අමරසිරි පීරිස් ගයන කේමදාසයන්ගේ සංගීතයෙන් පණ ලද ලූෂන් බුලත්සිංහලගේ පුරුෂ මූලික ආත්මාර්ථකාමී අනියම් පෙමක් ගැන සඳහන් වෙන කන්‍යාභාවය පිළිබඳව පුරුෂ කේන්ද්‍රීය දෘෂ්ටියකින් බලන ”කන්‍යාවි” ගීතය අපි මෙහි ලා කතාබහට ලක් කරමු. මෙම ගීතය ගැන ලූෂන් බුලත්සිංහල සමග කරන ලද සාකච්ඡුාවකින් ලද කරුණු ද මෙහි ඇතුළත්.

ස්ථායී කොටස:
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවි
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත‍්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවි

පරාක‍්‍රම නිරිඇල්ලගේ සිරි මැ`දුර චිත‍්‍රපටයට ලූෂන් රචනා කළ ගීතයක් මේක. ඔහු ගීතය ලියා කේමදාස සමග මේ ගීතය ගැන සාකච්ඡුා කළේ කේමදාස කාර් එක එළවන ගමන්. කේමදාස, ලූෂන්ට කිව්වා පද රචනය කීප වතාවක් කියවන්න කියලා. හිටි ගමන් ඔහු කීවා ”නවතින්න, ලූෂන් ඔතන තමයි සින්දුව පටන් ගන්න  ඕන තැන” කියලා. එහෙම තමයි ”මිනිසා මරණ තුනක් ඇති මිනිසා” කොටසින් මේ සින්දුව පටන් ගත්තේ. සිරි මැදුර චිත‍්‍රපටයේ කේන්ද්‍රීය පිරිමි චරිතය වන රවීන්ද්‍ර රන්දෙණිය බරපතළ රිය අනතුරකින් කොඳු ඇට පෙළේ ආබාධයකින් පෙළෙන හා කතා කිරීමේ හැකියාව නැති සංගීතඥයෙක්. ඔහුගේ භාෂාව සංගීතය. ඔහුගේ ශාරීරික අවශ්‍යතා ඉටු කර දෙන්නේ සිරි මැ`දුරේ හිර වූ නූගත් ග‍්‍රාමීය මෙහෙකාරියගේ චරිතය රඟපාන අනෝජා වීරසිංහ. එහෙත් ඔහු ඔහුගේ සහෝදරයාගේ බිරිඳ (මාලිනී ෆොන්සේකා* සමග ආත්මීය සංවාදයකට එළැඹෙන්නේ ඇයගේ පියානෝව වාදනය කිරීමේ හැකියාව ඔස්සේයි. මෙහෙකාරියගේ නොසියුම් ජීවන දහරාව ඉදිරියේ ඇයට නොතේරෙන සංගීතය දැන් ඇයගේ අයිතිවාසිකම්වලට අභියෝගයක් වෙලා. මෙම තුන් කොන් අරගලය එහි උපරිමය දක්වා ඔසවා තබන තැනකයි මෙම ගීතය චිත‍්‍රපටයට එක් වෙන්නේ. ලූෂන්, මෙම ගීතයට සංකල්ප රූපකයක් ලෙස යොදා ගන්නේ මෙම ගීතය චිත‍්‍රපටයේ එක චරිතයක්වත්, එක සිද්ධියක්වත් ඉලක්ක කරගෙන නොවේ. වචනාර්ථයට වඩා සමස්ත සින්දුවෙන් එන භාවාත්මක රසය විඳින එක වඩාත් යෝග්‍ය වන්නේ, ලූෂන් එකිනෙකට යම් ආකාරයකින් සම්බන්ධමුත් ඍජුව සම්බන්ධයක් නැති සංකල්ප රූප පෙළක් මගින් මෙම ගීතයේ අරුත ඉහළ තලයකට ඔසවා තබන නිසා.
මෙහි ආරම්භක රූපකය ලූෂන්ගේ මනසට ආවේ චිත‍්‍රපටයේ එන තුන් කොන් ලිංගික ආලය ඔහුට සිහිපත් කළ පැරණි ජන කවියකින්.

වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
ළිඳේ පණිඳාය වැටුණොත් ඌ කාය
අතකින් කර වැලකි අතකින් දඬු බෑය
මරණ තුනක් අති මිනිහෙක් පැණි කෑය

මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන පුරුෂ චරිතයට මරණ තුනක් හෙවත් උවදුරු තුනක් ඇත. එමෙන්ම ඔහුගේ ක‍්‍රියා නිසා තිදෙනකුටම මරණය හෝ උවදුරු එල්ල වේ. ඒ ඔහුගේ මරණය, තම සහෝදරයාගේ බිරිඳගේ මරණය සහ නිවසේ මෙහෙකාරියගේ මරණයයි. එහෙත් කම් සැපයට ලොල් වූ මිනිසාට උවදුරු නොපෙනේ. ඔහු කශේරුකා ආබාධයකුත් සහිතව මරණ තුනකටම හේතු පාදක වන ලෙස තුන් කොන් ලිංගික සම්බන්ධතාවක යෙදෙමින් බලා සිටන්නේ මරණ තුනක් ඇති මිනිහා පැණි කනවා වගේ.

මෙම ගීතයේ කන්‍යාවකට ආරාධනාවක් කෙරෙනවා. කන්‍යාව, පවිත‍්‍රතාවේ සංකේතයක් ලෙස සැලකේ. මෙම චිත‍්‍රපටයේ එන චරිත තුනම පවිත‍්‍ර චරිත නොවන බව පෙනේ. කන්‍යාවට නිරුවත් දෑසින් හෙවත් සංස්කෘතිය, සදාචාරය, ආදී විවිධ වූ කණ්ණාඩි හෙවත් දෘෂ්ටි කෝණ නොදමා විවෘත, ස්වාභාවික දෑසකින් බලන්න කියලයි මේ ආරාධනාව.

මෙහි කන්‍යාවි යන්න සමහර වියතුන් ව්‍යාකරණ දෝෂයක් ලෙස විවේචනය කළත් භාෂා විශාරදයෙක් ප‍්‍රකාශ කර ඇත්තේ මෙහිදී කෙරෙනුයේ ඉල්ලීමක් හෙයින් ආලපන විභක්තියේ දී කන්‍යාව කන්‍යාවි යන රූපයට පෙරළා ගත්තාට වරදක් නැති බව.

කන්‍යාවකගේ කන්‍යාභාවය බිඳෙන සුලූය. වෙනත් වචනවලින් කියුවොත් ගැහැනියකට අතවරයක් වීමට තියන අවදානම වැඩිය. ඇය ආරක්ෂා කරන දෙය වැසී ඇත්තේ දුහුල් සළුවකින් පමණි. එතරම් සවිමත් නොවන ලිහිල් සළුව අනතුරට ලක් වෙද්දී, කන්‍යාභාවය නැති වෙද්දී, පයෝධර තුඩු භීතියෙන් ඉකි බිඳී. කන්‍යාවට වීණා වයන්න යැයි කියන්නේ අසංවාදී සුසුම් වේගයේ රිද්මයෙනි. මෙහිදී රචකයා මෙවුන් දමින් මුසපත් වූ දෙ හදක් සංවාදයෙන් තොරව සංවාද කරන අයුරු ප‍්‍රතීයමාන කරයි. මෙම තාලයට වීණාව වයන්න කන්‍යාවට ආරාධනය කෙරේ.

