පසුගියදා වත්තල නගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කරන ලද රාත්‍රී පාපැදි සවාරියෙන්ද පාපැදි බලධාරීන් ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කර තිබුණේ තමන්ගේ දුර්වල සංවිධාන ශක්තිය බවට චෝදනා එල්ල වී ඇත.

මෙම පාපැදි තරගය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් රන්දීර් රොඩ්රිගු පදනම මගින් සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන විනිසුරුවන් ලෙස කටයුතු කර තිබුණේ විනිසුරු සංගමයේ ලොක්කා සහ මෑතක් වනතුරුම ඔහුට එරෙහිව පෙත්සම් ලියූ කන්න හිතුණ විට කබරගොයාද තලගොයා කරගන්නා ජාතියේ පුද්ගලයකු එක්ව බව වාර්තා වේ.

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ තරගය පැවැත්වුවද තරගයට අවශ්‍ය පමණට ආලෝකය ලබාදීමට සම්මේලනය අසමත් වූ බවටත්, තරගය සඳහා යොදාගත් මාර්ගය පාපැදි තරගයකට නුසුදුසු අබලන් වූ මාර්ගයක් බවටත් ක්‍රීඩකයන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන්ද සංවිධායකයන් වෙන බරපතළ ලෙස චෝදනා එල්ල වී තිබිණි.

විදුලි ආලෝකය ප්‍රමාණවත් නොවීම හා මාර්ගය අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් එම තරගය ආරම්භකළ ක්‍රීඩකයන් 123 දෙනකු අතරින් සිව්වැනි වටය වනවිට ඉතිරිව තිබුණේ තරගකරුවන් 23 දෙනකු පමණක් බවද පැවසේ.

එම 23 දෙනාද විවිධ වූ බාධක මධ්‍යයේ තරගය අවසන් කර තිබුණේ 20 වැනි ස්ථානය දක්වාම ත්‍යාග ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබූ නිසා බව දැනගන්නට ඇත.

විශේෂයෙන්ම වත්තල හේකිත්ත පාරේ පාලම පසුකළ පසු හමුවන මීටර් 200ක දුර ප්‍රමාණයේ මෙන්ම හේකිත්ත පාරේ කෝවිල අසල මාර්ගයද පාපැදි ක්‍රීඩකයකුට නොව, පයින් ගමන් කරන්නකුට පවා අනතුරුදායක බව සඳහන්ය.

තරගයෙන් අතරමගදී ඉවත් වූ ක්‍රීඩකයන් අතරින් සමහරෙකු ඉවත් වී ඇත්තේ ඔවුන්ගේ පාපැදි අබලන් වූ බැවින් යැයි වාර්තා වන අතර තරගය පැවති ස්ථානයේදී එම ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ විවේචනවලට පාපැදි බලධාරීන්ට මුහුණදීමට සිදුව තිබුණි.

වාර්තා වන අන්දමට අංක එකට ශ්‍රේණිගතව සිටින ප්‍රභාත් මධුශංඛ, ජීවන් ජයසිංහ, සුරංග රණවීර, නිහාල් සිල්වා හා නවීන් රුචිර ඇතුළු මෙරට ප්‍රබලම පාපැදි ශූරයන් රැසක්ම තරගයෙන් ඉවත් වූ බව වාර්තා වේ.

අවසානයේ ක්‍රීඩකයන්ගෙන් හා පුහුණුකරුවන්ගෙන් එල්ල වූ විරෝධතා නිසා තරගයේ ශ්‍රේණිගත ‍ලේබලයද ගලවා දැමීමට බලධාරීන්ට සිදුවී ඇත.

රාත්‍රිය කළුවරය. ඒ නිසා මෙම රාත්‍රී පාපැදි සවාරිය කළුවරේ පවත්වමින් තරගයට යොදාගත් නමට කැළලක් නොකිරීමට බලධාරීන් කල්පනා කරන ලද්දේ නම් තරගයේදී සිදුවූ කිසිවක් බලධාරීන්ගේ දුර්වලතා ලෙස නොසැලකිය යුතුය.