ජනතාව බොහෝ ගරු කළ බුද්ධ පුත්‍රයන් වහන්සේලා කිහිපනමක්ම මෑතකදී රටට අහිමි විය. ගංගොඩවිල සෝම හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

මල්වතු පාර්ශවයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ට ජනතාවගෙන් ලැබුණේ ඉහළ ගෞරවයකි. විදේශිකයන් උන්වහන්සේට සැලකුවේ සංඝරාජයන් වහන්සේනමකට මෙනි. මහනායක නිලයක් නැතත් මහනායක හිමිනමකට නොදෙවැනි ගෞරවයක් උන්වහන්සේට ලැබිණි.

අවුරුදු 103ක් ආයු වලඳා අලුත්ගම ධම්මානන්ද නාහිමියන් අපවත් වූ දා සිට ඊයේ (06) ආදාහනය කළ දිනය දක්වා දිවයිනේ සතර දිගින් ගිහි-පැවිදි පිරිස් මල්වතු මහා විහාරයට ඇදී ආහ.

“මහත්තයෝ අපේ ගුරු හාමුදුරුවෝ බොහොම ගුණගරුක ජීවිතයක් ගත කළේ. කවදාවත් උන්වහන්සේ මුදල් පරිහරණය කළේ නැහැ. ඒ වගේම මස්මාංශ වැලඳුවේ නැහැ. බොහොම පිරිසිදු ජීවිතයක් උන්වහන්සේ ගත කළේ.”
“අපේ ගුරු හාමුදුරුවෝ අපවත් වෙන දිනය හරියටම දැනගෙන හිටියා. පහුගිය ජුනි මාසේ සංඝරාජ පෙරහර අවසන් වුණාට පස්සේ සියලුම දායකයොයි, ශිෂ්‍ය හිමිවරුයි පන්සලට කැඳෙව්වා.,

“ලබන අවුරුද්දේ සංඝරාජ පෙරහර කරන්න මම ජීවත් වෙන්නේ නැහැ. මේ මම කරපු අන්තිම පෙරහරයි. මම තව මාස තුනකින් අපවත් වෙනවා. ඒ නිසා මේ දායකයෝ ‍පොඩි හාමුදුරුවොත් රැක බලාගෙන මොනම හේතුවක් නිසාවත් සංඝරාජ පෙරහර නොනවත්වා පවත්වන්න ඕනේ. මගේ අවසාන ඉල්ලීමත් ඒකයි.”

“නායක හාමුදුරුවෝ අපෙන් එහෙම ඉල්ලනකොට ඇත්තටම මහා සංවේගයක් ඇතිවුණා.”

අපවත් වී වදාළ අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික කටයාපතනේ පියදස්සි හිමියෝ සිය ගුරු හිමියන්ගේ අවසන් ඉල්ලීම පිළිබඳව එලෙස අප සමග විස්තර කළහ.

“අපේ නායක හාමුදුරුවන්ගේ ඉතාම කිට්ටු හිතවතෙක් වන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධන මහත්තයා මාසයකට වරක් කොළඹ ඉඳලා ඇවිත් නාහිමියන්ගේ සුවදුක් බලලා යනවා. ඒ මහත්තයා සැප්තැම්බර් මාසේ මුලදි පන්සලට ඇවිත් නායක හාමුදුරුවන් සමග කතාබහ කරලා පිටත් වෙන්න හදනකොට නායක හාමුදුරුවෝ ධර්ම ශ්‍රී මහත්තයාට කිව්වා මම මේ මාසේ අන්තිමට හරි ලබන මාසේ මුල හරි අපවත් වෙනවා. මහත්තයාට ලබන මාසේ එන්න වෙන්නේ මගේ ආදාහනයට කියලා.”

“ඒත් ධර්ම ශ්‍රී මහත්තයා කිව්වා නැහැ, එහෙම වෙන්නේ නැහැ. නායක හාමුදුරුවෝ නිරෝගියි. නායක හාමුදුරුවෝ අවුරුදු 105ක්වත් ජීවත් වේවි කියලා.”