අන්තරා කොටස:
නියඟලා මල් පාට දේදුනු දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා – හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එළි ගන්වා
වයන්න වීණා කන්‍යාවී

ගීතයේ දෙවන කොටස ස්වභාවධර්මයේ එන විවිධ සිදුවීම් මත පාදක වේ. නියඟලා මලේ ඇත්තේ දේදුන්නේ පාටවල එන අපූර්ව වර්ණ මිශ‍්‍රණයකි. දේදුන්න දෙබෑ කර එන ගිරා පොව්වන් හෙවත් පෝතකයින් යන සංකල්ප රූපය ලූෂන් රසවත් ව ඉදිරිපත් කරයි. හංසයන් නෙළුම් මල්වල රේණු අනුභව කිරීමට ඉතා ලොල්ය. හංසයා තවමත් නො පිබිදුණු නෙළුම් කැකුලක් වුවත් බලෙන් පුබුදුවා එහි රේණු අනුභව කරයි. කම් සැපට ලොල් වූ මිනිසාට ආදේශ කරන මෙම රූපකය කම් සැප පතන්නා මල්වර නොවූ යුවතියක් වුවද, විවාහක අවිවාහක ආදී කුමන තත්ත්වයේ ළඳක් වුවද, තම රති අවශ්‍යතා සපුරා ගැනීමට කෙලසා දමන බවට ඉඟි කරන උපමාවකි මෙය.

හංසයා නෙළුම් කැකුළක් තුඩින් පහරා රේණු අනුභව කිරීම ගැන මනරංජන රාජසේකර වත්තගේ ලියූ කොටසක් අනුව කුමාරදාස කවියා සංස්කෘත බසින් කළ ජානකීහරණය හෙවත් සීතා පැහැර ගෙන යාමේ කතාවේ දොළොස් වන සර්ගයෙහි දැක්වෙන ශ්ලෝකයේ මෙම සංකල්පය ඇතුළත් වේ.

නිපීඩ්‍ය චඤ්ච්වා කමලස්‍ය කුඞ්මලං
නිබෝධයාමාස බලෙන සාරස:
සු ගන්ධි ගර්භං මුකුලී කෘතං හ්රියා
පති: ප‍්‍රයත්නාදිව කන්‍යකා මුඛම්

”හංසයෙකු විලෙහි වූ නෙළුම් කැකුළකට තුඩින් පහර පහරා ඇන බලාත්කාරයෙන් එය පුබුදු කර එහි සුවඳ ගැබ මිලින කළ සේ සළෙලකු විසින් ප‍්‍රයත්නයෙන් කන්‍යාවකගේ කන්‍යා මුඛය වනසා ලැජ්ජාවට පත් කරනු ලැබීය.”
කෝට්ටේ යුගයේ වැඩ විසූ තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් තරුණ අවදියේ ලියූ පරෙවි සන්දේශයෙහි මෙම ශ්ලෝකයේ අදහස එහෙම පිටින්ම ඇතුළත් කවියක් දක්නා ලැබේ.

රත් සර කැකුළකට තුඩු දී හසෙකු මොළ
සිත් සහතොසින් සෙද විදහා පුබුදු කළ
පත් නූ අඟන රස අඟනකට කැරැු ලොළ
මත් සලෙළකු ගියා වැනි අචල කෙළි කෙළ

මෙම කවියෙන් දඟකාර හංසයෙක් රතු නෙළුම් කැකුළක් තුඩින් ඇන සිත් පුරා පුබුදු කළා සේ අනංග රසය නොවිඳි කාන්තාවකට හෙවත් කන්‍යාවකට ලොල් වැඩූ මත් සල්ලාලයෙකු අචල කෙළි කෙළ ගියාක් වැන්නැයි කියවේ. අචල කෙළි යනු රති ක‍්‍රීඩාවයි.

