‍පොඩි තැනින් ව්‍යාපාරික ලෝකය ජයගත් ෆුවාඩ්ටත් යූෂුෆ්ටත් වැඩි කල් යන්නට මත්තෙන් එකම රෝගයක්  වැලඳී තිබුණේය. ඒ අතමිට මුදල් ගැවසෙන විට බොහෝ අයට වැලඳෙන සමාජයේ කැපී පෙනීමේ, චරිත බවට පත්වීමේ රෝගයයි. එම රෝගයත් සමග ඇතිවන්නේ බලය පිළිබඳව ඇති වන උණට මේ දෙදෙනා ප්‍රතිකාර ගන්නේ පාතාල කල්ලි නායකයින් ළං කරගෙනය. ඒ අය අතර කුඩු නූර්, අයුබ්ඛාන්, ‍පොට්ට නවුෆර්, ආනමාළු ඉමිටියාස්, නවුෂාඩ් යන පාතාලයේ ප්‍රබලයින් රැසක්ම වූහ. ඇතැම් ව්‍යාපාරික ආරවුල් පවා මේ දෙදෙනා විසඳා ගත්තේ මෙම පාතාලයන්ට කියාය.

මුස්ලිම් පාතාලය දෙකඩ වන විටදී පවා නැවතත් මුස්ලිම් පාතාලය එක්කරන්නට පෙරමුණ ගත් අය අතර මොවුන් දෙදෙනා ඉදිරියෙන්ම සිටියේය. එය අසාර්ථක වූ තැන දෙකඩ වූ කල්ලි දෙකම සමග සම්බන්ධකම් පැවැත්වීමට වගබලාගත්තේ දෙපැත්තෙන්ම වැඩ ගනිමිනි. ඒ වන විට එම කල්ලි දෙකෙන් වැඩි බලයක් පැවතියේ නූර්ගේ කල්ලියටය. නූර්ගේ ගෝලබාලයින් ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ ෆාජිගේ ගෝලබාලයින්ට පහරදෙන්නට ගත්තේය. ඒ වන විට පාතාලයේ නමගිය ප්‍රබලයින් රැසක්ම සිටියේද ෆාජි සමගිනි. අයුබ්ඛාන් සහ ආනමාළු ඉමිටියාස් ඒ අතර කැපී පෙනෙන පාතාල චරිත විය. දෙමළ පාතාලය සමග සිටි ‍පොට්ට නවුෆර්ද ඒ වන විට ෆාජිට කිට්ටුකර සිටියේ ඔහුගේ පැවැත්ම උදෙසාය. මුස්ලිම් පාතාලය දෙකඩ වී මාස අටක් වැනි කාලයක් තුළ නූර්ගේ කල්ලියේ ප්‍රහාරවලින් පමණක් ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ ෆාජිගේ කල්ලියේ සාමාජිකයින් 11 දෙනෙක්ම ඝාතනය වී තිබුණේය. මේ ඝාතන වැළැක්වීමට අවසානයේ මැදිහත්වන්නේ ෆුවාඩ්ය.

උඹ මේ යන ගමන එච්චර හොඳ ගමනක් නමෛයි. ඔය ක්‍රමේ නවත්තල දැන්වත් හැදෙන්න බලපන්. අපි එකම ජාතියක්. මේ විදිහට කුලල් කන්න ගියොත් අපි හැමෝගේම අනාගතයයි නැතිවෙන්නේ. ගහ මරා ගැනිල්ල නතර කර ගැනීමට කුඩු නූර්ට ඔහු දිනක් දොස් නගමින් අවවාද දෙන්නේ එසේය.

මට උපදෙස් දෙන්න තමුසේ කවුද? මම දන්නව කරන්න ඕනේ මොනවද කියල. නූර්ගෙන් ඊට ප්‍රතිචාර දැක්වෙන්නේ එසේය.