“ඒත් නායක හාමුදුරුවෝ කිව්වා, නැහැ මහත්තයා මේ අපි හමුවෙන අන්තිම අවස්ථාව. මගේ මරණය ඒකාන්තයෙන්ම මේ මාසේ අග සිදුවෙනවා කියලා. ඒක අහලා ඒ මහත්තයා නායක හාමුදුරුවන්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා බොහෝ වෙලාවක් ඇඬුවා මට මතකයි. නායක හාමුදුරුවෝ රටට, ජාතියට විශාල සේවාවක් කළා. ඒ නිසා ඔබවහන්සේ රටට ණය නැහැ කියලා එතුමා පිටවෙලා ගියා. ඇත්තටම ඒ දිනේටම නායක හාමුදුරුවෝ අපවත් වුණා.”
කැටයාපතනේ පියදස්සි නාහිමියන් සිය ගුරු හිමියන් අපවත් වෙන දිනය හරියටම කියූ ආකාරය විස්තර කළේ එසේය.

අලුත්ගම නාහිමියන් උපන්නේ 1915 නොවැම්බර් 22 වැනි දිනය. 2018 නොවැම්බර් 22 වැනි දිනට උන්වහන්සේට අවුරුදු 104කි. නමුත් ඊට මාසයක් පමණ තිබියදී නාහිමියෝ අපවත් වූහ.

අපවත් වනතුරුම නාහිමියෝ අවදි වුයේ පාන්දර 4.00ටය. සැතපුණේ රාත්‍රී 10.00ටය. හිමිදිරියේ යහනෙන් නැගිටීමට පෙර එහි සිටම උන්වහන්සේ පිරිත් සූත්‍ර 11ක් සජ්ඣායනා කරති. රාත්‍රී සැතපීමට පෙරත් එලෙස පිරිත් දේශනා කරති.
නාහිමියන්ගේ දවසේ කටයුතු අරඹන්නේ දවසේ පුවත්පත් කියවමිනි. උපැස් යුවළක් පළඳින්නේ නැතිවම උන්වහන්සේ පුවත්පත් කියවති.

එම පුවත්පත්වල ඇති විවිධ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලිවිය යුතු නම් ඒ මොහොතේම එය යතුරුලියනය කර පුවත්පත්වලට උන්වහන්සේ යොමු කළහ. එසේ නොමැති නම් මාධ්‍ය ආයතනයටම දුරකථනයෙන් අමතා ප්‍රකාශයක් දෙති.

රටේ විවිධ ජාතික, ආගමික හා සමාජයීය අර්බුදවලදී ජනමාධ්‍යවේදීන්ද දිව ගියේ අලුත්ගම නාහිමියන්ගේ පන්සලටය. මහනාහිමිවරුන්ගේ මතයට වඩා ඇතැම් විට අලුත්ගම නාහිමියන්ගේ මතය ලබාගැනීමට මාධ්‍යයද උත්සුක වූහ.
බෝගම්බර සිරගෙදර මරණ දඬුවමට ලක්වූවන් එල්ලා මැරීමට පෙර ධර්ම දේශනා කළේ අලුත්ගම මේධානන්ද නාහිමියන්ය. 1950 වර්ෂයේ සිට උන්වහන්සේ සිරගෙදර ධර්ම දේශනා කළහ.

බෝගම්බරදී අවසන් වරට එල්ලා මැරූ මරු සිරාට බණ කීම පැවරුණේද අලුත්ගම නාහිමියන්ටය. මරු සිරාට බණ කියන්න ගිය උන්වහන්සේට මරු සිරාගෙන් දොස් අහන්නටද විය. “මට ඕනෑ බණක් නැහැ. ගිහින් වෙන කෙනකුට බණක් කියාගන්න එකයි ඇත්තේ…”

මරු සිරාගේ විරෝධය මත වුවද උන්වහන්සේ දහම් කරුණු කිහිපයක් කියා ආපසු වැඩම කළහ.
“නායක හාමුදුරුවෝ එල්ලා මරණ අය ඒ නියමිත දිනේට එල්ලන්න දුන්නේම නැහැ. තව මාසයක් හරි කොහොම හරි උන්වහන්සේ දිනේ කල් දාගන්නවා. එක් අයෙක් ‍පෝය දවසක එල්ලා මරන්න හදලා. නාහිමියන් ඊට විරුද්ධ වෙලා කල්දාගෙන. නැවත ඔහු එල්ලන්න හදලා තියෙන්නේ දළදා මාලිගාවේ කුඹල් පෙරහර දවසේ. එදත් කල් දමාගෙන තිබෙනවා. මේ සිරකරුට එරෙහිව බොරු සාක්ෂියක් දීමෙන් මරණ දඬුවම හිමිවී තිබෙන බව නායක හාමුදුරුවෝ දැනගෙන තියෙනවා. උන්වහන්සේ ඒ ගැන අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාටත් කියලා තියෙනවා. කොහොම හරි ඒ සිරකරු එල්ලා මරා තියෙනවා. පස්සේ නායක හාමුදුරුවෝ ඇමැති හමුවෙලා දොස් කියලත් තිබුණා.