කන්‍යාවියට මෙම සංසිද්ධිය දෙස නිරුවත් දෑසින් බැලීමට පමණක් නොව ස්වභාවධර්මයේ එම ප‍්‍රපංචවල ඇති රිද්මයෙන්, තාලයෙන් ඔකඳ වී වීණාව වැයීමට ඇරයුම් කෙරේ. එයත් නිකම්ම නොව රසාතලය කලඑළි ගන්වාය. රසාතලය යන සංකල්පය සද්ධර්මාලංකාරයේ තෙභාතික වස්තුවේ සඳහන් වනුයේ ”මී තෙල් බිම වැගිර වට පැතිර රසාතලයට බට පරිද්දෙනි” යනුවෙනි. අග්ගඤ්ඤ සූත‍්‍රයේ ලෝකය මැවුණු ආකාරය විස්තර කිරීමේදී මුලින් ම පෘථිවියේ බිම දිය වූ රසවත් චොකලට් වැනි යමකින් සමන්විත වූ බව පැවසේ. කාම ලෝකයේ දිවි පැවැත්ම රඳා පවතිනුයේ රස පොළොව සාරවත් වූ තරමටය. එම නිසා මෙම රසාතලය තව තවත් ආලෝකවත් කරමින් කලඑළි ගන්වමින් වීණාව වයන්න යැයි කන්‍යාවට ආරාධනා කෙරේ.

මේ ගීතය නිමැවුණු ආකාරය ගැන දිගු විස්තරයක් ලූෂන් ගේ ”සෙවණැලි නොමැකේ නම්” පොතේ 62-67 පිටුවල ඇත. එහි සුළු කොටසක් මෙසේ උපුටා දක්වමි. ලූෂන්ගේ කන්‍යාවි සින්දුව ගැන ජේ.බී. දිසානායක කියපු දේ හා ලූෂන් ඒක මෙලෙස වාර්තා කරපු හැටි මෙහෙමයි.

”කන්‍යාවි නම් පදය නිවැරදි වහරක් නොවේයැයි මහාචාර්ය ජේ.බී.දිසානායකයන්ගේ ප‍්‍රසිද්ධ දෝෂ දර්ශනයට ලක් වුණා. ව්‍යාකරණානුකූලව කන්‍යාව කියා මිස කන්‍යාවී නමින් වහරක් නොවන බව එතුමා පෙන්වා දුන්නා. … ”නිරුවත් දෑසින් බලන්න කන්‍යාවි, වයන්න වීණා කන්‍යාවි” මං කරන්නේ කන්‍යාවියකට කරන ආයාචනයක්. කන්‍යාව කියලා යෙදුවම එහි නාද සිතුවම වර්ණවත් නැහැ. ඒ නිසා මං ඒ පදය වෙනස් කළා. මට ඇහුම්කන් දුන්නු කරුණාරත්න අමරසිංහ ටික වෙලාවක් කල්පනා කරලා මෙහෙම කිව්වා. ඒක හරි ලූෂන් වැරැුද්දක් නෑ. මෙතන කරන්නේ ඉල්ලීමක්.

ආයාචනයක්. ඒ නිසා ආලපන විභක්තියේදී කන්‍යාව කන්‍යාවි කියල රූපයක් ගත්තට වරදක් නැහැ. කරු කියපු කතාව මහාචාර්ය ජේ.බී. දිසානයකයන්ටත් කනින් කොනින් ඇහුණා. එතුමාත් ටික වෙලාවක් කල්පනා කරලා මෙහෙම කිව්වා. ”ඔව් කරූ හරි ආලපන විභාක්තියේදී නම් කන්‍යාවී කියලා යෙදුවාට වරදක් නැහැ තමයි”…එහෙත් අද වහර විසින් කන්‍යාවි කියා යෙදුවාට එහි අර්ථය ව්‍යාකූලත්වයක් නැති බවයි පේන්නේ. ජීවමාන භාෂාවක ව්‍යාකරණයත් ලෝකයේ සෙසු හැම දෙයක් වගේම අනිත්‍යයයි. වෙනස්වනසුලූයි.”

මරණ තුනක් ඇති මිනිසා ලෙස පැණි නොකා රසාතලය ආලෝකවත් කරන්නට ඇරයුම් කරමින් අපේ කතාව නිමා කරමු.

චිරාන් වින්ස්දර්