‘බඹර ගීතය’ 1982 පෙබරවාරි 5 වැනිදා ප්‍රථම වරට තිරගත විය. මෙහි අධ්‍යක්ෂ වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. නිෂ්පාදනය කළේ සමනල සිනමා වෙනුවෙන් ඉන්ද්‍රා භාරත පෙරේරාය. බඹර ගීතයට පෙර ආරියරත්නයන් ‘දුෂ්කර ක්‍රියා’ කෙටි චිත්‍රපට සහ (1975) අනුපමා, (1978) සරුංග‍ලේ, (1970) ‍පොඩි මල්ලී, (1979) සිරිබෝ අයියා, (1980) කෝලංකාරයෝ, (1981) බඹා කෙටූ හැටි, (1981) සතර පෙරනිමිති සහ වජිරා (1981) යන වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ඔහු අනුපමා වෘත්තාන්ත චිත්‍රපටයෙන් පසු අධ්‍යක්ෂණය කළ 10 වැනි සිංහල චිත්‍රපටයයි. මෙය සිනමාස්කෝප් පුළුල් තිර චිත්‍රපටයකි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙරට සිනමාවේ පසුගිය වකවානුවේ බිහිවූ විශිෂ්ටතම ගේය පද රචකයාය. ඔහුගේ කලා දිවියේ ආරම්භයේ පසුපස සිටි දැවැන්තම චරිතය වූයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරාණන් වන තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය. ඔහු සම්මානනීය ‍‍‍ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියෙකි. පසුගිය වසර ගණනාවක් ඇතුළත මෙරට චිත්‍රපට ගීත ක්ෂේත්‍රයේ මහාචාර්ය ආරියරත්නයන් දැක්වූ දායකත්වය ඉතා ඉහළ එකකි. එය කිසිසේත්ම වාදයකට ගැනීමට තරම්වත් අවැසි නොවේ. ‘සරසවිය’ සම්මාන උළෙලවල් පවත්වද්දී හැමවිටම හොඳම ගීත රචනයට හිමි සම්මානය පිරිනැමුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ටය. එමෙන්ම ඒ හා සමගාමීව පැවැත්වූ වෙනස් සිනමා උළෙලවල්හිද අදාළ වර්ෂයන්හි හොඳම ගීත රචනයට හිමි සම්මානය පිරිනැමුණේ මහාචාර්ය ආරියරත්නයන් අතින් රචනා කරන ලද ගීත සඳහාමය.

නවකතා රචකයකු, ගේය පද රචකයකු, පරිවර්තකයකු, ශාස්ත්‍රීය පර්යේෂකයකු මෙන්ම සංගීතඥයකු, සිනමාකරුවකුද ආදී වශයෙන් තවත් බොහෝ තැන් පුරා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රතිභා විහිදා යයි. ඔහු මේ සෑම විෂයයක් කෙරෙහිම නිරතුරුව අභ්‍යාසයේ යෙදෙන ශිෂ්‍යයෙක්ද වෙයි. ඒ නිසාම ඔහු යාවත්කාලීන පුද්ගලයෙකි. චිත්‍රපට ගීත රචනය හෝ සරල ගීත රචනය හෝ වේවා ඔහු විසින් සංස්කරණය කරන ලද ග්‍රන්ථ මාලාවේ හෝ වේවා ඔහුගේ වදන් මාලාව අපූරුය.

යාපනේ විශ්වවිද්‍යාලයේ දැඩි හිරු රශ්මියෙන් පීඩා විඳි ආරියරත්නයන් ඒ කාලයේද කලා කෘතීන් එළිදැක්වීය. ඉන්පසු ජීවිතාරක්ෂාව පතා රටින් පලා යන්නේ දකුණ ගිනිගනිද්දීය. එහෙත් ඒ පලා යෑම ආශිර්වාදයක් විය. දෙමළ සාහිත්‍ය හා සංස්කෘතියද, සංගීතයද පිළිබඳ විශාල අත්දැකීම් රාශියක් ලබාගැනීමට ඒ පලායෑම උපයෝගි විය.

තරුණ කාලයේදී ඔහු වාර්තාගත වූයේ එකම චිත්‍රපටයක් හෝ තිරගත වන්නට පෙර චිත්‍රපට නවයක් නිර්මාණය කරමිනි. මහාචාර්ය ආරියරත්නයන් කලා ලොවට පිවිසියේ ගීත ප්‍රබන්ධකයකු ලෙසිනි. එතෙක් පද රචනය ඒකාකාරීව තිබූ අතර, දක්ෂ ප්‍රකට ගීත රචකයන් සිටියද ඒ සෑම ගීත නිබන්ධකයකුම අබිබවමින් ආරියරත්නයන් ඉදිරියට ආවේ ගීත කලාව වෙනස් මගකට යොමු කරමිනි.

1970දී ලංකාවේ වඩාත්ම සාකච්ඡාවට භාජනය වූ සරුංග‍ලේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 1979 මාර්තු 2 වැනිදා එය ප්‍රදර්ශනය කෙරිණ.