තව හිරකාරයෙක් මරන්න ගෙන යනකොට නායක හාමුදුරුවන්ට කියලා තියෙනවා මාව මැරුවාට පස්සේ පහන් 45ක් බෝධිය ළඟ පත්තු කරන්න කියලා. නාහිමියොත් ඒ ඉල්ලීම ඉටු කරලා තිබුණා. තව දවසක් මරණ දඬුවමට කලින් සාංඝික දානයක් දෙන්න ඕනේ කියලා හිරකාරයෙක් කියලා තියෙනවා. ඒත් බන්ධනාගාරයේ එහෙම දාන දෙන්න අවසර නැහැ කියලා බලධාරීන් කිව්වට පස්සේ හාමුදුරුවෝ හනිකට කොළඹ ඇවිත් බන්ධනාගාර කොමසාරිස් හමුවෙලා ඊට අවසර අරන් ඒ දානේ දීලා තියෙනවා. දානේ දීලා තියෙන්නෙත් එල්ලුම් ගස කිට්ටුවමයි. පස්සේ ඒ හිරකරු මරා තිබෙනවා.”

අලුත්ගම ධම්මානන්ද නාහිමියන් සිරකරුවන් වෙනුවෙන් කළ කැපවීම කැටයාපතනේ පියදස්සි හිමියෝ එසේ විස්තර කළහ.

බෝගම්බර සිරගෙදර සුචරිතෝදය දහම් පාසල 1950දී ආරම්භ කළේ නාහිමියන්ය. එහි ශිෂ්‍යයන් වූයේ සිරකරුවෝය. මරණ දඬුවමට නියම වූවකු වරක් මෙම දහම් පාස‍ලේ ශිෂ්‍ය නායකයා විය. පසුකාලීනව ඔහු නිදහස ලබා ගැනීමෙන් පසු පැවිදි වී තිබේ.

මහනුවර නගරයේ ඉංග්‍රීසි නම්වලින් රැජින හෝටලය ඉදිරිපිට සිට වැව රවුම ශ්‍රී දළදා මාලිගාව තෙක් නම් කර තිබුණේ ‘වික්ටෝරියා ඩ්‍රයිව්’ යනුවෙනි. එය සංඝරාජ මාවත ලෙස නම් කෙරුණේ අලුත්ගම නාහිමියන්ගේ මැදිහත් වීමෙනි. එසේම ‘ග්ලැන්ඩේන් රෝඩ්’ ලෙස නම්කර තිබූ මල්වතු විහාරය අසල පාර ‘සරණංකර පාර’ ලෙස 1949දී නම් කෙරුණේ නාහිමියන්ගේ මග පෙන්වීමෙනි.

රටේ ජාතික ප්‍රශ්න පිළිබඳව ඇති සාකච්ඡා සම්මන්ත්‍රණ, සටන්, උද්ඝෝෂණ ආදියෙහි මුලටම වැඩ සිටියේ අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ය. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් හා මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන් කළේද අලුත්ගම නාහිමියන්ගේ අඩිපාරේය. ඒ නිසා ඒ දෙනම ගැන නාහිමියන් තුළ විශේෂ පැහැදීමක් තිබිණි.

අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ 1998දී අන්තිම කැමැති පත්‍රයක් ලියූහ. ඒ වනවිට උන්වහන්සේට අවුරුදු 83කි.
සිය ආදාහන පූජෝත්සවයේදී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් හා මාදුළුවාවේ සෝභිත හිමියන්ට අනුශාසනා දිය යුතු බවට නාහිමියන් නියම කර තිබිණි. අන්තිම කැමැති පත්‍රය ලියා වසර 20කට පසුව නාහිමියෝ අපවත් වූහ. සිය ආදාහනයේදී අනුශාසනා කිරීමට නම් කළ බෙල්ලන්විල නාහිමි හා සෝභිත හිමි ඊට පෙර අපවත් වූහ. ඒ දෙදෙනාගේම ආදාහනයන්ට නාහිමියන් සහභාගි වූයේ මහත් සංවේගයකිනි.

නදීක දයා බණ්ඩාර

Untitled-4 WhatsApp-Image-2018-10-04-at-06.44