ඉරිදා උදෑසන දේව මෙහෙයට සහභාගි වී කඳානේ සිට වැලිගම කපුවත්තේ පිහිටි  නිවස බලා රසිකා සිය මෝටර් රථයේ නැගී ගමන් කරන්නට වූයේ සිය නව හැවිරිදි දියණිය එලිසාද සමගිනි. ඔවුන් ගමන් කරන්නට වූයේ මීගමුව පාරේ ජා-ඇල දෙසටය.

මෝටර් රථය වැලිගම්පිටියට කිට්ටු වෙනවාත් සමග ඇය සිය රථය තවත් මෝටර් රථයකට ඉස්සර කළාය. ඒත් එක්කම ඇගේ මෝටර් රථයට වෙඩි වර්ෂාවක් එල්ල වන්නේ අනපේක්ෂිත ලෙසිනි. ඒ එක් වෙඩිල්ලක් ඇගේ උදරය හරහා යන්නේ මරණාසන්න තුවාල ගෙන දෙමිනි. වාසනාවකට එලිසාට කිසිදු හානියක් නොවීය. එහෙත් ඇය සිය දියණිය බේරාගන්නට දැඩි වෙහෙසක් ගන්නේ පාලනයෙන් තොරව ධාවනය වෙමින් ඇති මෝටර් රථයේ සුක්කානම ඒ මේ අත කරකවමිනි. එහෙත් ඇයට මෝටර් රථය පාලනය කරගන්නට තරම් ශක්තියක් නොවීය. පාර පුරා පාලනයකින් තොරව ධාවනය වූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වන්නේ පදික වේදිකාවේ ගැටීය. ඇගේ සිරුර ඒ වන විටත් රුධිරයෙන් නැහැවී හමාරය. වේදනාවෙන් මිරිකෙමින් සිටි ඇයව රෝහල්ගත කරන්නට තරම් හයියක් ඒත් එක්කම මෝටර් රථය වටකර ගත්තවුන් අතර නොවීය. ‍පොලිසිය එනකම් ඉමු. අහක යන පරිප්පු අපිට කන්න වෙයි.

එකිනෙකා එසේ මුමුණද්දී එක් පුද්ගලයෙක් ඇයව ඔසවා මාර්ගයේ ගමන් කරමින් තිබුණු වාහනයක දමා රෝහලට රැගෙන යන්නේ ඇගේ ජීවිතය ගලවා ගන්නටය. එහෙත් ඇයට ජීවත්වීමේ වාසනාව හිමි වන්නේ පැය කිහිපයකට පමණි. ඇය අවසන් හුස්ම ‍පොද වාතලයට මුසු කරන්නේ ශල්‍යකර්මයකට ලක් කිරීමකින් අනතුරුවය.

මෙසේ සාහසිකයකුගේ වෙඩි පහරකින් අකාලයේ මරු වැලඳ ගත් රසිකා දෙදරු මවකි. වෙඩි ප්‍රහාරයට ලක් වන විට ඇය සමග මෝටර් රථයේ සිටින්නේ බාල දියණියයි. වැඩිමහල් දරුවා පුතෙකි. ඔහු 12 හැවිරිදි වියේ පසුවන්නේය. ඔවුන් දෙදෙනා අධ්‍යාපනය ලබන්නේ සීදූව ශාන්ත තෝමස් ජාත්‍යන්තර විද්‍යාලයේය.

