන වැඩ කටයුතු එහෙම?
මේ දවස්වල අහස් මාලිගා එක්ක වැඩ කරගෙන යනවා. ඒ වගේම චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවා තමයි ඉතින් මේ දවස්වල කෙරෙන වැඩ. ඊට අමතරව තවත් ටෙලි නාටයයකට ආරාධනා ලැබිලා තියෙනවා.

* දරුවෝ දෙන්නෙක්ගේ තාත්තෙක් වුණාට තවමත් ජනප්‍රියත්වය නම් අඩු වෙලා නැතුව ඇති?
ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් පාඩුවක් නැහැ. පාරට බැස්සට මිනිස්සු ඇවිත් කතා කරන එක තවම වෙනස් වෙලා නෑ. මටත් කතාවෙන් හෝ හිනාවකින් ඔවුන් එක්ක හැමදාම ඉන්න නිසා වෙන්න ඇති ඒ ආදරය මටත් පෙරළා ලැබෙන්නේ.

* ඒ අතරිනුත් වැඩිපුරම ගැහැනු ළමයි අතර වෙන්න ඇති ජනප්‍රිය?
එහෙම විශේෂත්වයක් නැහැ. ගැහැනු ළමයිගෙනුත් ප්‍රතිචාර ලැබෙනවා. ඔවුනුත් ඇවිත් කතාබහ කරනවා.

* විශ්ව කියන්නේ තවමත් අර ඉස්සර හිටපු සරල, බොලඳ පෙම්වතාද?
සරල හො බොලඳ කියලා මම චරිත වෙන් කරලා නෑ. මම කරන්නේ මට ලැබෙන චරිත. ඒ කොහොම වුණත් මම උපරිම උත්සාහ ගන්නේ මට ලැබෙන හැම චරිතයක්ම පවු‍ලේ හැමෝටම නැරඹිය හැකි චරිතයක් බවට පත් කරන්න.

* ඒ සරලත්වයෙන් මිදෙන්න ඔබටත් වුවමනාවක් නැද්ද?
රඟපාන චරිත කොහොමත් සරල වෙන්නෙ නැහැ. මහන්සි වෙලයි චරිතයකට පණ දෙන්නේ. ඉතින් මම කරන්නේ මට ලැබෙන චරිත. ලැබෙන ප්‍රතිචාර එක්ක බලන කොට මම හිතනවා මම සාර්ථකයි කියලා.

* සුදු චරිත විතරද ඔබ රඟපාන්නේ?
මම උත්සාහ ගන්නේ මගේ චරිතයෙන් හැමෝටම යමක් දෙන්න සහ එම චරිතය හැමෝම අතරට යන චරිතයක් බවට පත් කරන්න. ඉතින් එතැනදී මිනිස්සු මගෙන් බලා‍පොරොත්තු වෙන යමක් තියෙනවා නම් මම උත්සාහ ගන්න ඕනි ඒ රස දනවන චරිතවලින් ඉස්සරහට එන්න. එහෙම බලන කොට මම රඟපාන්නේ ප්‍රේක්ෂකයා බලා‍පොරොත්තු වෙන චරිත කියලා කීවොත් හරි.

* තවමත් ඔබ ඉස්සර වගේම සමාජ සේවාවල නිරත වෙනවද?
ඒ කාර්යයන්වල නම් අඩුවක් වෙන්නෙ නැහැ. මහා පරිමාණයෙන් නොවුණට මට හැකි විදිහට සමාජය වෙනුවෙන් යමක් කළ හැකි නම් මම ඒ දේ කරනවා.

* පුංචි තිරය ඔබට හුරු වුණාට සිනමාව නම් තවම එච්චර හුරු නෑ නේද?
ඇතැම් සිනමා නිර්මාණ මට ලැබෙන කොට මම වෙනත් වැඩ භාරගෙන ඉවරයි. ඉතින් මම වැඩ කරන විදිහක් තියෙනවා. මුලින්ම භාර ගත්තු දේ අතෑරලා වෙනත් දේකට යොමු වෙන කෙනෙක් ‍නෙවෙයි මම. ඒ හින්දා වෙන්න ඇති සිනමාවට මගේ මුහුණ නුහුරු වෙන්නේ.

