රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ජනප්‍රිය තාරකාවියක් තමයි තාරුකා වන්නිආරච්චි. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් ඇය ගැන මේ දිනවල හැමෝම කතාබහ වෙන නිසාම මෙවර රිවිසරසි කතාබහට ඇයව එකතු කරගත්තා.

* තාරුකා වැඩියෙන් නටන්න කාලය යොදවන නිසා කාර්යබහුලයි නේද?
ගොඩක්ම කාර්යබහුල  නැහැ. රූගත කිරීම් වගේම නර්තන කටයුතුත් සමබරව කරගෙන යනවා.

* දිගටම රියැලිටි වැඩසටහන්වලට පෙනී සිටීමෙන් වටිනාකම අඩුවෙයි කියලා බයක් නැද්ද?
එහෙම බයක් නම් හිතෙන්නේ නැහැ. ඒ වැඩසටහන්වලට සහභාගි වුණා කියලා වටිනාකම නම් අඩුවුණේ නැහැ. මට හිතෙන්නේ මගේ වටිනාකම තවත් වැඩිවුණා කියලයි.

* තාරුකා වැඩි දායකත්වයක් ලබාදෙන්නේ සිනමාවටද? ටෙලි නාට්‍යවලටද?
ටෙලි නිර්මාණ තරමටම චිත්‍රපටවලට ආරාධනා ලැබෙනවා අඩුයි. පසුගිය දවස්වල මම චිත්‍රපට තුනකට රංගනයෙන් දායක වුණා. චිත්‍රපටයි, ටෙලි නාට්‍යයි සංසන්දනය කළොත් වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ ටෙලි නාට්‍යවලට තමයි.

* ඉතිහාස කතා තේමා අඩංගු නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ විශේෂ හේතුවක් නිසාද?
ඒකට මගේ බාහිර පෙනුම එක හේතුවක් වෙන්න පුළුවන් කියලා හිතනවා. අධ්‍යක්ෂවරයාට හිතෙනව නම් මම ඒ චරිතෙට සුදුසුයි කියලා ඉතින් ඔවුන් මට කතා කරනවා. මම මේ ක්ෂේත්‍රයට ආපු කාලයේ ඉඳන් මේ දක්වාම මට හොඳ නිර්මාණවලටයි ගොඩක් ආරාධනා ලැබෙන්නේ.

* රංගනයෙන් දායක වෙන්න නොලැබුණු, දායක වෙන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?
ඔව්. මගේ නර්තන හැකියාව රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන්ට දැක ගන්න හැකියාව ලැබුණා. නමුත් නිර්මාණයක් තුළින් තවම නර්තන හැකියාව පෙන්නුම් කරන්න පුළුවන් චරිතයක් ලැබිලා නැහැ. එවැනි චරිතයක් ලැබුණොත් කරන්න ආසාවෙන් ඉන්නවා.

* නිර්මාණ තෝරාබේරා ගැනීමක් කරනවාද?
මට මුල ඉඳන්ම ආරාධනා ලැබුණේ හොඳ නිර්මාණවලට. ඒ නිසා ලොකුවට තෝරාබේරා ගැනීමක් මම කරන්නේ නැහැ. මට ලැබෙන නිර්මාණයේ චරිතය හොඳට කරන්නයි මම නිතරම උත්සාහ කරන්නේ.

* චරිතවලට රංගනයෙන් දායක වීමේදී ඔබට වෙන්වූ සීමාවන් තියෙනවද?
එහෙම ලොකුවට සීමාවන් දාගෙන නැහැ. ඇතැම් දර්ශන කරන්න අමාරුයි කියලා හිතුණොත් ‍පොඩ්ඩක් හිතන්න වෙනවා ඒ නිර්මාණය භාරගන්නවාද නැද්ද කියලා.

* ආපස්සට හැරිල බලද්දි මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. මට ලැබුණු වටිනම දේ තමයි ප්‍රේක්ෂකයන්ගේ ආදරය. තව තවත් ඒ ආදරය වැඩිවෙලා තියෙනවා. මම හිතන්නේ කලාකාරයෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි ඒ ආදරය.

* විවේකයක් ලැබුණාම කොහොමද කාලය ගත කරන්නේ?
නිදාගන්නවා. මොකද හරි අඩුවෙන් තමයි අපට නිදාගන්න ලැබෙන්නේ. නින්ද තමයි ලොකුම විවේකය.

* මොනවද මේ දවස්වල අලුත් වැඩ කටයුතු?
හිරු මෙගා ස්ටාර් තරගයට සහභාගි වෙලා ඉන්නවා. හිරු නාළිකාවේම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. අයිටීඑන් නාළිකාවේ අහිමි ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

* මොනවද ජීවිතේ ඉදිරි සැලසුම්?
මම දැනට නිර්මාණත් එක්කයි මගේ සම්පූර්ණ කාලය යොදවලා තියෙන්නේ. නිර්මාණවලට දායක වෙලා චරිතවලට උපරිම සාධාරණයක් කිරීම තමයි දැනට තියෙන බලා‍පොරොත්තුව.

* පුද්ගලික ජීවිතේ වෙනසක් වෙලා කියන්නේ ඇත්තද?
හැමෝම කියනවා කසාද බඳින්න ඕන කියලා. ලබන අවුරුද්දේ ඒ දේවල් ස්ථිර වුණහම මම මාධ්‍යයට කියනවා.

* ඒ කියන්නේ තාරුකාත් ළඟදිම විවාහ වෙනවා කියලද?
ළඟදිම නම් ‍නෙවෙයි. තව විවාහයට කල් තියෙනවා. ලබන වසරේ විවාහය වෙන්න පුළුවන්.

* තාරුකාගේ අනාගත සහකරු ගැන දැන්ම කියන්න කැමති නැද්ද?
දැන්ම ඒ ගැන විස්තර කියනවට වඩා මම හිතන්නේ තව ටික කාලයක් ගිහින් කීවහම හොඳයි කියලා.

* තාරුකාට ක්ෂේත්‍රයේ අයගෙන් විවාහ යෝජනා ආවේ නැද්ද?
එහෙම නැහැ. මොකද අපි හැමෝම වැඩ කරන්නේ සහෝදරයෝ වගේ. ආදරය කරන්න තරම් යෝජනා ඇවිත් නැහැ.

* විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වෙනවද?
පුළුවන් වෙලාවට නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මොකද මම හිතන්නේ නැහැ නිර්මාණවලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙයි කියලා.

* වෘත්තියට මුල්තැනක් දීලා කටයුතු කරන නිසා පුද්ගලික ජීවිතේ මගහැරිලා නැද්ද?
මුල් දවස්වල එක දිගටම වැඩ කරද්දි හිතෙනවා යාළුවෝ, නෑදෑයෝ එක්ක ඒ වෙලාව ගත කරන්න තිබුණා නම් කියලා. දැන් නම් එහෙම හිතෙන්නේ නැහැ. එහෙම පුද්ගලික ජීවිතේ විශේෂ අවස්ථා මම මගහරවාගෙන නැහැ.

තිළිණි කරුණාරත්න