රසිකාගේ සැමියා දීපාල්ය. ඔහු සිටින්නේ ඉතාලියේය. ඇයත් ඔහු සමගින් කාලයක්ම රැඳී සිටියේ ඉතාලියේය. මෙයට වසර අටකට පමණ ඉහතදී ඇය මෙරටට එන්නේ සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි. කොයි පවු‍ලේත් ඇති වන්නා වූ ආරවුල් මේ පවු‍ලේද නොතිබුණා නොවේ. එකී ආරවුල් නිසාම ඇගේ මරණය කෙරෙහි සැකයක් රසිකාගේ මව ඇති කර ගන්නේ දීපාල් කෙරෙහිය. ඇය රෝහ‍ලේ සිට හඬමින් කෑගසන්නේ දීපාල් ගැන කියාය. එහෙත් සැබවින්ම සිදුවන්නේ දීපාල්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව රසිකාව ඝාතනය වීමක් නම් නොවේ. පාතාලයේ වෙඩි හුවමාරුවකට ඇය මැදිවීමකි. ඒ බව පැහැදිලිවම මේ වන විට ‍පොලිසිය විසින් හෙළිකරගෙන හමාරය. ‍පොලිසිය සඳහන් කරන්නේ, රසිකාට වැදුණේ ගම්පහ පැත්තේ පාතාලයේ ප්‍රබලයෙක් වන පත්අඬුවන අජිත්ට තැබූ වෙඩිල්ලක් බවය. පත්අඬුවන අජිත් මිනිස් ඝාතන කිහිපයකටම වගකිව යුත්තෙකි. මීගමුව බන්ධනාගාරයේදී ඝාතනය වූ හීනටියන අසිත නමැති පාතාලයේ ප්‍රබලයාගේ සමීපතම ගෝලයෙක් වන ඔහු පසුගිය කාලයේ කිට්ටු වී සිටියේ මේ වන විට ගම්පහ හොල්ලාගෙන සිටින පාතාල කල්ලි නායකයෙක් වන  මාකිලන්ගමුවේ සංජීව සමගිනි. මේ වන විට බන්ධනාගාරයේ සැකකරුවෙක් ලෙස රඳවා සිටින මාකිලන්ගමුවේ සංජීව පාතාල ලෝකයේ නම රන්දන්නේ පෑලියගොඩදී සිදුවුණු කෝටි 07 මංකොල්ලයෙනි. ඊට බන්ධනාගාරගත වන ඇප මත එළියට එන්නේ දැවැන්ත පාතාල කල්ලි නායකයෙක් ලෙස බෞතිස්ම ලබාය.

ගම්පහ පැත්තේ පාතාලයේ බලය සියතට ගෙන සිටින ඔහු පසුගිය කාලයේ සිය ගෝලයෙක් වූ පත්අඬුවන අජිත් හරහා සිය බලය ව්‍යාප්ත කරනු ලැබුවේ ගම්පහ පැත්තේ කුප්‍රකට චරිතයක් වූ උදම්මිට සමරේව වේයන්ගොඩ ගුවන් පාලම අසලදී ඝාතනය කරමිනි. ඊට අමතරව පත්අඩුවන අජිත් තවත් බොහෝ මිනිස් ඝාතනවලට වගකිව යුතු වූ අයෙකි.

ගම්පහ පැත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ඔස්මන් ගුණසේකරට පසුගිය 2016 වසරේ අප්‍රේල් මාසයේදී උඩුගම්‍පොළ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන්නට උත්සාහ ගන්නේද පත්අඩුවන අජිත්ය. එම ඝාතන කොන්ත්‍රාත්තුව ඔහුට ලබාදෙන්නේද මාකිලන්ගමුවේ සංජීව විසිනි. ඊට පසු අවස්ථා දෙකකදීම ඔස්මන් ගුණසේකර ඝාතනය කරන්නට මාකිලන්ගමුවේ සංජීව උත්සාහ ගත්තද ඒ සියල්ලක්ම ව්‍යාර්ථ වන්නේ වෙඩික්කරුවන් ගිනි අවි සමගින් ‍පොලිසියට හසුවන බැවිනි.

භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණීය දණ්ඩනයෙන් සිරදඬුවම් නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාලයේ ප්‍රබලයාව රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයට 2015 වසරේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී වෙඩි තබා දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට උත්සාහ දැරීම පිටුපසද සිටියේ මාකිලන්ගමුවේ සංජීවය. ඔහු සියල්ල කළේ බන්ධානාගාරයේ සිට සිය ගෝලබාලයින් යොදාගෙනය.

