අපේ රටේ  කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ අපූරු කලා පවුල. කීර්ති රත්නායක නම් කොයි කවුරුත් හොඳින්ම දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියා සහ වේදිකාවට නැතුවම  බැරි මාදිනි මල්වත්තගේ කියන්නේ කලා ලෝකෙ හරි අපූරු සුසංයෝගයක්. ඉතින් අපි කල්පනා කළා කාර්ය බහුල මේ ජීවිතවලට ‍පොඩ්ඩක් ළං වෙලා ආදරණීය වචන ටිකක් එළියට ගන්න. මේ අකුරු වෙලා තියෙන්නේ ඒ ඔවුන්ගේ වචන. මුලින්ම මාදිනිය තමයි අපිත් එක්ක කතාවට එකතු වුණේ.

සේරටම කලින් කියමු නේද අලුත් තොරතුරු ගැන?
මේ දවස්වල ‘පැකේජ්’ කියන ටෙලි නාට්‍යය සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ‘ගමනේ යා’ කියන නිර්මාණයෙත්් වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව ඉතින් සුපුරුදු වේදිකා නාට්‍ය පුහුණුවීම් සහ වේදිකාගත වීම් එක්ක තමයි කාලය ගතවෙන්නේ. මේ දවස්වල එයාලත් මනෝරත්නයන්ගේ ‘වන ලැහැබ’  නම් අලුත්ම වේදිකා අත්දැකීමටත් සූදානම් වෙමිනුයි පසුවෙන්නේ.

ඒ කියන්නේ වැඩි තැනක් දීලා තියෙන්නේ වේදිකාවට වගේ?
අනිවාර්යයෙන්ම මගේ ජීවිතේ වැඩි ඉඩක් නිරායාසයෙන්ම වේදිකාවට යොමු වෙලයි තියෙන්නේ. එහි අතිශය සතුටට පත්වුණු අවස්ථාවක් තමයි ගෙවී ගිය සතිය පුරාවටම ගතවුණේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී පහුගිය 17 වනදා සිට පුරා සතියක් වේදිකා නාට්‍ය එකතුවක් රස විඳින්න අවස්ථාව ලබා දීලා තිබුණා. මමත් දින හතරක්ම මහන්සි නොබලා ඒත් එක්ක සම්බන්ධ වුණා. ඒ සතුට ගැන කියන්න වචන එකතු කර ගැනීමත් අපහසුයි. ඒ ලද ප්‍රතිචාර මාව අපමණ සතුටට පත්කළා කීවොත් නිවැරදියි.

ඔහොම එක දිගටම වේදිකාවේ රඟපානකොට මහන්සියක් දැනෙන්නේ නැද්ද?
වේදිකාව කියන්නේ මම මාවම විඳින තැන. ඉතින් වේදිකාව මට කොහෙත්ම වෙහෙසක් ‍නෙවෙයි. අවසන් දවස මට මහන්සි වෙනවා ‍නෙවෙයි  අලුත් වීමයි වේදිකාව තුළ දී මට සිද්ධ වෙන්නේ.

කොහොමද ඔහොම දවසින් දවස එක  එක චරිතයට පණ දෙන්නේ.
ඒක තමයි පුහුණුව. ඒ පුහුණුව නිසා චරිතයක් දවසින් දවස මාරු වුණා සහ විවිධ වුණා කියලා අපහසුතාවක් නෑ.  ලෝකේ තියෙන අමාරුම රැකියා දහයෙන් එකක් මේ රඟපෑම කියන්නේ. නමුත් හොඳ පුහුණුවක් සහ අවබෝධයක් ඒ වගේම හොඳ පෙර අත්දැකීම්වලින් සමන්විත වූවෙකුට  රංගනය කොහෙත්ම අභියෝගයක් වෙන්නේ නෑ.

එතකොට කලාවේ ඔබ වැඩි තෘප්තියක් ලබන්නේ වේදිකාව තුළින් ද ?
වේදිකාව, ටෙලි නට්‍ය, සිනමාව කියන්නේ මාධ්‍ය තුනක්. මේ මාධ්‍ය තුනෙන් ලැබෙන තෘප්තිය ආකාර 03ක්, නමුත් මම අවුරුදු 20ක් පුරාවට ලොකු මහත් වෙන්නේ, දවසින් දවස ඉදිරියට යන්නේ වේදිකාව උඩ. ඉතින් මම හිතන්නේ මට මා නොවී රඟපාන්න ලැබෙන එකම තැන තමයි  වේදිකාව. ඒ ගැන තියෙන ගෞරවනීය ආදරය කොහොමත් අනිත් මාධ්‍ය දෙකට සාපේක්ෂව තරමක් වැඩියි.  නමුත් මම ටෙලිනාට්‍ය හා සිනමාවටත් ඒ වගේම ආදරය හා ගෞරවය දක්වනවා.

