මේ දිනවල ටෙස්ට්, එක්දින හා පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත පිල ලබන බදාදා (10) දඹුල්‍ලේ පැවැත්වෙන පළමුවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් තරගාවලියට පිවිසෙයි.
ශ්‍රී ලංකා පිල මෙවර දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරග වදින අතර එංගලන්ත පිල තරග වදිනනේ ඉයන් මෝගන්ගේ නායකත්වය යටතේය.

මේ වන විට ශ්‍රී ලංකාව හා එංගලන්තය එක්දින ක්‍රිකට් පිටියේදී අවස්ථා 69කදී එකිනෙකා මුණගැසී ඇත.
එහෙත් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ඉගැන්වූ එංගලන්තයට එක්දින ක්‍රිකට් ක්‍රීඩාව උගන්වමින් එම තරග 69දී තරග 34ක ජයග්‍රහණ හිමි කරගෙන ඉදිරියෙන් සිටින්නට ශ්‍රී ලංකාව සමත් වී සිටියි.

එංගලන්තයද තරග 34ක් දිනාගෙන ඇති අතර ඉතිරි තරග දෙකෙන් එකක් ලකුණු සමවීමෙන් හා ඉතිරි තරගය සම්පූර්ණ කිරීමට නොහැකිවීමෙන් ප්‍රතිඵල නොමැතිව අවසන් වී ඇත.

කෙසේ වුවත් දෙපිල අතර 2016 වසරේ එංගලන්තයේදී පැවැති තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගන්නට සමත්ව ඇත්තේ එංගලන්ත පිලය.

එම එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබා දුන් ඇන්ජලෝ මැතිව්ස් සමග කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක
ගුණතිලක ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙකෙුම මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එක් කර නොමැත. එනමුත් එම තරගාවලියට මුහුණ දුන් එංගලන්ත පිලට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් වැඩි දෙනකු මෙවරද කණ්ඩායමට ඇතුළත්ව සිටියි.
එම 2016 තරගාවලියේදී එංගලන්ත පි‍ලේ ජයග්‍රහණයට පිතිකරුවකු ලෙස උර දුන් ජේසන් රෝයි තරගාවලිය තුළ ශතක දෙකක් සමග ලකුණු 316ක් රැස් කර තිබිණි. ඔහුට අමතරව ජෝස් බට්ලර් මෙන්ම ක්‍රිස් වෝක්ස් හා ඇලෙක්ස් හේල්ද පිත්තෙන් දස්කම් දැක්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම තරගාවලියේදී පිත්තෙන් දස්කම් පෑ ඇන්ජලෝ මැතිව්ස් මෙවර ශ්‍රී ලංකා පිලට අහිමි වීම බරපතළ පාඩුවක් විය හැකිය. එසේ වුවත් එම තරගාවලියේදී අර්ධ ශතක 4ක් සහතිව ලකුණු 267ක් ලබා ගත් චන්දිමාල් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමත් ලකුණු අතර සිටින උපුල් තරංග කණ්ඩායමට එක් කර තිබිමත් ශ්‍රී ලංකා බලා‍පොරොත්තු ඉහළ දැමීමට හේතු විය හැකිය.

එම තරගාවලියේදී ලියාම් ප්ලන්කට් (කඩුලු 10) හා අදිල් රෂීඩ් (කඩුලු 06) බැගින් ලබා එංගලන්ත පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වා තිබූ අතර ඊට සහභාගි වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කඩුලු 5ක් ලබා ගත් නුවන් ප්‍රදීප් නැවතත් මෙවර ශ්‍රී ලංකා පිලට එක්ව ඇත.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මෙවර ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ වසර 4කට පසුවය. ඔවුන් 2014 තරගාවලියේදී කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල වෙතින් 5-2ක් ලෙස තරගාවලිය පරාජය වී තිබිණි.

එසේ වුවත් මෙවර තරගාවලිය දෙපිලටම ඉතා වැදගත්ය. ඊට හේතුව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීමට මෙම තරගාවලියේදී ලබා ගන්නා අත්දැකීම් බොහෝ සේ ප්‍රයෝජනවත් වීමය.

තවද මෙම එක් දින තරගාවලිය පවත්වනු ලබන්නේ ලෝකයේ අංක එකට ශ්‍රේණිගතව සිටින එංගලන්තය සමග බව අංක අටට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකා පිල අමතක නොකළ යුතුය.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල
දිනේෂ් චන්දිමාල් (නායක), නිරෝෂන්
දික්වැල්ල, ධනංජයද සිල්වා, කුසල් පෙරේරා, සමීර සමරවික්‍රම, උපුල් තරංග, දසුන ශානක, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, අකිල ධනංජය, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, අමිල අ‍පෝන්සු, කසුන් රජිත

එංගලන්ත පිල
ඉයන් මෝගන් (නායක), මොයින් අලී, ජෝස් බට්ලර්, ඇලෙක්ස් හේල්, ජෝස් බෙයාස්ටෝ, ජේසන් රෝයි, ජෝ රූට්ස්, බෙන් ස්ටෝක්, ක්‍රිස් වෝක්ස්, ලියාම් ප්ලස්කට්, ලියාම් ඩෝසන්, ටොම් කැරන්, සෑම් කුරන්, මාර්ක් වුඩ්, අඩිල් රෂීඩ්, ඔලී ස්ටෝන්.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
Untitled-5