පවුල් විසිඅටදහසක් මහපාරට ඇද දමමින් රටේ පරිසර පද්ධතිය හා ජනතාව උකසට තබා බහුජාතික සමාගම්වල නියමු ව්‍යාපෘති ලෙසින් හෝමාගම අරඹන්නට යන කොරියානු තාක්ෂණ නගරය සම්බන්ධව ජනතාවගේ දැඩි විරෝධයක් මේ වන විට පැන නැගෙමින් ඇත්තේ දේශපාලන භේදයකින් තොරවය.

මෙම විරෝධය කොතරම්ද යත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට හෝමාගමදී දැඩි විරෝධයක් එල්ල වී තිබුණේ හූ හඬත් සමගය.

හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපෘතිය නමින් ප්‍රදේශයේ තරුණ සංවිධාන එක්වී කරළියට එන්නේද මෙම ව්‍යාපෘතියට ප්‍රදේශයේ ජනතාවට හෙණයක් පාත් වූවාක් මෙන් ඉඩම් පවරා ගන්නට කටයුතු යෙදීමත් සමගය.

දැනුම උසස් තාක්ෂණය හා නවෝත්පාදනය පදනම් කරගත් ආර්ථිකයකට මග කියන හෝමාගම ප්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරයේ කටයුතු මේ මොහොතේ ශීඝ්‍රයෙන් සිදුවෙන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පසුගියදා සමාජ ජාල වෙත පවසා සිටියේ මෙම විරෝධතා මධ්‍යයේය.
මෙම ප්‍රකාශ නිකුත් වෙද්දී හෝමාගම ජනතාව කොරියානු තාක්ෂණ නගරයට එරෙහිව වීදි බසින්නේ ඉකුත් බදාදාය.

හෝමාගම හා අවට ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගත් මෙකී කොරියානු තාක්ෂණික නගර ව්‍යාපෘතිය මගින් දැවැන්ත වශයෙන් සමාජීය හා පාරිසරික හානියක් සිදුවන බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේය.
මෙම ව්‍යාපෘතියට අනුව හෝමාගම, හොරණ, කඩුවෙල. පාදුක්ක, මාලබේ ප්‍රදේශ පවා ආවරණය වන්නේය.

පාරම්පරික ඉඩම් අහිමි වීමෙන් මෙකී ප්‍රදේශවල ජනතාව කබලෙන් ළිපට ඇද දමන්නේ කොරියානු ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් ප්‍රකාරය.

කොරියානු තාක්ෂණ නගරයට අයත් වාර්තාවට අනුව රැකියා අවස්ථා එක්ලක්ෂ පනස්දහසක් නිර්මාණය කිරීම, බහුජාතික සමාගම් විස්සක් සඳහා ව්‍යාපාර කටයුතු ඇරඹීමට ඉඩම් ලබාදීම මෙන්ම ජාන විද්‍යාව, ඩෝන තාක්ෂණය, ෙජෙව තාක්ෂණය සඳහා නියමු සංවර්ධන කලාප ඇති කිරීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සඳහා සංවර්ධන ව්‍යාපෘති ඇරඹීම මෙහිදී සිදුවන්නේය.

එමෙන්ම මෙකී තාක්ෂණික නගර සැලැස්ම යටතේ මීගොඩ, ඉලෙක්ටේ‍රානික් කලාපය ලෙසත්, මාලබේ, කඩුවෙල ප්‍රදේශ අධිතාක්ෂණික කලාපය ලෙසත් දියගම විවේක හා ක්‍රීඩා කලාපය ලෙසත්, පර්යේෂණ හා සංවර්ධන තෘත්‍රික අධ්‍යාපන කලාපය ලෙස දාම්පේ, මාහේනවත්තත් නම් කර ඇත.

මේ අයුරින් තාක්ෂණික නගරයේ ඇරඹෙන පර්යේෂණ හා තාක්ෂණ වැඩි දියුණු කිරීමට යන ව්‍යාපෘති මගින් මෙරට තුළදී තවත් ෙජෙව හා ජාන සම්පත් මංකොල්ලකෑමකට මාවත විවර වන බව පරිසරවේදීන් පෙන්වා දෙන්නේය. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සතා සිව්පාවාට ජීවත් වීමට ඉතිරිව ඇති අවසාන භූමි භාගයත් අවසන් වන බවය.

එපමණක් නොව මෙහි ඇති බරපතළ කාරණය ලෙස දැක්වෙන්නේ ගමේ දියුණුවක් වන බව පෙන්වුවත් මෙම ව්‍යාපෘතිය යටතේ ඇරඹෙන පර්යේෂණාගාරවලින් නිකුත් කරන විවිධ රසායනික අපද්‍රව්‍ය ජනතාවගේ ජීවිතවලට කුමන ආකාරයේ බලපානු ඇත්දැයි ගණන් බලා නොමැති නිසාය.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ මෙම කොරියනු ව්‍යාපෘතිය සඳහා අඩුම තරමේ පරිසර තක්සේරු වාර්තාවක්වත් සිදුකර නොමැති බවය. එය රටේ ‍පොදු නීතියටවත් එකඟව සිදු කර නොමැති බවටද ඔහු චෝදනා කරන්නේය.

