තංගල්ල නෙටොල්පිටියේ පිහිටි තසිරු සර්විස් සෙන්ටරයේ හිමිකරු චමින්දගේ ඝාතනයේ සුල මුල හෙළිකර ගන්නට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විටත් සමත්ව හමාරය. ඒ විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ කෙරුණු පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

මුහුණ මුළුමනින්ම වැසෙන සේ ආරක්ෂක හිස් ආවරණ පැළඳ තසිරු සේවාස්ථානයට යතුරුපැදියකින් කඩාවැදුණු සන්නද්ධ තුවක්කරුවන් දෙදෙනෙක් විසින් කළ ඒ ඝාතනය ගැන ඉකුත් සතියේ රිවිර ඛිපඪථඥ අනාවරණයක් කරනු ලැබුවේ එම ඝාතනය, අසල පිහිටි ඇඟලුම් කම්හල් සේවකයින් සමග ඇති කර ගත් ආරවුලක ප්‍රතිඵලයක් ලෙසද නැතිනම් රන්න ‍පොළේ ටෙන්ඩර් ආරවුලක් මුල්කරගෙනද යන්න පිළිබඳව සැකයක් ඇතිව තිබෙන බව සඳහන් කරමිනි. රිවිරේ සැකයන් සනාථ කරමින් ‍පොලිස් විමර්ශනවලින් පැහැදිලිවම හෙළිවී ඇත්තේ එම ඝාතනය රන්න සති ‍පොළේ ටෙන්ඩර් ආරවුලක් මත සිදුව ඇති බවය.

‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට එදා චමින්දට වෙඩි තබා ඔහුව ඝාතනය කරන්නට ඔහුගේ වාහන සේවාස්ථානය වෙත යතුරුපැදියෙන් කඩාවදින දෙදෙනාගෙන් එක් අයෙක් වන්නේ රන්න පැත්තේ වැඩකාරයෙක් වන රණා නමැත්තාය. මිනිස් ජීවිත හය හතකටම වගකිව යුතුව ඇති ඔහු දේශපාලන සම්බන්ධකම්ද ඇති පුද්ගලයෙකි. මුළු රන්නම බිය වද්දවාගෙන සිටින මේ අපරාධකරු සමග චමින්දව ඝාතනය කරන්නට යන අනෙකා මිනිස් ඝාතන 12 කට වගකිව යුතු පුද්ගලයෙකි. ඔහුද දේශපාලන සම්බන්ධකම් නොඅඩුව ඇති අයෙකි. 2008 වසරේ ‍පොලිස් අත්අඩංගුවෙන් පැනගොස් සිටින ඔහු කප්පම් ගැනීම් සහ මංකොල්ලකෑම්වල මෙන්ම කොන්ත්‍රාත් මිනිස් ඝාතනවල නිරතව සිටින්නේ ‍පොලිසියටද කොකා පෙන්වමිනි.

මේ දෙදෙනාගෙන් රණා දැන් සිටින්නේ ‍පොලිස් අත්අඩංගුවේය. වසර 10 ක් තිස්සේ ‍පොලිසියට කට්ටි පනිමින් සිටින අනෙකා තවමත් සිටින්නේ නිදැල්‍ලේය. ‍පොලිසිය විශ්වාස කරන්නේ ඔහුව ළඟදීම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි කියාය. චමින්දගේ ඝාතනයට යොදා ගත් ටී 56 අවිය මෙන්ම ඒ සඳහා ඔවුන් ගමන් කළ යතුරුපැදියද ඇත්තේද ඔහු භාරයේය.

රණාත් ඔහුත් චමින්දව ඝාතනය කරන්නේ ඔවුන්ට චමින්ද සමග පැවැති පුද්ගලික ආරවුලක් හෝ අමනාපයක් නිසා නොව. රන්න ‍පොළේ මතෛක් කලක් ටෙන්ඩරයේ ඒකාධිකාරී හිමිකරුවා වූ අජිත් ප්‍රසන්න නොහොත් ‍පොළේ බේබි නමැත්තාට ලබන වසරේ ටෙන්ඩරය අහිමි වී යාමේ තර්ජනයක් චමින්ද නිසා ඇති වී තිබුණු බැවිනි.

කලක් හමුදා සේවයේ නිරතව සිටි බේබි වසර හතර පහක් තිස්සේම රන්න ‍පොළේ බදු අයිතිය හිමිකර ගන්නේ සිය දේශපාලන හයි හත්තියද පාතාලයේ හයි හත්තියද ඇතිවය. බේබිගේ ළඟම පාතාල ගෝලයා වූයේ රණාය. බේබි සමගින් රණා සිටි බැවින් බේබිට ඉහළින් ‍පොළේ ටෙන්ඩරයට කිසිවකුත් ලංසු තබන්නට ගියේ නැත. එහෙත් 2019 වසරේ බේබිගේ ටෙන්ඩරයට ප්‍රබලතම තරගකරුවා වන්නේ චමින්දය. චමින්දගේ ලංසුව තරගකාරී විය. ඒ නිසාම ටෙන්ඩරය ඉවත් කර ගන්නා ලෙස බේබි, චමින්දට කිහිප විටක්ම තර්ජනය කළේය. බැරිම තැන ඔහු රණාවද යොදවා චමින්දට බලපෑම් කළේය.

