ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කරන වාර්ෂික තරග කාලසටහනට ඇතුළත් වූ පසුගියදා කටුකුරුන්ද ධාවන පථයේ පවත්වන ලද ලයන්ස් ටොප් ස්ටී්‍රට් සර්කිට් මීට් ජාතික තරගයේදී 250 සී.සී. සුපර් මෝටාර්ස් යතුරුපැදි ඉසව්වේ ජයග්‍රහණය තරගයකින් තොරව සටහන් කරගත් 20 හැවිරිදි දුෂාන් මුදලිගේ අනාගත ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම යතුරුපැදි ධාවකයා තමන් බව තවදුරටත් තහවුරු කරන්නට සමත් විය.

වර්තමානයේ 250 සී.සී. සුපර් මෝටාර්ස් ඉසව්වේ ප්‍රවීණ තරගකරුවන් සියලු දෙනාටම අභියෝග කිරීමට සමත්ව සිටින දුෂාන් වසර අවසානයේ 250 සී.සී. සුපර් මෝටාර්ස් ඉසව්වේ අංක එකේ ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගැනීමට බලා‍පොරොත්තු වෙයි.

මෙම කටුකුරුන්ද ලයන්ස් සර්කිට් මීට් තරගයද සමග ඔහු මේ වසරේ තරගාවලි 3කට සහභාගි වී ඇත.
ඒ අනුව පවත්වා අවසන් කර ඇති එළියකන්ද කඳු තරණය තරගාවලියේදී දුෂාන් මුදලිගේ 250 සී.සී. ඉසව්වේදී තෙවැනි ස්ථානයත්, විවෘත ඉසව්වේ පළමු ස්ථානයත් දිනාගෙන තිබිණි. ඔහුට 250 සී.සී. ඉසව්වේදී තෙවැනි ස්ථානයට පත්වීමට සිදුව තිබුණේ තරගයේ අතරමගදී ඇද වැටීම නිසාය. ඔහු එම තරගාවලියේ වේගවත්ම යතුරුපැදි ධාවකයා ලෙසද සම්මාන දිනාගත්තේය.

අනතුරුව මීරිගම පවත්වන ලද මීරිගම සර්කිට් මීට් තරගයේදී ඔහු ප්‍රබල තරගකරුවන් සියලු දෙනාම විශ්මයට පත් කරමින් 250 සී.සී. සුපර් මෝටාර් ඉසව්ව ජයගෙන තිබිණි. ඔහුගේ වේගය විශ්වාස නොකළ ප්‍රවීණ ක්‍රීඩකයන් දුෂාන්ගේ යතුරුපැදියට අමතර ජවයක් ලබාගැනීම සඳහා උපාංග එක්කර ඇති බවට සැක කොට විරෝධතාවක් ඉදිරිපත් කරනු ලැබිය.

මේ නිසා මුද්‍රා තබා එම යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගලවා පරීක්ෂණයකට භාජනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ නමුත් අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව දුෂාන්ට එල්ල වූ චෝදනා නිෂ්ප්‍රභා වී තිබිණි.

කටුකුරුන්ද ලයන්ස් ටොප් ස්ටී්‍රට් තරගාවලියේදී 250 සී.සී. සුපර් මෝටාර්ස් ඉසව්වේ සුපිරි ක්‍රීඩකයා තමන් බව තහවුරු කළ දුෂාන් එදින 450 සී.සී. හා 750 සී.සී. යතුරුපැදි සඳහා පැවති විවෘත ඉසව් දෙකේදී දෙවැනි ස්ථාන දිනාගෙන තිබිණි.

මීළඟට ඔක්තෝබර් 20 වැනිදා රොටහැම් සර්කිට් මීට් ජාතික තරගාවලිය කටුකුරුන්දේදී පැවැත්වීමට නියමිතය. දුෂාන් මුදලිගේ බලා‍පොරොත්තු වන්නේ එහිදී ද ජයග්‍රහණය අත්කර ගනිමින් 2018 වසරේ 250 සී.සී. සුපර් මෝටාර්ස් ටාර් මැට් අංශයේ අංක එකේ යතුරුපැදි ධාවකයා සම්මානය දිනා ගැනීමය.

සීවලී එදිරිවීර

Untitled-7