සිහින දකින්නට මෙන්ම ඒ සිහින සැබෑ කරගන්නට මිනිසුන්ට තිබෙන්නේ නොනිමි ආශාවකි. උත්සාහය උනන්දුව කැපවීමෙන් ඒ සිහින සැබෑ කර ගැනීමට අපහසු නැත. සුමුදු ප්‍රසාදිනී ඒ කැපවීම උත්සාහය නිසාම මිසිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැලඳුවේ ඒ සිහිනය යථාර්ථයක් කර ගනිමින්ය. ඒ නිසාම ඇය වෙනුවෙන් මේ ඉඩ වෙන්කළා.

* විවාහක රූ රැජින වීමේ ඔබට තිබුණු හීනය සැබෑවීම ගැන මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. මේ ලබපු ජයග්‍රහණය මම තනියෙන් ගත්ත දෙයක් ‍නෙවෙයි. මගේ මහත්තයාගේ සහයෝගයයි උනන්දුවයි වගේම මගේ කැපවීමයි නිසයි මේ කිරුළ මට දිනාගන්න පුළුවන් වෙන්නේ. මිථිලට තමයි වැඩිපුරම ඕන වෙන්නේ මාව මිසිස් වර්ල්ඩ් යවන්න. මට කවුරුත් කතා කරලා කිව්වේ නැහැ සුමුදු ඔයාට මේ කිරුළ දෙනවා කියලා. මගේ උපරිම කැපවීම වගේම හැමදේම හොඳට කරපු නිසයි මට මේ කිරුළ ලැබෙන්නේ.

* ජයග්‍රාහිකාව ලෙස ඔබේ නම කියැවෙද්දි මොකද හිතුණේ?
ඇත්තටම මට හිතාගන්න බැරිවුණා. මට තමයි වැඩිම මිනි ටයිටල් සංඛ්‍යාවක් ලැබුණේ. මමයි දෙවැනි ජයග්‍රාහිකාව වූ කෙනයි අතර ලොකු තරගයක් තිබුණා. හිතාගන්න බැරිවුණා කවුරු වේවිද කියලා. මම වේදිකාව උඩදිත් ඇයට කිව්වේ. ඔයා දින්නත් මම දින්නත් මට සතුටුයි. කැපවීමේ මහන්සියේ ප්‍රතිඵල ලැබුණු එක ගැන මට ලොකු සතුටක් තියෙන්නේ.

* තරගයට අයැදුම් කළ දවසේ ඉඳන් සුමුදුට විශ්වාසයක් තිබුණද මේ කිරුළ දිනාගන්න පුළුවන් වෙයි කියලා?
සැප්තැම්බර් 05 තමයි මූලික තරග වට තිබුණේ. මම හතරවැනිදා රෑ තමයි තීරණය කළේ මේ තරගයට යනවා කියලා. මෙච්චර ඉක්මනට මේ තරගයට සහභාගි වෙන්න ආසාවක් තිබුණේ නැහැ. තව ටික කාලයක් ඉඳලා මේ තරගයට සහභාගි වෙන්නයි මම හිටියේ. අද විවිධ රූප රාජිනී තරග පවත්වනවා. මමත් ඒ තරග විනිශ්චය කරන්න සහභාගි වෙලා තියෙනවා. ඇතැම් වෙලාවල්වලට නිවැරදි විනිශ්චය ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් මේ තරගයේ චන්දිමාල් එයාගේ ෆෝන් එකවත් ළඟ තියාගෙන හිටියේ නැහැ. අපි හැමෝටම ලකුණු දීපු කොළ හිටන් පෙන්නුවා. ඔහු ගැන ඇතිවෙච්ච විශ්වාසය නිසයි මම මේ තරගයට සහභාගි වෙන්නේ.

* තරගයෙදි කවුද සුමුදුට අභියෝගයක් වුණේ?
මමත් එක්ක තරගකාරියෝ එකොළොස් දෙනෙක් හිටියා. ඒ නිසා එතැන හිටපු හැමෝම මට අභියෝගයක් කියලයි මම හිතුවේ. ඒ නිසා මගේ දේවල් හරියට කරගන්න මට ‍ලේසි වුණා. තරගයේ තිබුණු හැම මිනි පැජන්ට් එකකටම මම ගොඩක් මහන්සි වුණා.

* මේ තරගයට මොන වගේ සූදානමක්ද සුමුදුට තිබුණේ?
මම මගේ ඇඟ හදාගන්නයි ගොඩක් කැපවුණේ. මම උදේ හවස ජිම් ගියා. මම මුලින්ම තරගයට එද්දි කට්ටිය කියලා තිබ්බා ඇයි මේ වගේ ඇඟක් තියාගෙන තරගෙට ආවේ කියලා. නමුත් අවසාන තරගයෙදි මාව දැක්කහම කට්ටිය පුදුම වුණා. මම වැඩිපුරම මහන්සි වුණේ බෙස්ට් ෆිගර් ටයිටල් එක ගන්න. ළමයෙක් හිටියත් නැතත් මේ කිරුළමම ගන්නවා කියලා හිතුවා. ඒක අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක් විදිහටයි මම දකින්නේ. මේ මිනි ටයිටල් එක නිසාම මම කෑම නොකාපු දවසුත් තිබුණා. ආමන්ඩ් ඇටයි වතුරයි විතරයි ඒ දවස්වල මම ගත්තේ.