* දරුවො දෙන්නත් දැන් දඟ වයසේ ඇත්තේ?
ඔව්, දුවයි පුතයි දැන් ඉන්නේ ටිකක් දඟකාර වයසේ. පුතාට දැන් අවුරුදු දෙකක් වෙනවා. එයාගේ උපන් දිනේ තිබුනේ පසුගිය දවසක. දූටත් දැන් අවුරුදු තුනක් වෙනවා. ඉතින් එයාලාගේ හුරතල් දඟ වැඩ තමයි ජීවිතේ සම්පූර්ණයි කියලා අපිට දනවන්නේ.

* දෙන්නගෙන් කවුද කලාවට ලැදි?
එහෙම තවම කියන්න අමාරුයි. නමුත් දූට ගීත ගායනා හැකියාව තරමක් තියෙනවා. ඉතින් අක්කටයි මල්ලිටයි කැමැති දේ එයාලා තෝරා ගනීවි.

* දවසක දෙන්නටම තාත්තා වගේ රඟපාන්න ඕනි කීවොත්?
එහෙම වෙන්න ඕනි කියලා කීවොත් ඒකට ඉඩ දෙනවා. මොකද ඒ ඔවුන්ගේ කැමැත්තනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ කැමැත්තට ඉඩ හදලා දෙන්න අපිට සිද්ධ වෙනවා.

* බබාලා දෙන්නා වැඩිපුරම ලැදි ඔබටද බිරිඳටද?
එක් කෙනෙක්ටම කියලා කියන්න බෑ ඉතින්. වයිෆ් නිතරම එයාලා ළඟ ඉන්න නිසා එයාට කොහොමත් ලැදියි. නමුත් මම ඉන්න වෙලාවටත් වෙනසක් නැතුව අපි දෙන්නා ළඟම ඉන්න එයාලා කැමතියි.

* ගෙදර වැඩවලට ඔබත් සහාය වෙනවා ඇති නේද?
ගෙදර හරි බබාලගේ හරි මට කරන්න පුළුවන් වැඩක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම කරනවා. මම ගෙදර රැඳෙනවා අඩුයි. නමුත් ඉන්න වෙලාවට මට පුළුවන් උපරිමය මම ඔවුන් වෙනුවෙන් කැප වෙනවා.

* කලාව නිසා පවුල් ජීවිතේ මගහැරුණු තැන් එහෙම තියෙනවාද?
එහෙම මගහැරෙන තැනට වැඩ කටයුතු සිද්ධ වෙලා නෑ. හැම තිස්සෙම පවු‍ලේ අය වෙනුවෙන් වෙලාව ඉතුරු කරගෙනයි මම වැඩ භාර ගන්නේ. ඒ නිසා එහෙම මගහැරෙන්නේ නම් නෑ.

* ගෙදර ඉන්න නිදහස් වෙලාවට කොහොමද කාලය ගත වෙන්නෙ?
ගොඩක් වෙලාවට දරුවො දෙන්නත් එක්ක තමයි දවස ගත වෙන්නේ. චිත්‍රපටයක් එහෙම බලන්න වෙලාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම බලනවා. නැත්නම් ඉතින් බබාලා දෙන්නා එක්කම තමයි ඉන්නේ.

* මොනවද ඉදිරි නිර්මාණ ඔබව දකින්න ලැබෙන?
ඉදිරියේදී චිත්‍රපටයකින් දැනට විකාශය වන අහස් මාලිගා හරහාත් මාව දකින්න ලැබේවි. ඊට අමතරව ඉතින් ආරාධනා ලැබෙන විදිහට නිර්මාණ භාරගෙන රංගනයේ නිරත වෙනවා.

නඳුනි ආරියවංශ

vishwa-1 vishwa