ඒ ගෝතයා කවුද මට ටෙන්ඩරයෙන් අයින් වෙන්න කියන්න. රණාගේ තර්ජනයන්ට චමින්ද තැන තැන කියවන්නට ගත්තේය. ඊට රණා කිපුනේය. බේබි එයින් වාසියක් ගත්තේය. චමින්දව ඝාතනය කරවන්නට බේබි හීන් සීරුවේ රණාව උසිගැන්වූවේය. රණාත් බේබිත් එක්ව ඒ අනුව චමින්දව ඝාතනය කරන්නට සැලසුමක් සකස් කළෝය. ඒ සැලසුම ක්‍රියාත්මක වන්නේ පසුගිය 23 වැනිදාය. රණාත් ඔහුගේ සගයාත් යතුරුපැදියක නැගී නෙටොල්පිටියට එන්නේ තංගල්ල පැත්තේ සිටය.

වේගයෙන් පැමිණි යතුරුපැදියක් නතර කෙරෙන්නේ නෙටොල්පිටියේ වැලිආරේ පිහිටි වාහන සේදුම් ‍පොළේය. මුහුණු මුළුමනින්ම ආවරණය වන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැලඳ සිටි ඔවුන් සිය තීක්ෂණ දෑස් වාහන සේදුම්‍පොළ සීසාර යොමු කළේය. තත්පර කිහිපයකට පසු යතුරුපැදියේ පසුපැදිකරු වූ රණා  ‍පොළොවට පය තබන්නේ සිය කෝට් බෑයේ සඟවාගෙන සිටි ටී 56 වර්ගයේ ගිනි අවිය එළියට ගෙන එය අතැතිවය.

ඒ වන විට වාහන සේදුම්‍පොළේ හිමිකරු රන්දික් වගාරච්චි නොහොත් චමින්ද  සිටින්නේ ලොරි රථයක් පිරිසිදු කරමිනි. ඒ සේවකයන් තිදෙනාගෙන් දෙදෙනම එදින සේවයට නොපැමිණීම නිසාය. ලොරි රථයට ඉනිමගක් හේත්තු කර ඊට ගොඩ වී වාහනය පිරිසිදු කරමින් සිටින්නේ ජල පහරක් එල්ල කරමිනි.

ටී 56 අවිය අතැතිව සිටි රණා  සේවා ස්ථානයේ වටයක් දෙකක් කැරකී නතර වන්නේ චමින්ද ඉදිරියේය. එකවරම ටී 56 අවිය ඔහු අමෝරන්නේ චමින්ද දෙසටය. ඒත් එක්කම අවිය ක්‍රියාත්මක වන්නේ වෙඩි දෙක තුනක් චමින්ද  වෙත මුදාහරිමිනි. සිරුර පසාරුකරගෙන එක් වෙඩිල්ලක් ගමන් කරන විට අඩි තුන හතරක් උඩ සිටි චමින්ද බිම ඇද වැටෙන්නේ ඉනිමගද පෙරළාගෙනය. බිම වැටුණු චමින්දට තවත් වෙඩිල්ලක් දෙකක් තබන්නේ අනෙකාය. එහි සිටි සේවකයා වෙතද ගිනි අවිය අමෝරා බියගැන්නු ඔහු ඉන් සෑහීමට පත්වූයේ නැත. ගිනි අවිය පැත්තකට දමා රැගෙන පැමිණි මන්නයකින් චමින්දට කෙටුවේය.

සියල්ල අවසානයේ වෙඩික්කරුවන්  සේවාස්ථානයේ නතර කර තිබුණු රථවාහනවලට වෙඩි තබන්නේ දැඩි වෛරයකිනි. එක වරම ඔහු අත වූ ගිනි අවිය අගුල් වැටුණේය. ඒ පතොරමක් සිරවීමෙන්ය. තත්පර කිහිපයක් ඇතුළත ඔහු එම පතොරම ඉවත් කර ගිනි අවියේ අගුල් නිදහස් කරමින් වෙඩි තබන්නේ පළපුරුදු වෙඩික්කරුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. විනාඩි කිහිපයක්ම වාහන සේදුම් ‍පොළේ කිසිදු කලබලයකින් තොරව සැරිසරමින් සැලසුම් ප්‍රකාරව ඉලක්කය ලබාගත් වෙඩික්කරු ඔහු පැමිණි යතුරුපැදියේම නැගී පලා යන්නේද තංගල්ල දෙසටය.

චමින්දගේ මෙම ඝාතනය ගැන පරීක්ෂණ සියල්ල සිදුවන්නේ තංගල්ල කොට්ඨාස භාර ‍පොලිස් ප්‍රධානී ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙසිනි. තංගල්ල ‍පොලිසියේ අපරාධ අංශය මෙන්ම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයද පසුගිය දින කිහිපය තුළ ඒ ගැන පුළුල් විමර්ශන පවත්වනු ලැබුවේ දුරකථන ජාල පරීක්ෂාවකද නිරත වෙමිනි. ඒ අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඩී. දයානන්ද, තංගල්ල ‍පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක විජේනායක ඇතුළු ‍පොලිස් කොස්තාපල්වරුන් මංජුල (4494), නාමල් (35599), හේරත් (74923),  උදයංග (19787) යන නිලධාරීහු විමර්ශන පවත්වති.

ජනිත ගම්ලත්
Untitled-9