මම ෆුවාඩ් හාජ්ජියාර්. තමුසෙට පුළුවන්ද නූර් හාජ්ජියාර් වෙන්න. ඒ අතින් මම තමුසෙට වඩා ඉහළිනුයි ඉන්නේ. ඒ නිසයි මම මේ ටිකවත් තමුසෙට කීවේ. ෆුවාඩ්ද තරමක් කේන්තියෙන් නූර්ට කීවේය.

ෆුවාඩ් හාජ්ජියාර් සහ කුඩු නූර් අතර හිත් අමනාපයක් පළමු වරට ඇතිවන්නේ එතැන් සිටය. නූර් ඒත් සමග තමන් සමග වෛර බැඳගත් බව ෆුවාඩ්ට සිතුණේය. නූර්ගෙන් තමාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙතැයි ඔහු බියට පත්වූයේය. ඒ බව සිය මිතුරා වූ යූෂුෆ්ටද ඔහු කීවේය.

කුඩු නූර් ඝාතනය වන්නේ ඔය අතරතුරදීය. කුඩු නූර්ව මරා දමන විට ෆුවාඩ් සිටියේ මක්කම වන්දනාවේ ගොසිනි. එහෙත් නූර්ගේ පාර්ශ්වයෙන් සිතන්නේ එම ඝාතනය ෆුවාඩ් සහ යූෂුෆ් විසින් සැලසුම් කර මක්කම වන්දනාවේ ගොස් සිටි බවය.

ඒ නිසාම මේ දෙදෙනාටම දිගින් දිගටම මරණ තර්ජන එල්ල වන්නට පටන් ගන්නේ නිර්නාමික දුරකථන ඇමතුම් ඔස්සේය. එහෙත් ඔවුන් දෙදෙනා එම තර්ජන ගැන එතරම් බැරෑරුම්ව සිතන්නට නොගියේය. තම ජීවිතයට හානියක් කරන්නට තරම් බලවත් පාතාල කල්ලියක් නැති බව ඔවුන් විශ්වාස කරන්නට වූහ. ඒ ඔවුන් ඒ වන විට සමස්ත මුස්ලිම් පාතාලයම සියතට ගෙන සිටි නිසාය.

එදා 2002 වසරේ ජූලි 16 වෙනිදාය. වේලාව අලුයම 2.30 ට පමණ ඇත. උදේ රැයින්ම අවදිව සුපුරුදු පරිදි ෆුවාඩ් සිටියේ සිය නිවසේ ඉහළ මහලයට වී කුරාණය කියවමිනි.

එදාත් නිවසේ දුරකථනය දිගින් දිගටම නාදවන්නට ගත්තේය. ෆුවාඩ් දුරකථනය අතට ගෙන එය හීන් සීරුවේ කනට කර හලෝ යැයි කීවේය.

උඹ එළිපහලියට යන්න එපා. එළියෙදී උඹව අහුවුණොත් මරණව. සුපුරුදු තර්ජනය එදාත් දුරකථනය ඔස්සේ ගලා ආවේය.

ෆුවාඩ්ට දැන් එවන් තර්ජන හොඳට හුරුය. ඔහු අවඥාසහගත සිනාවක් පාමින් දුරකථනය විසන්ධි කළේය. මුහුණ කට සෝදාගෙන ඔහු සිය නිවසින් එළියට බසින්නේ ඩෙල්මන් වීදියේ පල්ලිය වෙත යන්නටය. මේ ආකාරයෙන්ම ඒ වන විට යූෂුෆ්ටද දුරකථන තර්ජනයක් ලැබි තිබුණේය. ඔහුද ඒ ගැන එතරම් සැලකිල්ලක් නොගෙන සුපුරුදු ලෙස පල්ලියට යාමට නිවසින් එළියට බැස්සේය. ඔවුන් දෙදෙනාව නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඝාතනය කරන්නේ එහිදීය.
තවත් 17 දෙනෙක් ඝාතනය කිරීමට පාතාලය කළ සැලසුමක තොරතුරු හෙළිවේ…

 ලබන සතියට
.ගයාන් කුමාර වීරසිංහ