ජාතික පාරිසරික පනත අනුව මෙවන් ව්‍යාපෘති සඳහා පරිසර තක්සේරු බහුජාතික සමාගම්වලට රටේ සම්පත් තම ගම්බිම් පුද කර සංවර්ධනය කරන්නට ගන්නා වෑයම හුදෙක්ම මහජනතාවගේ උන්නතිය උදෙසා සිදු නොවන්නක් බව පරිසරවේදීන් මෙන්ම ගම්වාසීන්ද චෝදනා නගති.

ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වැඩි දියුණු කර ඒ තුළ රටට අවශ්‍ය තාක්ෂණය හා පර්යේෂණ සිදු කිරීමට හැකියාව තිබියදී රටේ ජනතාව හා පරිසරය උකසට තබමින් බහුජාතික සමාගම්වලට ඉඩදී තිබිම කනගාටුවට කරුණක් බව ඔවුන්ගේ මතයයි.

එපමණක් නොව ලොව පුරා දිගින් දිගටම සිදුවන ජාන මංකොල්ල මීට පෙර මෙරටදීත් ඇස්පනාපිටම දැක ගන්නට තිබියදීත් මෙම ව්‍යාපෘති මගින් මෙරට ෙජෙව විවිධත්වය හා ජාන විවිධත්වයද බරපතළ අනතුරකට හෙළා ඇතැයි පරිසරවේදීන් නගන චෝදනාවය. හොරණ, මිල්ලෑව හරිත කලාපයේ අක්කර 250කට වඩා මෙකී තාක්ෂණ නගරය වෙනුවෙන් විනාශ කර ඇත්තේය.

වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරපු ව්‍යාපෘතියක් මෙරටට ගෙන්වාගෙන සංවර්ධනයක් හුවා දක්වන බව එහිදී නැගෙන තවත් චෝදනාවකි.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇරඹෙන නියමු ව්‍යාපෘතිවලින් බහුතරයක් ශක්‍යතා අධ්‍යයනයක් කරන්නටත් පෙරාතුව ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් හා කාර්ය මණ්ඩල පත් කර ලක්ෂ ගණනින් වැටුප් ගෙවන්නට පටන් ගෙන හමාරය.

එම බඳවා ගැනීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගෙන ඇතත් ලක්ෂ ගණනින් වැටුප් ලබන කාර්ය මණ්ඩලයක් යොදවා ඇරඹූ බුරුතු පිටින් වූ ව්‍යාපෘති මේ වන විට සිහිනයක් මෙන්ම රටට බරක් වූ ව්‍යාපෘති බවට පත් වෙමින් ඇත්තේය.

එම අමාත්‍යාංශය යටතේ ඇති විද්‍යා හා තාක්ෂණ නගරය, පරිපාලන නගරය, වෙරළබඩ හා නගර සංවර්ධන ව්‍යාපෘතිය, බස්නාහිර කලාපීය මහනගර සැලසුම් කිරීමේ ව්‍යාපෘතිය, මාර්ග සඳහා බස් රථ සේවා හඳුන්වා දෙන සහසර ව්‍යාපෘතිය, මූල්‍ය නගර ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති ගණනාවක්ම රටට බරක් වන තත්ත්වයට පත්ව ඇතැයි මහා භාණ්ඩාගාරයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පවා පෙන්වා දෙන්නේය.

මෙවන් සිහින ව්‍යාපෘති නිසා අසරණ වන්නේ අහිංසක ජනතාවය. නැති වන්නේ රටේ ජනතාවගේ සම්පත්ය.
බුරුත ගණන් ඇරඹි ව්‍යාපෘති දැන් යන්නේ මන්දගාමීවය.

මෙම අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් රුපියල් කෝටි ගණනක් වියදම් කර උත්සව සමරන්නේද මහජන මුදල් නාස්ති කරමිනි.

නාගරික සැලසුම්කරණය යටතේ සියලුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු බත්තරමුල්ලට රැගෙන එන්නට සැලසුම් කළද බත්තරමුල්ල පසු කර යන්නට අලුත් මාර්ගයක් ගැනවත් සිතන්නට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර නොමැත.

එසේ තිබියදී සංවත්සරය වෙනුවෙන් තරු පහේ හෝටල්වල කෝටි ගණන් වියදම් කර මෙම සතියේ ඩෙඟා නටන්නට කටයුතු යෙදුණේද මහජන මුදලිනි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා