පසුගිය 28 වැනි සිකුරාදා ඉන්දුනිසියාවේ සුලවෙසි නමැති දිවයිනෙහි හටගත් භූමිකම්පාව සහ සුනාමිය ශ්‍රී ලංකාවේ වැසියන් තුළ ද කිසියම් කම්පනයක් ජනිත කිරීමට සමත් වූ සිදුවීමක් විය. මන්දයත් මෙයට වසර 14 කට පෙර එනම් 2004 වසරේ ඉන්දුනීසියාව ආසන්නයේම ඇති වී ශ්‍රී ලංකාවද බිලිගත් මහා සුනාමිය පිළිබඳ මතකයන් නැවත ඉස්මත්තට ගෙනෙන්නට එය සමත් වූ බැවිනි. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට වාර්තා වී තිබූ තොරතුරු අනුව ඉන්දුනීසියාවේ ඛිෙදවාචකයෙන්  මියගිය ගණන 1,400 ඉක්මවා තිබිණි. මෙයට අමතරව දහස් ගණනක් තුවාල ලබා ඇති අතර, 70,000 කට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමිව ගොස් ඇත. කුඩා දරුවන්ද විශාල පිරිසක් මරණයට පත්ව තිබේ. ඒ අතර තවත් දරුවෝ බොහෝ පිරිසක් සිය මව්පියන්, සමීප ඥාතීන් අහිමිවීමෙන් අනාථ වී සිටිති. වයස අවුරුදු දෙකේ තුනේ ඉතා කුඩා දරුවෝ පවා මේ අතර වෙති. තම අඹුදරුවන්, මව්පියන්, ඥාතීන් තවමත් ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න නොදැන ඔවුන් පළිබඳ සොයමින් ඇවිදින බොහෝ දෙනකු පිළිබඳ අනුවේදනීය කතා පුවත් ද මාධ්‍ය තුළ පළ වී තිබෙනු දැකිය හැකි විය.

භූමිකම්පාව නිසා කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන්වලට යට වී සිටි අය දිගින් දිගටම උදව් ඉල්ලා කෑ ගසමින් සිටි බවද වාර්තා වී තිබිණි. නමුත් මේ බොහෝ දෙනකු ගලවා ගැනීම අසීරු වී තිබුණේ සුන්බුන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය බර යන්තේ‍රා්පකරණ ආදිය මෙම ස්ථාන වෙත රැගෙන යාම අපහසු වූ හෙයිනි. භූමිකම්පාව නිසා මාර්ග විනාශ වී තිබිමත්, ගොඩනැගිලිවල සුන්බුන් නිසා ඒවා අවහිර වී තිබිමත් නිසා මෙම යන්තේ‍රා්පකරණ ඉක්මනින් මෙම ප්‍රදේශය වෙත රැගෙන ඒම පහසු වූයේ නැත. මේ නිසා සුන්බුන් යට සිර වී සිටි බොහෝ දෙනකුට නැවත ජීවත් වීමේ වාසනාව අහිමි වන්නට ඇතැයි සිතිය හැකිය. පසුගිය දිනවල ප්‍රදේශයේ තැන් තැන්වල සමූහ මිනී වළවල් තුළ මළසිරුරු සිය ගණනින් භූමදාන කරන අන්දම ද මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය.

භූමිකම්පාව රිච්ටර් පරිමාණයේ ඒකක 7.5 ක අගයක් ගත් එකක් විය. එහි බලපෑම තවත් වැඩි කරන්නට හේතු වූයේ එය සිදු වූ තැනට මුහුදු පත්‍ලේ සිට වැඩි ගැඹුරක් නොවූ බැවිනි. එමෙන්ම මෙම ස්ථානය ගොඩබිම සිටමුහුදේ වැඩි ඈතකින් පිහිටි ස්ථානයක් ද නොවීය. භූමිකම්පාව නිසා දැනුණු කම්පනය වඩාත් දැඩි කිරීමටත්, සුනාමිය වඩාත් විනාශකාරී එකක් කිරීමටත් මෙම කාරණා බලපා තිබිණි. සිද්ධියෙන් වැඩිම විනාශයක් සිදු වූයේ පලූ නමැති ප්‍රදේශයටයි. එය ගොඩබිම තුළට විහිදුණු පටු මුහුදු බොක්කක කෙළවර පිහිටා ඇති ප්‍රදේශයකි (සිතියම බලන්න) මෙම මුහුදු බොක්ක පටු වීම ද සුනාමි රළෙහි ප්‍රබලත්වය සහ වේගය වැඩි කිරීමට උදව් වී තිබිණි. සුනාමිය පැයට කිලෝ මීටර සිය ගණනක වේගයෙන් ගොඩබිම තුළට කඩා වැදී ඇති බව සඳහන් වේ. සිකුරාදා දිනයක් වූයෙන් විශාල පිරිසක් මුහුදු වෙරළේ විනෝද සාද පවත්වමින් සිට ඇති බව ද අනාවරණය විය. ඔවුන් වැඩි දෙනකු ප්‍රචණ්ඩ රළ පහරට හසුව ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. පියෙකු සහ කුඩා දියණියක එකිනෙකා වැළඳගෙන මියගොස් සිටි බවට වූ සිත් සසල කරවන පුවතක් ද අසන්නට ලැබිණි. එම පවු‍ලේ මවත්, තවත් පුතෙකුත් පමණක් ජීවිත බේරා ගැනීමට සමත්ව තිබිණි.

ප්‍රදේශයේ නිවාස දහස් ගණනක් මෙන්ම සුපිරි වෙළෙඳසල්, ආගමික ස්ථාන, හෝටල් ආදී ගොඩනැගිලි රැසක් කඩා වැටී සුන්බුන් බවට පත්ව තිබේ. එපමණක් නොව ප්‍රදේශයේ රෝහල්වලට පවා දැඩි හානි සිදුව ඇත. මේ නිසා තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම ද දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති අතර ජනතාව මුහුණ දෙන පීඩාව වැඩි කිරීමට මෙය ද හේතුවක්ව ඇත. තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන්නේ එළිමහනේ බව ද සඳහන්ව තිබිණි. මේ අතර තවත් අතිශය ඛිෙදනීය කාරණයක්ව තිබුණේ මෙම ප්‍රදේශ වෙත ආහාර සහ පානීය ජලය පවා රැගෙන ඒමට බාධා ඇති වී තිබිමයි. එයටද හේතු වී ඇත්තේ භූමිකම්පාව නිසා මාර්ග විනාශ වීම සහ සුන්බුන් හා නායයාම් ආදියෙන් බොහෝ ස්ථාන අවහිර වී තිබිමයි. මේ නිසා සහන සේවකයින් වැනි කණ්ඩායම්වලට සමහර ප්‍රදේශ කරා ළඟා වීම බෙහෙවින් අසීරු වී තිබිණි. භුමිකම්පාවෙන් සහ සුනාමියෙන් බැට කෑවා මදිවාට ආහාරපාන නැතිව කුසගින්නෙන් සහ පිපාසයෙන් විඳවන්නට ද බොහෝ දෙනකුට සිදුව තිබේ. මෙම පීඩාවන් දරාගත නොහැකිව මෙම ප්‍රදේශවල වැසියන් වෙළෙඳසල්වලට කඩා වදිමින් ආහාරපාන කොල්ලකෑමට පටන් ගෙන තිබූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. පලූ ප්‍රදේශයේ ගුවන් තොටු‍පොළ පවා විනාශ වී තිබිම සහන සේවාවලට විශාල බලපෑමක් කිරීමට සමත්ව තිබේ.

භූමිකම්පාව සිදුවන අවස්ථාවේ මෙම ගුවන් තොටු‍පොළෙහි සිදු වූ සිදුවීමක් ද බොහෝ ප්‍රසිද්ධියට පත් විය. එනම් අන්තෝනියස් ආගුංග් නමැති 21 හැවිරිදි ගුවන් ගමන් පාලකවරයාගේ වීර ක්‍රියාව පිළිබඳ සිදුවීමයි. භූමිකම්පාව ආරම්භ වන අවස්ථාව  වනවිට ගුවන් තොටු‍පොළේ ධාවන පථයෙහි යානයක් ගුවන්ගත වීමට සූදානම්ව තිබි ඇත. ගුවන් යානයක් ගුවන්ගත කිරීම සඳහා ගුවන් තොටු‍පොළ තුළ සිටින ගුවන් ගමන් පාලකවරයකුගේ උපදෙස් අවශ්‍ය වෙයි.

නමුත් ඒ වනවිට ගුවන් තොටු‍පොළ ද කඩා වැටෙන්නට ආසන්න තත්ත්වයක් පෙන්නුම් කළ හෙයින් එතුළ සිටි බොහෝ දෙනකු ආරක්ෂාව පතා දිවගොස් තිබිණි. නමුත් ආගුංග් පමණක් ජීවිතය පරදුවට තබා ගුවන් ගමන් පාලක මැදිරිය තුළ රැඳී සිටිමින් යානය ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සපුරා දී ඇත. මේ නිසා මගීන් 147 දෙනකු ද, එයට අමතරව කාර්ය මණ්ඩලය ද රැගත් යානයට භූම්කම්පාවෙන්ද, සුනාමියෙන් ද බේරී නික්ම යාමට හැකියාව ලැබිණි. එහෙත් ආගුංග් එතරම් වාසනාවන්ත වූයේ නැත. ඔහු යානය පිටත් වීමෙන් පසු ගුවන් ගමන් පාලක කුළුණේ සිට පහත මාලයට එන්නට සැරසෙද්දී දුටුවේ හැම තැනක්ම සුන්බුන්වලින් අවහිර වී ඇති අන්දමය. නමුත් ඒ වනවිටත් ගොඩනැගිල්ල කඩා වැටෙමින් තිබුණෙන් ආගුංග් වෙන කරන්නට දෙයක් නැතිව ඉහළ මාලයේ සිට පහතට පැන තිබේ. එහි දී ශරීර අභ්‍යන්තරයේ ඇති වූ දරුණු තුවාල හේතුවෙන් ඔහු මරණයට පත්ව තිබිණි. මේ පිළිබඳව පසුව දැනගත් ගුවන්යානයේ නියමුවා මහත් කම්පාවට පත්ව, ආගුංගේ වීර ක්‍රියාවට ගෞරව දක්වා තිබෙනු දක්නට ලැබිණි. භූමිකම්පාව නිසා ගුවන් තොටු‍පොළේ ධාවන පථයද පැලී විවර ව තිබූ අන්දම දැක්වෙන ඡායාරූප ද පසුව මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් විපතටපත් සංඛ්‍යාව මේ තරම් ඉහළ යාමට එරට කාලගුණ විද්‍යා ආයතනයත් වගකිව යුතු ද යන කාරණය ද බොහෝ දුරට කතාබහට ලක්වූවකි. ඔවුන් සුනාමිය පිළිබඳ නිකුත් කළඅනතුරු ඇඟවීම නිසි වේලාවට කලින් ඉවත් කරගෙන ඇති බවට ද චෝදනාවක් එල්ල විය. නමුත් ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා බලධාරීහු  මෙම චෝදනාව ප්‍රතික්‍ෂේප කරති. ඔවුන් පවසන්නේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කළේ සුනාමිය කඩා වැදීමෙන් පසුව පමණක් බවයි. මේ අතර අවධානයට ලක්ව ඇති තවත් කාරණයක් වන්නේ, කාලගුණ විද්‍යා ආයතනය අනතුරු ඇඟවීම් නිකුත් කළා වුවත් මෙම ප්‍රදේශයේ ජනතාව වෙත මෙමඅනතුරු ඇඟවීම ලැබුණාද යන්නයි. භූමිකම්පාව නිසා දුරකථන සංඥා කුලුනු ද බොහොමයක් හානියට පත්ව තිබූ බැවින් සුනාමිය පිළිබඳ අනතුරු අඟවමින් නිකුත් කළ එස්.එම්.එස් පණිවිඩ ජනතාව වෙත නොලැබෙන්නට ඇති බවට ද අදහස් පළ වී තිබිණි. මේ අතර සුනාමියක ප්‍රබලත්වය පිළිබඳව එරට කාලගුණ විද්‍යාඥයින්ට දත්ත ලබා දීම සඳහා මුහුදේ පිහිටුවා තිබෙන බෝයාවන් 21 ක පද්ධතියම දැන් කාලයක සිටම අක්‍රියව ඇති බවට ද චෝදනා එල්ල වෙයි. මෙම බෝයා පද්ධතිය ඉන්දුනීසියාවට ලැබි තිබුණේ 2004 සුනාමියට පසුව ය. නමුත් ඒ සියල්ල මේ වනවිට අක්‍රියව ඇති බවත්,  මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා ඒවා නැවත පිළිසකර කිරීමට පියවර ගෙන නොමැති බවත් වාර්තා වෙයි. සුනාමිය පිළිබඳ නිවැරදි දත්ත ලැබුණා නම් එයින් සිදු වූ විනාශය මීට වඩා අඩු කර ගැනීමට ඉඩ තිබුණු බවට ද ඇතැම් නිරීක්ෂකයින් අදහස් දක්වා තිබිණි.

 

නිහාල් පීරිස්

Untitled-1 Untitled-2 Untitled-3