‘බඹර ගීතය’ චිත්‍රපටයේ කතාව මෙසේය.
මාලනී, දුප්පත් ගොවි පවුලක එකම දරුවාය. පියාගේ මරණින් පසු අසරණ තත්ත්වයට පත්වන ඇය සුරූපීය. ඒ නිසාම ගමේ අවුරුදු කුමරිය වශයෙන් කිරුළ ලැබුවාය. මෙම උත්සවයේදී හමුවන සිල්වා නමැති මහත්මයකු මෙම සුරූපී අසරණියට තමාගේ ව්‍යාපාරයේ රැකියාවක් ලබාදීමට ‍පොරොන්දු විය. සියලු දුක දුරුකර ගැනීමේ අභිලාෂයෙන් සිල්වා මහතාගේ කාරුණික අනුග්‍රහය යටතේ රැකියාවක් පතා එහි යන ඇයට ඔහුගේ පාතාල ලෝකයේ රැජිනිය සේ කිරුළු පලඳින්නට සිදුවූවාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවජාතක දරුවකු ලබන ඇය ගම්මුන්ගේ පරිභාසයෙන් මිදෙන්නට ගම අතහැර නගරයට පැමිණියාය. කුලී නිවසක පදිංචි වූවාය. සිල්වා මහතාගේ ක්‍රීඩා සමාජයේ ගණිකාවක වශයෙන් සේවය කිරීමෙන් ලබන වැටුපෙන් ඇය සිය මහලු මවත්, අවජාතක දරුවාත් ‍පෝෂණය කිරීමට වෑයම් කළාය.

මේ අතර ප්‍රථම ප්‍රේමයෙන් බැට කා අයා‍ලේ යන ‘රවි’ නම් තරුණයා ඇයට හමුවෙයි. තමාට දිනපතා හමුවන ගනුදෙනුකරුවන්ට වඩා වෙනස් ගති පැවතුම් ඇති ඔහු ඇය කෙරේ සැබෑ ආදරයක් දක්වයි. එහෙත් ඇය තමාගේ තත්ත්වය සහ රැකියාව පිළිබඳව තොරතුරු හෙළි කරන ඇය, ඔහු කෙරෙන් පලා යාමට උත්සාහ කරයි. එහෙත් රවිගේ ඇවිටිලි නිසා ඔහුට අවනත වූ මාලනී, සිල්වා මහතාගේ ව්‍යාපාරයෙන් ඉල්ලා අස්වී රැකියාවක් සොයා යයි. නමුත් වෙනත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීමෙන් අන්ත අසරණ තත්ත්වයට පත්වේ.

මේ අතර කුලී නොගෙවන්නේ නම් නිවසින් පිටවන ලෙස නිවෙස් හිමියා කියා සිටී. මාලනී තමා මුහුණ පා සිටින අවදානම් තත්ත්වය ගැන කම්පා වෙයි. රවිද මෙයින් වික්ෂිප්ත වෙයි. මේ අතර ඇයට අවශ්‍ය මුදල් ලබාදී ඇය නැවතත් පුරුදු ජීවන රටාවට ඇද ගැනීමට මුදල් හිමියකු සැරසෙයි. මෙහිදී මාලනී, මවත්, දරුවාත් ජීවත් කරන්නේද රවිගේ ආදරය වෙනුවෙන් ඔවුන් බිලි දෙන්නේද යන ප්‍රශ්න අතර අතරමං වෙයි. අවසානයේදී ඇය මතෛක් නොලද ආදරයට වඩා මවත්, දරුවාත් රැක ගැනීම යෙහෙකැයි සිතා රවිගේ ආදරයට පිටුපා යළිත් පාතාල ලෝකය බලා පිය නගයි.

මෙහි කතාව, තිර නාටකය සහ දෙබස්, සහාය අධ්‍යක්ෂණය එස්. ලියනගේ, කැමරා අධ්‍යක්ෂණය ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, ප්‍රධාන කැමරා සහාය එම්.ඩී. සුමනපාල, අංග රචනය ශේෂා පලිහක්කාර, කලා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාල, කලා සහාය එරල් කෙලී, ලයනල් ලියනගේ, ශබ්ද පරිපාලනය කේ. බාලසුබ්‍රමනියම්, ශබ්ද සහාය ශ්‍රීලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, ලෙනාඩ් ප්‍රනාන්දු, ඇලෝසියස් රුද්‍රිගු, ගීත සහ සංගීතය පටිගත කිරීම ජෝර්ජ් මනතුංග, රසායනාගාර පාලක එස්. තිරුනාවු කරසු, වී. සිවදාසන්, රසායනාගාර සහාය එස්. යෝගරාජා, රන්දෙණි ජයවර්ධන, පී.යූ. පියදාස, ආර්. ජෝන්, සැකසුම විජය චිත්‍රාගාරය, හැඳල.

නිෂ්පාදන කළමනාකරණය ජයන්ත සෝමරත්න, ජෙරාඩ් ප්‍රනාන්දු, නිෂ්පාදන කෘත්‍යාධිකාරී විලී ද සිල්වා, නිශ්චල ඡායාරූප රංජිත් පෙරේරා, මෝටර් බෝට්ටු ධාවන උපදෙස් සෙඩ්රික් මාටින්ස්ටයින් සමග ‍පෝල් ඩේවිඩ්, සංගීත අධ්‍යක්ෂණය ලයනල් අල්ගම, ගීත ප්‍රබන්ධය එස්. ලියනගේ, ගායනය නන්දා මාලනි ගෝකුල. ගීත-බඹර කැ‍ලේ මල් යහනාවේ. රඟපෑම්-රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, විජය කොරයා, ජෙනිටා සමරවීර, දෙනවක හාමිනේ, විල්සන් කරුණාරත්න, සුරංගනී මංගලා, උදාර මුණසිංහ (ළමා නළු)

ඔස්කා මෙන්දිස්