ඇය වේදිකාව, සිනමාව, පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සැබෑ නමට වඩා හැමෝම ඇයව ආමන්ත්‍රණය කරන්නේ කෝපි කඩේ දයාවතී නමින්. ඒ නිසාම සුසිලා කෝට්ටගේගේ අලුත් තොරතුරු අහන්න මේ ඉඩ ඇය වෙනුවෙන් වෙන් කළා.

* මොනවද අලුත් තොරතුරු?
වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ප්‍රීතිරාජ්ගේ චිත්‍රපට දෙකක වැඩ කරන්න ලැබුණා. තවත් චිත්‍රපටයක වැඩ කරන්නයි ඉන්නේ.

* තවමත් ඔබව මිනිසුන්ට මතක දයාවතී නමින්. ඒ ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නෙ?
ඒ ප්‍රතිචාරවල නම් කිසි අඩුවක් නැහැ. අනෙක් අයට ඔවුන් රංගනයෙන් දායක වෙන චරිතවලට කතා කරන්නේ කාලයකට විතරයි. මට ඕනම කෙනෙන්ට අභියෝග කරන්න පුළුවන් ජීවිත කාලෙම එකම නමකින් කතා කරන්නෙ නැහැ. එහෙම කතා කරන්නෙ ටික දෙනෙක්ටයි. මට දයාවතී චරිතය ආශීර්වාදයක් වුණා. මොන සෙල්ලම් නැටුවත් මම කොහේ ගියත් මට කතා කරන්නේ දයාවතී කියලා. ඒ චරිතෙට අදටත් හැමෝම ආදරෙයි.

* කෝපි කඩේ කලා ශිල්පීන් නිතර මුණ ගැහෙනවාද?
ඔව්. කිහිප දෙනෙක්ම මුණගැහෙනවා. ඒ කා‍ලේ හිටපු ‍පොඩිම එකා මම. හිත හොඳ කිහිප දෙනෙක් අප අතරින් වියෝ වුණා. අද මම ක්ෂේත්‍රයේ ඉන්න තැන ගැන ඔවුන් කෝපි කඩේ ඇතුළේ හරිම ඉහළින් කතා වෙලා තියෙනවා. ඔවුන් මම ගැන එහෙම කතා කිරීම මට ලොකු සතුටක්. මම තරහ වෙලා ‍නෙවෙයි ඉවත් වුණේ. මට ඔවුන්ගේ ආශීර්වාදය හැමදාම ලැබෙනවා. මගේ චරිතය වෙනුවට කවදාවත් වෙන කෙනෙක් කෝපි කඩේ ඇතුළට යවලා නැහැ. ඒක ඇත්තටම මට ලැබුණු ලොකු ගෞරවයක්.

* කුරුංගුරුන්ව බලන්න ගියේ නැද්ද?
බලන්න යන්න ලැබුණේ නැහැ. මට ඔහුව ගිය මාසේ ටවර්හෝල් එකේදී හම්බ වුණා. අද සියලුම කලා ශිල්පීන් විරුද්ධයි ඒ හිඟාකෑමට. ඒ දේ එහෙම විය යුතු නැහැ. ස්වාධීන රූපවාහිනියත් මම දන්නා විදිහට ඔහුට මුදල් උපකාර කළා. පුද්ගලිකවම මම දන්නවා තිලක් කුමාර රත්නායක ඇමැති කෙනෙක් ලවා සල්ලි හොයලා දුන්නා. කෝපි කඩේ කලා ශිල්පීන් ඔවුන්ට ලැබෙන වේතනයෙන් කොටසක් අයින් කරලා ඔහුට දීලා තියෙනවා. අද හැමෝම ඔහු මේ කරන දේට දොස් කියනවා. චිත්‍රා වාකිෂ්ට කිසිම හව්හරණක් නැතිව ඉන්නවා. මම කියන්නේ මිනිසුන්ගේ ආදරය හිඟා කන එක හොඳ නැහැ කියලයි. මේක කලා ක්ෂේත්‍රයට කරන නිග්‍රහයක් කියලයි මම හිතන්නේ.

* ඔබ රියැලටි තරගවලට බොහොම උනන්දුවෙන් සම්බන්ධ වෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. මම ගොඩක්ම ආසාවෙන් උනන්දුවෙන් තමයි මේ තරගවලට එකතු වෙන්නේ. අලුත් කෙල්ලෝ කොල්ලෝ එක්ක ඉද්දී ප්‍රශ්න නැහැ. ඔවුන් මට හරි ආදරෙයි. ඒ වගේම මාව හරි ඉහළින් පිළිගන්නවා. මට ගෞරව කරනවා. මාව ඕන නිසානේ මට කතා කරන්නේ. ප්‍රේක්ෂකයා සතුටු වෙන දෙයක් නිසා මම බොහොම ආසාවෙන් ඒවට සම්බන්ධ වෙනවා.

* කෙල්ලො කොල්ලන්ට හොඳ තරගයක් දෙන්න හැකියාවක් තියෙනවා කියලා හිතනවද?
මම තරගයක නමෛයි ඉන්නේ. අපි අනිවාර්යයෙන් දිනන්න ඕන කියන දේ මගේ නැහැ. ඒ තරගවලට යද්දී මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට මම මොනවද දෙන්න ඕන කියන දේ විතරයි. මම හිතන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම පැරදිලා නැහැ කියලා. ඒ නිසා ඒ ගැන මට සතුටක් තියෙන්නේ.
* ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම්?
මම හරිම ආසයි සාත්තු සේවිකාවක් වෙන්න. මම ඒ නිල ඇඳුමට හරි කැමැතියි. රංගනයට එකතු වෙන්න කලින් මම ගුරුවරියක් ලෙස වැඩ කළා. පෙර පාසල්වල ළමයින්ට අනාථ නිවාසවල ළමයින්ට ඉගැන්නුවා. කලා ක්ෂේත්‍රයට එකතු වුණාට පස්සේ මම උගන්වන එක නතර කළා. මාව ප්‍රේක්ෂකයන්ට එපා වුණ දවසට මම ආසයි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරලා ළමයින්ව බලා ගන්න.

