* නීල පබළු නාට්‍යයට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
හිතුවටත් වඩා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. අපි හිතුවේ නැහැ නීල පබළු වටා මේ තරම් ප්‍රේක්ෂකයෝ පිරිසක් එකතු වෙයි කියලා. ඇත්තටම මේ තරම් ප්‍රතිචාරයක් කිසිසේත්ම අපි බලා‍පොරොත්තු වුණේ නැහැ.

* නීල පබළු ටෙලි නාට්‍ය මගින් ප්‍රේක්ෂකයාගේ රස වින්දනයට බලපෑමක් කරන්න පුළුවන් කියලා හිතනවද?
පැහැදිලිවම එවැනි විශ්වාසයක් තියෙනවා. අපි කරපු හැම නාට්‍යයකම කතා තේමාව එකිනෙකට වෙනස්. දීර්ඝ ටෙලි නාට්‍ය කලාවේ වෙනසක් කරන්න උත්සාහ කරනවා නීල පබළු හරහා.

* මෙගා නාට්‍ය සඳහා තිරපිටපතක් නොමැති වීමෙන් කතාව නොසිතූ ලෙස වෙනස්වීම තුළින් එය රසවින්දනයට බාධාවක් නොවෙයිද?
සාමාන්‍යයෙන් ඕනම ටෙලි නාට්‍යයක තිරපිටපත සම්පූර්ණයෙන් ලියලා අවසන් කරන්නේ නැහැ. ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. මූලික කතා සාරාංශය ලියලා ඉවරයි. අපි සාමාන්‍යයෙන් මෙගා ටෙලි නාට්‍ය කොටස් පනහෙන් පනහට කරන්නේ. ඒ පනහ ඇතුළත ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව තමයි ඊළඟ පනහට යන්නේ. සමහරක් චරිතවලට ප්‍රේක්ෂකයා එච්චර ප්‍රියමනාපයක් නැත්නම් ඔවුන්ගේ කැමැත්ත අනුව අපි සංශෝධනයකට යනවා.

* ඒ සංශෝධන නිසා චරිත ඉවත් කිරීමෙන් කතාවට බලපෑමක් වෙන්නේ නැහැ කියලද ඔබ කියන්නෙ?
මූලික කතා තේමාවට බලපෑමක් වෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් කතාවේ සැකිල්ලක් තියෙනවා. ඒකට හානිවෙන ලෙස සංශෝධන කරන්නෙ නැහැ.

* නීල පබළු සඳහා නළු නිළියන් තෝරාගැනීමේදී මොනවද සැලකිලිමත් වුණේ?
අපි උත්සාහ කළේ අලුත් මුහුණු කීපයක් ගේන්න. ප්‍රේක්ෂකයන් අපිට චෝදනා කළා හැම ටෙලි නාට්‍යයකම දකින්නේ එකම නළු නිළියෝ විතරයි කියලා. වර්තමානයේ ගොඩක් නළු නිළියෝ බිහි වෙලත් නැහැ. අපි නීල පබළු සඳහා ගත්තේ වැඩිය දකින්නේ නැති මුහුණවල් කීපයක්. සුමිරාන්, නතාෂා, නයෝමි, පියුමි නිතරම දකින්නෙ නැති නිසා මේ නාට්‍යයට මේ තරම් ප්‍රතිචාර ලැබෙන්න ලොකු හේතුවක් කියලා මම හිතනවා.

* අධ්‍යක්ෂණයට යොමු වෙලා වසර කීයක් වෙනවද?
වසර දහයක් වෙනවා.

* මේ වෙනකොට නිර්මාණ කීයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවාද?
ටෙලි නාට්‍ය නම් දහයක් පහළොවක් පමණ අධ්‍යක්ෂණය කරලා තියෙනවා. එක සිනමා නිර්මාණයක් විතරයි කළේ.

* මෑතකදී සිනමා නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
එහෙම නම් අදහසක් නැහැ. ඒ කා‍ලේ නම් තිබුණා චිත්‍රපටයක් කරන්න ඕන කියලා. භාර ගත්ත තව වැඩ තියෙනවා.
ඒවා අවසන් වුණාට පසුව චිත්‍රපටයක් කරනවා.

* නීල පබළු අනෙක් නාට්‍යවලට අභියෝගයක් කරන්න පුළුවන් කියලා හිතනවද?
මම කවදාවත් අනෙක් අයත් එක්ක අභියෝගයක් විදිහට ටෙලි නාට්‍ය කරන්නෙ නැහැ. මගේ නාට්‍ය හොඳම නාට්‍ය අංක එකට ඉන්නෙ කියන අදහස්වල මම නැහැ. ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාර දිනා ගත්ත හොඳ දෙයක් කරන්නයි මට වුවමනා වෙන්නේ. මම කැමැති නැහැ එකම ක්ෂේත්‍රයේ නාට්‍ය, නාට්‍ය අතර තරග ඇති වෙනවට.

* අපේ රටේ විකාශය කරන විදේශ ටෙලි නාට්‍යවලට වර්තමාන දේශීය ටෙලි නාට්‍ය මගින් අභියෝගයක් කරන්න පුළුවන් වෙලා කියලා හිතනවද?
පුළුවන් වෙලා තියෙනවා. වර්තමානයේ බිහිවෙන බොහෝ ටෙලි නාට්‍ය අද විදේශ ටෙලි නාට්‍යවලට අභියෝගයක් කරලා තියෙනවා. කලින් විදේශ ටෙලි නාට්‍යවලට තිබුණු ප්‍රතිචාර අද වෙනකොට ගොඩක් අඩු වෙලා තියෙනවා. සිංහල ටෙලි නාට්‍ය ලොකු අභියෝගයක් කරලා තියෙනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

* වර්තමාන ටෙලි නාට්‍ය කලාව කඩාවැටීමකට ලක් වෙලා කියලා කියන්නෙ ඇත්තද?
මේ ක්ෂේත්‍රයට එකතු වන නවකයන්ගේ තියෙන උනන්දුව වගේම වෘත්තියක් විදිහට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අඩු වෙලා තියෙනවා. දක්ෂයෝ ඉන්නවා. නමුත් ඔවුන් බොහෝ දෙනා ජනප්‍රියත්වය පස්සේ යනවා. ඔවුන්ට මේ ක්ෂේත්‍රය අධ්‍යයනය කරලා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නැහැ. ඒ නිසයි ක්ෂේත්‍රය කඩා වැටිලා තියෙන්නේ.

* බිරිඳගෙන් ලැබෙන්නේ මොන වගේ සහායක්ද?
ඇය මගේ දරුවෝ දෙන්නා බලාගෙන මගේ වැඩවලට උපරිම නිදහස දීලා තියෙනවා. මගේ කාර්ය බහුලත්වය එක්ක ඇය තමයි ගෙදර සියලුම දේවල් බලා ගන්නේ.

* වෘත්තීය ජීවිතය හා පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
දෙකම සමබරව තේරුම් ගැනීම. වෘත්තිය මම විඳින කෙනෙක්. මගේ වෘත්තිය තුළ මට සීමාවන් තියෙනවා. එතැනින් එහාට මම යන්නේ නැහැ. මට ජීවිත දෙක තුළම සීමාවන් තියෙනවා. එහා සීමාවෙන් එළියට පනින්නේ නැහැ. ඒ නිසයි හිතන්නේ මම සාර්ථකයි කියලා.

තිළිණි කරුණාරත්න

Untitled-27