* රූ රැජිනක් ලෙස ඔබ කලින් ලද අත්දැකීම් මේ තරගයට පන්නරයක් වුණා නේද?
ඔව්. මම 2012 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා වෙලා මිස් වර්ල්ඩ් තරගයටත් ගියා. මට රෑම්ප් එක ගොඩක් හුරුපුරුදු තැනක්. ඒ අත්දැකීම් මට මේ තරගයට ඉවහල් වුණා. මොකද මම එදා වගේ ‍නෙවෙයි අද අම්මා කෙනෙක්. එදාට වඩා ලොකු ශක්තියක් තිබුණා.

* සැමියාගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?
මේ තරගයේ බෙස්ට් ස‍පෝටින් හස්බන්ඩ් කියලා මිනි ටයිටල් එකක් තිබුණා. මම හිතන්නේ මගේ මහත්තයා තමයි හොඳම සහයෝගය මට දුන්නේ කියලා. මගේ ඩයට් ප්ලෑන් එක අනුව කෑම හදලා දෙන්නේ මගේ මහත්තයා. එයා හැම දෙයක්ම හොඳට හොයලා බැලුවා. 2012 වර්ෂයෙත් මිස් ශ්‍රී ලංකා වෙද්දිත් එයා උදව් කළා. මේ තරගෙටත් එයා මට වචනයෙන් කියන්න බැරි සහයෝගයක් දුන්නා. මිථිලගේ කැපවීම හැමෝම දන්නවා. එයා අවසන් තරගයේදි එළියට ඇතුළට යනවා කියලා හැමෝම කිව්වා. එයා නිතරම කිව්වේ කරන දේ උපරිමයෙන් කරන්න කියලා. අපට ලැබෙන්න තියෙනවා නම් දෙයක් ලැබෙවි කියලා. 2012 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා තරගයේදි කිරුළ පලඳින අවස්ථාව නැතිවුණ නිසා එයාට දුකක් තිබුණා. එයාට ලොකු ආසාවක් තිබුණා මේ කිරුළ ලැබෙනවා බලන්න. ඇත්තටම මේ සතුට එයාට දරාගන්න බැහැ.

* මේ තරගයේදි අපේ මව් භාෂාවෙන් සුමුදු කතා කළේ විශේෂ හේතුවක් නිසාද?
ඉංග්‍රීසි කතා කරලා ටිකක් ඇඟ පේන්න ඇන්දහම මිනිස්සු හිතන්නේ එයා හරි ‍පොෂ් කියලා. මම හිතන්නේ නැහැ අපි ඉංග්‍රීසිම කතා කළ යුතුයි කියලා මෙවැනි තරගයකදි. 2012 වර්ෂයේ මිස් වර්ල්ඩ් එකේ ජයග්‍රාහිකාව වුණේ මිස් චයිනා. එයාට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ගොඩක් මිනිස්සු හිතනවා තමන්ගේ මව් භාෂාව කතා කිරීම ලැජ්ජාවක් කියලා. ඉංග්‍රීසි බැහැ කියලා අපි ලැජ්ජා වෙන්න ඕන නෑ. මම හිතන්නේ අපේ රට නියෝජනය කරන කෙනාට මව් භාෂාව පුළුවන් වෙන්නම ඕන කියලා.

* මෙවර ලෝක විවාහක රූ රැජින තරගය කොහෙද පැවැත්වෙන්නේ?
මම මිස් වර්ල්ඩ් ගියෙත් චීනෙට. මිසිස් වර්ල්ඩ් තියෙන්නෙත් චීනෙමයි. ජනවාරි 12 තමයි ඒ තරගය පවත්වන්නේ. මේ තරගයට මම උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කළා වගේම ඒ තරගයටත් උපරිම කැපවීමෙන් කටයුතු කරනවා.

* නිරූපණ කටයුතුවලින් ඈත්වෙලාද?
මගේ පුතාට අවුරුදු දෙකක් වෙනවා. මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගනිද්දිම මම නිවේදන කටයුතුවලින් ඈත් වුණා. මගේ මහත්තයා කැමැති වුණේ නැහැ මම කාර්යබහුල වෙනවට. මම අවුරුදු එකහමාරක් වෙද්දි නිරූපණ වැඩ භාරගත්තේ සති අන්තයේ විතරයි. මහත්තයා ගෙදර හිටිය නිසයි. මම අම්මා කෙනෙක් විදියට අංක එක වුණේ මගේ පුතා. දරුවෙක්ට උණුසුම ඕන කා‍ලේ ඒ උණුසුම නොලැබෙනවා නම් ඒ අම්මගෙන් වැඩක් නැහැ. මේ මාස දෙකෙත් හිත හදාගන්න බැරිවුණා එයාව දාලා එන්න. අම්මයි, මහත්තයයි ගාව විතරයි බබාව දාලා එන්නේ.

* සුමුදුට රංගනයට ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?
හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා. නිතරම රූපවාහිනියේ පෙනී ඉන්න මගේ කැමැත්තක් නැහැ. මම ඉස්සර ඉඳන් සල්ලි, ප්‍රසිද්ධිය පස්සේ පැන්නුවේ නැහැ. මම අද අම්මා කෙනෙක් නිසා මම නිතරම මගේ සීමාවන් ගැන හිතනවා. මම කැමති නැහැ මගේ දරුවට ලැජ්ජා වෙන විදිහට වැඩ කරන්න. මම කැමති ආදර්ශවත් විදිහට ජීවත් වෙන්න. මගේ ගරුත්වය ගැන මම හැමදාම හිතනවා. ඒ නිසා හොඳින් තෝරා බේරාගැනීමකින් තමයි වැඩ භාරගන්නේ.

තිළිණි කරුණාරත්න

Untitled-15