* ක්ෂේත්‍රයට එකතු වෙලා වසර කීයක් වෙනවද?
වසර තිහක් වෙනවා.

* ඔබ රංගන ක්ෂේත්‍රයට එකතු වෙනවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?
ඔවුන් කැමැති වුණේ නැහැ මම රංගනය තෝර ගත්තට. මොකද මම පවු‍ලේ එකම ළමයා නිසා. මම හිතන්නේ මේ හැකියාව පෙර ආත්මෙන් ලැබුණු පිනක් කියලයි.

* පාසල් කාලෙදි අමතර වැඩවලට ලොකු අවධානයක් දුන්නා කියන්නේ ඇත්තද?
ඔව්. ක්‍රීඩාවටයි කලා වැඩවලටයි තමයි ගොඩක්ම උනන්දු වුණේ. බොහොම අඩුවෙන් තමයි ‍පොතපතට අවධානය දුන්නේ. මට දඬුවම් ලැබුණා හරියට. දැන් පාස‍ලේ ගුරුවරු ආදි ශිෂ්‍යයෝ හමුවුණාම කියන්නේ අද මම ඉන්න තැන අරුමයක් නොවෙයි කියලා. මම පාස‍ලේ බොහොම කැපී පෙනෙන චරිතයක්. මගේ නම කියූ පමණින් හැමෝම දන්නවා මේ අහවලා කියලා.

* වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නෙ?
මේ ක්ෂේත්‍රය හරිම වටින තැතක්. මේ ක්ෂේත්‍රයට ආදරය කරන, කල එළි කරන, ක්ෂේත්‍රයේ දුකක් කියන්න කෙනෙක් නැති එක ඇත්තටම කනගාටුවක්. අපට හරි රජයක් නැහැ. අපි ඒ ගැන ලජ්ජා විය යුතුයි. රටේ මිනිස්සු පිනවන්නේ අපි. අද බොහෝ ශිල්පීන් ගෙවල්වලට වෙලා ඉන්නවා. ඒ ඉන්දියානු කඩපිල් නාට්‍ය මෙහේ පෙන්වනවා. වර්තමානයේ ප්‍රශ්න ගැන කතා කරන්න මේ වෙලාව මදි. කවුරුත් මේ ගැන කතා කරන්න කැමැති නැහැ. කලාකරුවට ලබාදීලා තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ. බත් පැකට් එකක් දීලා රුපියල් දීලා ‍නෙවෙයි අපි මේ ආදරය ලබන්නේ. අපි ඔවුන්ට වඩා අද ප්‍රේක්ෂකයන්ගේ හිත්වල ඉහළ තැනක ඉන්නේ. ඒ ගැන විතරක් සතුටක් තියෙනවා.

* ඔබ වැඩිපුරම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ හාස්‍යෝත්පාදක චරිතවලටද?
ගොඩක් ඒ චරිතවලට දායක වුණත් වර්තමානයේ වෙනස් චරිතවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ චිත්‍රපටයේ ලැබුණා බොහොම වෙනස් බැරෑරුම් චරිතයක්. ඔහු එක්ක වැඩ කරන්න ලැබුණා කියලා කියන්නේ මට සම්මානයක් ලැබුණා හා සමානයි. ප්‍රහසන නිළියක් ලෙස දැන් ‍ලේබල් ගහන්න බැහැ කියලයි මම හිතන්නේ.

* ඔබ බොහොම විනෝදයෙන් කාලය ගත කරන කෙනෙක්. මොකක්ද රහස?
මොන සෙල්ලම් කළත් අපට සියලු දේ අන්තිමට දාලා යන්න වෙනවා. අත්හැරලා යන මොහොතේ කියලා යන්න තියෙන්නේ අපි කරපු දේවල් විතරයි. මම නිතරම අනුන් ගැන හිතලා වැඩ කරන්න ඕන කියලයි හිතන්නේ. මට තව දේවල් ඕන කියලා රැස් කර ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඕනම වෙලාවක මට මේ දේවල් දාලා යන්න පුළුවන්කම තියෙනවා. හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන නිසා මට හෙට ගැන බයක් නැහැ.

* පවු‍ලේ විස්තර මතක් කළොත්?
මමයි මගේ මහත්තයයි විතරයි ඉන්නෙ.

* කොහොමද ඔබේ ආදරණීය සැමියාව මුණගැහෙන්නෙ?
ඔහු වේදිකාව නිසා අහම්බෙන් හමුවුණු කෙනෙක්. මම ගොඩක් දුක්විඳලා තනියම ජීවත් වුණු කෙනෙක්. ඔහු මට ලැබුණු වටිනාකමක් කියා නිම කරන්න බැරි කෙනෙක්. ජීවිතේ හැලහැප්පීම් නොතිබුණාම නොවෙයි. ඔහු මගේ ජීවිතයේ හෙවනැල්ල වගේ හැමදාම ඉන්නවා. පුළුවන් කාලෙදි වැරදි කරලා පස්සෙ තමයි ගොඩක් දෙනාට ගෙදර දොර මහත්තයා දරුවෝ මතක් වෙන්නේ. එහෙම අය තමයි අද ගොඩක් ඉන්නේ. අපි නිතරම ගෙදර ගරුත්වය රැකගෙන වැඩ කළොත් ජීවිතේ ගෙනියන්න ‍ලේසියි.

තිළිණි කරුණාරත්න