මාකිලන්ගමුවේ සංජීවගේ සුවච කීකරු ගෝලයෙක් වෙමින් ඔහු ලබාදෙන කොන්ත්‍රාත් ඉටුකරමින් සිටි පත්අඩුවන අජිත් ‍පොලිසියට හසුවී බන්ධානාරගතවන්නේ ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට උත්සහ දැරීමේ චෝදනාව ඇතුළුව තවත් අපරාධ චෝදනා ගොන්නකටය. මාස ගණනාවක් බන්ධනාගාරගතව සිටි ඔහු ඇපමත නිදහස ලබන්නේ පසුගිය වසරේ අගදීය. ඒ වන විට එතෙක් කලක් කිරියි පැණියි සේ එකට සිටි මාකිලන්ගමුවේ සංජීව සහ පත්අඩුවන අජිත් සිටින්නේ නයි මුගටියන් සේය. ඊට මුල්වන්නේ පස් ‍පොඩ්ඩාය. මිනුවන්ගොඩ පැත්තේ නමක් දිනා සිටින ඔහු අපරාධ ලෝකයේ චරිතයක් බවට පත්වන්නේ සිය දරුවා පැහැරගන්නා බව කියමින් රුපියල් ලක්ෂ 50 කප්පමක් ගත් පාතාලයේ හීනටියන අසිත ඇතුළු පාතාලයේ පිරිසකට ගම්පහ අස්ගිරියේදි පිරිසක් යොදා වෙඩි තැබිමත් සමගිනි. එම වෙඩි තැබිමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පස් දෙනෙක් ඝාතනය වන අතර හීනටියන අසිත දිවි ගලවා ගන්නේ බස් රථයේ ආසනයක් යට සැඟවීය. මීගමුව බන්ධනාගාරයේදී රැඳවියකුගේම වෙඩි ප්‍රහාරයකින් හීනටියන අසිත ඝාතනය වන්නේ ඔය අතරතුරදීය. අසිතගේ ගෝලයින් ඒ වන විට සිටින්නේ පස්‍පොඩ්ඩා සමග වෛර බැඳගෙනය. අවස්ථා කිහිපයකදීම පස් ‍පොඩ්ඩා ඝාතනය කරන්නට ඔවුන් උත්සාහ ගත්තේය. වරක් පස්‍පොඩ්ඩා යැයි කියා සිතා මිනුවන්ගොඩ පැත්තේ අවන්හලකදී තිදෙනෙක්ව වෙඩි තබා ඝාතනය විය. අසිතගේ කල්ලිය සෑම විටම මාන බැලුවේ පස්‍පොඩ්ඩාට වැඩක් දෙන්නටය. එසේ තමන් වෛර බැඳගෙන සිටින පස් ‍පොඩ්ඩා සමග මාකිලන්ගමුවේ සංජීව දැඩි හිතවත්කමක් පවත්වන බව පත්අඬුවන අජිත් දැනගන්නේ බන්ධනාගාරයේදීය. දෙදෙනා අතර නයි මුගටි වෛරයක් ඇති වන්නේ ඒත් එක්කමය.

ඇප මත එළියට පැමිණි මොහොතේ සිටම මාකිලන්ගමුවේ සංජීව මාන බැලුවේ පත්අඩුවන අජිත්ට වැඩක් දෙන්නටය. අවස්ථා කිහිපයත්ම ඔහු බන්ධනාගාරයේ සිට අජිත් ඝාතනය කරන්නට ගෝලබාලයින් යෙදෙව්වේය.

එදා සැත්තැම්බර් 30 වෙනිදාය. මාසයේ අන්තිම ඉරිදා දිනයකි. පත්අඩුවන අජිත්ට නියම වූ ඇප කොන්දේසිවලට අනුව ඔහු මාසයේ අවසන් ඉරිදා උදෑසන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට අත්සන් තැබිය යුතුය. ඊට අමතරව ඔහුට පෑලියගොඩ නවලෝක ගොඩනැගිල්ලෙහි පිහිටි බස්නාහිර පළාත් උතුරුදිසා අපරාධ කොට්ඨාසයේත් මිනුවන්ගොඩ ‍පොලිසිය හමුවේත් පෙනී සිට අත්සන් කළ යුතුය.

ඒ සඳහා ඔහු එදින උදෑසන මිනුවන්ගොඩ සිට ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින්  කොළඹට එන්නේ  ගෝලබාලයින් දෙදෙනෙක් සමගිනි. ඒ අය අතර දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට දෙමටගොඩ ඉන්ගම් හන්දියේදි බන්ධනාගාර බස් රථයට වෙඩි තැබූ පාතාල අපරාධකරුද සිටියේය. ඔහු නමින් නිලන්තය. මාකිලංගමුවේ සංජීවගේ ගෝලයෙක්ව සිටි ඔහුද ඒ වන විට සිටියේ  සංජීවගෙන් කැඩී වෙන්වීය. මෝටර් රථයේ සිටි තුන්වැන්නා දිලීපය.

මේ තිදෙනා මුලින්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගියෝය. අනතුරුව ඔවුන් පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට ගොස් මිනුවන්ගොඩ ‍පොලිසියට යන්නට සූදානම් වන්නේ කටුනායක අධිවේගී මාර්ගය ඹස්සේය. එහෙත් ඒ වන විට උදෑසන ආහාරය ගෙන නොසිටි ඔවුන් තීරණය කරන්නේ වත්තල පැත්තේ තෝසෙ කඩේකට ගොස් උදෑසන ආහාරය ගෙන මීගමුව පාර ඔස්සේ ගමන් කරන්නටය. ඒ අනුව ඔවුන් වත්තලට ගොස් තෝසේ කා පිටත්වන්නේ මිනුවන්ගොඩ බලා යන්නටය. යතුරුපැදිකරුවෙක් තමන් ගමන් ගන්නා මෝටර් රථය හඹා එන  බව අජිත්ට දැනෙන්නේ ඔය අතරතුරදීය. ඔහු වේගය තරමක් වැඩිකරමින් යතුරුපැදිය මගහරින්නේ කොයිකටත් සූදානම් සහිතවය. වැලිගම්පිටියේදී මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වන්නේ ඔය අතරතුරදීය.

පත්අඩුවන අජිත් ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි තබන්නේද මෝටර් රථයකින් පැමිණි පිරිසකි. වෙඩි තබන විට එම මෝටර් රථ දෙකට මැදිවන්නේ රසිකා ගමන් කළ රථයයි. තැබූ වෙඩි වදින්නේ රසිකා ගමන් කළ මෝටර් රථයටය. ඒත් එක්කම පත්අඩුවන අජිත් සිය මෝටර් රථය නොනවත්වා වේගයෙන් ධාවනය කරන්නේ ජා-ඇල ‍පොලිසියටය. ඒ සිය ජීවිතය ගලවා ගන්නටය. එසේ නොවන්නට පත්අඩුවන අජිත් මෙන්ම මෝටර් රථයේ සිටි ඔහුගේ ගෝල බාලයින් දෙදෙනාම මේ වන විට ජීවතුන් අතර නැත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයැවීමෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක්ම මේවන විට පරීක්ෂණ පවත්වන්නේ වෙඩික්කරුවන් නීතියට කොටුකර ගන්නටය. අනාවරණය වී ඇති ආකාරයට අනුව එම වෙඩි තැබිම මාකිලන්ගමුවේ සංජීවගේ සැලසුමකට අනුව සිදුවූවක්ය. ඔහු අකුණුගොඩ සංජීවය. වැලිවේරිය පැත්තේ පදිංචිකරුවෙක් වන මාකිලන්ගමුවේ සංජීවගේ ගෝලයෙකි. 1997 වසරේදී වැලිවේරිය පැත්තේ ව්‍යාපාරිකයෙක් ඝාතනය කරමින් පාතාලයේ අත‍පොත් තබන අකුණුගොඩ සංජීව සිය ප්‍රධාන ආදායම් මාර්ගය බවට දැන් පත්කරගෙන සිටින්නේ මත්කුඩු ජාවාරමය. මංකොල්ලකෑම්ය. ඔහුට මත්කුඩු ලැබෙන්නේ මාකිලන්ගමුවේ සංජීවගෙනි. ඒ නිසා ඔහු මාකිලන්ගමුවේ සංජීවගේ අණට කීකරුය. පත්අඩුවන අජිත්ව ඔහු ඝාතනය කරන්නට යන්නේද  මාකිලන්ගමුවේ සංජීවගේ කොන්ත්‍රාත්තුවකට අනුවය. ඒ තවත් ගෝලබාලයින් දෙදෙනෙක් සමගිනි. ඒ කුලියට ගත් මෝටර් රථයක නැගීය. මේ සියලු තොරතුරු දැන් ‍පොලිසිය හෙළිකරගෙන හමාරය. ‍පොලිසිය උත්සාහ දරන්නේ දෙපැත්තේ ගැටුම්වලින් ඝාතන වැලක් සිදුවන්නට පෙර ඒ සියලු දෙනා කොටුකර ගන්නටය.

ගයාන් කුමාර වීරසිංහ

Untitled-2