ඒත් ඔබට සිනමාවේ දිගු ගමනක් යන්න තවම බැරිවෙලා තියෙනවා.?
හොඳ නිර්මාණ බිහිවෙන්නේ අතලොස්සයි. ඒ කාරණයත් මේ ප්‍රශ්නෙට එක හේතුවක්. ඒ වගේම මම දකිනවා මාදිනි මල්වත්තගේ කියන සිනමා නිළියගෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරු මෙරට සිනමාවට තවම වැඩක් අරන් නෑ කියලා.

ඔබ චරිත තේරීම නිසා එහෙම වෙලා කියලා හිතන්න බැරි ද?
අපේ රටේ කෙනෙක්ව එක චරිතයකින් දැක්කොත් සහ ඉන් සාර්ථක වුණොත් දිගටම ඔහුට හෝ ඇයට සිද්ධ වෙනවා ඒ චරිතයටම කොටුවෙලා ඉන්න. එතැනදී අපි තීරණයක් අරන් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. අද සිනමාවේ ඉන්නේ හරි අතලොස්සයි. ඔවුන්ම මාරු වෙවී රඟපාන ආකාරයක් තමයි මම නම් දකින්නේ. සමහරවිට සිනමාව තුළ මාදිනි නොමැතිවීම වෙන කිසිම හේතුවක් ‍නෙවෙයි. මගේ අවාසනාව වෙන්නත් පුළුවන්.

මතකද කී පාරක් වේදිකාවට ගොඩවෙලා තියෙනව ද කියලා?
විසි අවුරුද්දක් මාව ගොඩනගපු තැනට ඒ විසි අවුරුද්ද පුරාවටම මම ගොඩවෙලා තියෙනවා. ගණනින් මෙච්චරයි කියලා කියන්න බැරි තරමට වේදිකාව කියන්නේ ජීවිතේම කොටසක් බව නොකියාම බෑ.

ඔබට ලැබෙන රසික ප්‍රතිචාර සහ ආදරයත් සුවිශේෂී ඇති?
ඒ අතින් නම් මම හරිම  වාසනාවන්තයි. මොකද  අසීමිත ප්‍රේක්ෂක ආදරයක් හා ගෞරවයක් මට ලැබෙනවා.  ඒක රූපවාහිනිය හෝ සිනමාව හරහා දකිනවට  විඳිනවට වඩා මම විඳින්නේ වේදිකාව තුළ. ප්‍රේක්ෂක පිරිසගේ් සජීවි ආදරය ඒ මොහොතේම විඳින්නන් ලබන්නන්  පිනක් තියෙන්න ඕනි.

ඒත් අද  වේදිකාවට තියෙන්නේ අඩු පිළිගැනීමක් නේද?
වේදිකාවට ලැබෙන සැලකිලි තමයි අඩු. ටෙලි හෝ සිනමා සම්මාන රාත්‍රියකට ලැබෙන උත්කර්ෂවත් බව කොයි වේදිකාවට  ද ලැබෙන්නේ. ඒකම තමයි මෙහි කඩාවැටීමට මුල්වෙලා තියෙන්නේ.  අන්න ඒ අඩු පිළිගැනීම හැරුණුකොට කලා මාධ්‍ය අතරින් උසස්ම තැන වේදිකාව බවට විවාදයක් නෑ.

ඔබ කලාවෙන් ඉදිරියට යනකොට පවුල් ජීවිතේ මඟහැරීම් වෙනවා ඇතිනේද?
නෑ. ඇත්තටම එහෙම වෙන්නෙ නෑ. මොකද අපි හිටි හැටියේම රඟපාන්න යනවා ‍නෙවෙයි නේ. කලින් කරන ලද සැලසුමකට අනුවයි  අපි වැඩ කරන්නේ. ඉතින් එහෙම සැලසුම් යටතේ වැඩ කරනකොට මඟහැරීම් සිද්ධ වෙන්නෙම නැති තරම්. හැබැයි ඉතිං පුතා නම් නිතරම දැන් මේ වැඩ වැඩිකම ගැන කියවනවා.

අම්මට ගෙදර නතර වෙන්න කියලද පුතා කියන්නේ?
අපේ පුතා කොළඹ නාලන්දාවේ මේ වෙනකොට  10 වසරේ තමයි අධ්‍යාපනය ලබන්නේ.  ලබන වසර එයාට සුවිශේෂයි. මොකද පුතා සාමාන්‍ය පෙළ ලියනවා. ඉතින් එයා කියනවා අම්මා ගෙදර හිටියොත් ඒක මට ලොකු උදව්වක් වෙයිලු. ඇත්තටම ඒක එහෙම නම් තමයි. නමුත් මේ පවතින රටාව එක්ක ඉන් මිදෙන්න ගියොත් අපි එක අතකින් කඩා වැටෙනවා. හැමෝම වගේ ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන්න ඕනි අපිත්.

සැමියගෙන් ඒ සහයෝගය ඔබට ලැබෙනවා ඇති.
අනිවාර්යයෙන්ම ඔහු තමයි මට මේ මගේ ගමන යන්න අවශ්‍ය පාර හදලා නිදහස දීලා තියෙන්නේ.  පුතාගේ වැඩවලදිත් මගේ වැඩවලදීත් මහත්තයාගේ සහයෝගය නම් කොහෙත්ම සුළුපටු සහයෝගයක් නම් ‍නෙවෙයි.
ඔහු ඔබේ රංගනයන් විනිශ්චය කරනවා ඇති.

ගොඩක් වෙලාවට චරිතයක් දැක්කම එහි අගය කිරීම් වගේම අඩුපාඩු පෙන්වාදීමත් ඔහුගෙන් සිද්ධ වෙනවා. එහෙම බලනකොට ඔහු සැමියෙක් විතරක්ම ‍නෙවෙයි. මගේ හොඳම සහ ළඟම විචාරකයා වෙන්නෙත් ඔහු.

පුතා අම්මයි තාත්තයි වගේ කලාවට ලැදියිද?
පුතා කලාවට ගොඩක් සම්බන්ධයි. ඔහු මම  වගේම සංගීතයට ගොඩක් ප්‍රියයි. වේදිකාව, ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම්, සංගීතය කියන හැම කලාවක්ම ඔහුත් ස්පර්ශ කරනවා.

මාදිනි මල්වත්තගේ කියන්නේ කාගේ හෝ අනුකරණයක් ද?
කොහෙත්ම නෑ. මම කාවවත් අනුගමනය හෝ අනුකරණය කිරීමට යන්නේ නෑ. ඒ වගේම මාව අනුකරණය කිරීමත් මම නම් අනුමත කරන්නේ නෑ. පුංචි කා‍ලේ ඉඳන් මම ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියව ප්‍රිය කළා. ඒ හැරුණු කොට අනුකරණ හෝ අනුගමනයක් නම් මගෙන් සිද්ධ වෙන්නේ නෑ. මාදිනියගේ  දීර්ඝ කතාබහෙන් අනතුරුව අපි හැරුණේ කීර්ති රත්නායකගේ දිහාවට.

නිර්මාණ කාර්යයෙන් ඔබ ගිලිහිලා ද?
මේ දවස්වල ක්ෂේත්‍ර නිර්මාණ හරහා මම රංගනයේ යෙදෙනවා. ඒ එක්ක ටෙලි නිර්මාණ දෙකක මම රඟපානවා.  ඉතින් ගිලිහිලා කියන්න බෑ නේද එතකොට.

ඒත් දැන් වැඩිය දකින්න ලැබෙන්නෙ නෑනේ.
ඔය අපේ රටේ ජනප්‍රිය යැයි කියන
නාළිකා තුළින් මාව දකින්න නොලැබිම වෙන්න ඇති ඒ නොදැක සිටීමට හේතුව. නැත්නම් මමත් රඟපානවා. හැබැයි ඒ නාළිකා, ජනප්‍රිය මදි.

ඔබ වේදිකාවට ගොඩවුණේ නැද්ද?
කාලෙකින් සම්බන්ධ වෙන්න නම් බැරි වුණා.  මේ දවස්වල අපි අලුත් වේදිකාගත කිරීමක් සඳහා නිරත වෙමිනුයි පසුවෙන්නේ.

අලුත් නිර්මාණයක් එහෙම කළේ නැද්ද?
අපේ චිත්‍රපටය දැන් එහි වැඩ අවසන් අදියරේ කෙරීගෙන යනවා. ඉක්මනින්ම එය රසවිඳින්න අවස්ථාව ලැබෙයි.

මාදිනි මල්වත්තගේ  ඔබේ බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ?
සාමාන්‍ය පිරිමියෙක් ගැහැනියක්ව බිරිඳක් විදිහට තෝරාගන්නවාට වඩා එහා ගිය දෙයක්, ඇය මගේ බිරිඳ වීම තුළ තියෙනවා.  මම බැන්දේ නිළියක් ‍නෙවෙයි. නමුත් ඇය නිළියක්. ඒකත් සාමාන්‍ය නිළියකට එහා  ගිය වටිනාකමක් සහිත අයෙක්වීම මටත් ආඩම්බරයක්.

ඇය ගැන යම් විනිශ්චයක් කරන්න කීවොත්?
නළු නිළි කියන්ගේ නළියන කියන අදහසනේ. නමුත් ඇයට තියෙන්නේ නළියන බවක් ‍නෙවෙයි නළවන බවක්. කලාවේ උතුම් මව් ගුණය ඇයට තියