විටෙක නර්තනයෙනුත් විටෙක ගායනයෙනුත් සිය රසිකයා අතරට එන ඇය නමින් කුෂානි සඳරේඛා. තමාටම අනන්‍ය වූ ෙශෙලියකට උරුමකම් කියන ඇය වෘත්තීය පරිපූර්ණත්වය ලබන්නේ ගායනය හරහා. කටහඬ වගේම රූපයත් නිසා ඇය කවදත් ජනප්‍රියත්වය ඉහළින්ම රඳවා තබා ගැනීමට සමත් වන්නියක්. ඉතින් මේ රිවිසරසිය ඇය සමග කෙරුණු සොඳුරු කතාබහක්.

* අලුත් තොරතුරු මොනවද කියලම ඉමු මුලින්ම?
මේ දවස්වල නම් මගේ අලුත් ගීත කීපයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම චිත්‍රපට කිහිපයකටත් පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණා.

* ඔබේ සරල ගීත හරි අඩුයි නේද?
ඔව්. මගේ සරල ගීත හරි අඩුයි. මොකද චිත්‍රපට පසුබිම් ගීත, ටෙලි නාට්‍ය තේමා ගීත බොහොමයක් කෙරුණු නිසා සරල ගීතවල තරමක අඩුවක් තියෙනවා. ඒ නිසාමයි මේ වෙනකොට ඒ ගැන ටිකක් අවධානය යොමු කරන්න ඕනියි කියලා හිතුවේ.

* ඔබේ කටහඬට ලැබුණු ඇගයීම් ගැනත් කතා කරමු?
චිත්‍රපට පසුබිම් ගායන දෙකකට සම්මාන උළෙලවල් දෙකකදී මට සම්මාන ලැබුණා. දෙරණ චිථ්‍රපට සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම ගීතය හැටියට දේදුනු ආකාසේ චිත්‍රපටයේ මල් කලඹ ගීතය සඳහා ඇගයීම් ලැබුවා. ඒ වගේම හොඳම ගායනය සඳහා ආදරණීය කතාවක් චිත්‍රපටය වෙනුවෙන් සරසවි සම්මානයෙනුත් පිදුම් ලැබුවා. ඊට පෙරත් විවිධ අවස්ථාවල සම්මාන ලබලා තියෙනවා.

* ඔබ කලාව නිසාම කාර්යබහුල කෙනෙක්ද?
සාමාන්‍යයෙන් ගායිකාවක් විදිහට මම කොහොමත් කාර්යබහුලයි. ගෙදර වැඩකටයුතුත් මගේ අතින්ම සිද්ධ වෙන නිසා ටිකක් ඒ කාර්යබහුලත්වය වැඩියි.

* හැම දෙයක්ම සමබරව කරගෙන යන්න කාලය ප්‍රමාණවත්ද?
කාලය ප්‍රමාණවත්. ඒ කාලය හරිම අරපරිස්සමෙන් පාවිච්චි කරන්නයි මම නිතරම උත්සාහ ගන්නේ.

* මේ දැන් දැන් ඇහෙන ගීත ගැන මොකද හිතෙන්නෙ?
හොඳ ගීත අහන්න, රස විඳින්නත් අපිට හැකියාව ලැබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. නමුත් අපේ දෙමාපියන්ගේ කා‍ලේ තරම්ම සාරවත් නිර්මාණ රස විඳින්න තවම අපි වාසනාවන්ත වෙලා නෑ. ඒ අඩුව තරමක් දුරට දැනෙනවා.

* ඔබට හිතෙන්නෙ නැද්ද අපේ රටේ ගැහැනු කටහඬවල්වල තරමක අඩුවක් තියෙනවා කියලා?
ඒ අඩුව හැමදාම තිබුණා. මීට කාලෙකට පෙර ඒ අඩුව දැනුණේ නැහැ. නමුත් ඊට පස්සේ දිගටම ඒ අඩුව පැවතුණා. බොහෝ වෙලාවට එකම හඬක් ඇහෙන්න මාධ්‍ය විසින් ඉඩ වෙන් කිරීම ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්.

* ඔබ හිතනවද ඔබේ කටහ¾ඩින් උපරිමය කළාය කියලා?
නෑ. මම හිතන්නෙ මගේ කටහ¾ඩින් තවම ප්‍රයෝජන අරන් නෑ. මේ මගේ උපරිමය ‍නෙවෙයි.

* රියැලිටි ගායකයෝ ගැන මොකද හිතන්නෙ?
ක්ෂේත්‍රයට පිවිසෙන්න හරි ‍ලේසි ක්‍රමයක්නේ ඒක. නමුත් මම හිතන්නෙ නැහැ පවතින්න තරම් ඔවුන් ශක්තිමත් කියලා. මොකද ඔවුන් මුල සිටම මේ වෙනුවෙන්ම කැප වුණු අය ‍නෙවෙයිනේ. නමුත් ඒ හරහා ඇවිත් පැවැත්මක් ගොඩනගා ගන්න පිරිසක් ඒ අතර ඉන්නවා.

* ඔබ කැමැතිම විදේශීය කටහඬක් තියෙනවාද?
එහෙම කැමැතිම කටහඬවල් බොහෝයි. මොකද එක එක ෙශෙලීන්ට අනන්‍ය වූ හඬවල් ලෝකේ බිහිවෙලා තියෙනවා. ඒක ගෑනුද පිරිමිද කියලා නෑ දෙපක්ෂයටම ‍පොදුයි. ඉතින් එහෙම බලන කොට මට මාරයි කියලා හිතෙන බටහිර හා පෙරදිග හඬවල් සෑහෙන්න තියෙනවා.

* සංගීතය තුළ ඔබ කවුරු හෝ අනුකරණය කරනවද?
නෑ. මම කාවවත් අනුකරණය කරන්න යන කෙනෙක් ‍නෙවෙයි. මට තරගයක් තියෙන්නේ මං එක්කමයි.

* නර්තනය එක්කත් ඔබේ නම නිතරම කියැවෙනවා. ඒ ගැනත් කතා කරමු?
නර්තනය නම් මම කළේ ආසාවට. නමුත් මාව මිනිස්සු අතරට ගියේ නර්තනය හරහා. ගායනය හා නර්තනය මම ආරම්භ කරන්නේ එකට. ඒක උත්පත්තියෙන්ම ආපු දෙයක්. මම එන්නේ වෘත්තියමය ගායිකාවක් වෙන්න. ඒ අතරට මම නර්තනයත් යොදා ගන්නවා. මම හිතන්නේ මගේ ප්‍රාසාංගිකත්වය තියෙන්නේ ගායනය හා නර්තනය මිශ්‍රවීම තුළ.

* ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
අලුතින් ප්‍රසංගයක් පවත්වන්න ඕන කියන අදහසින් මම මේ වෙනකොට ඉන්නේ. හැම දෙයක්ම භාරගෙන කරන්න යන්නෙත් නැතුව නිදහස කියන දේ තියාගෙන වැඩ කරන්නයි මම උත්සාහ ගන්නේ. ඒ විදිහට එළියට එන නිර්මාණ කිහිපයක් ඉදිරියේදී හැමෝටම රස විඳින්න අවස්ථාව ලැබේවි.

නඳුනි ආරියවංශ
kushani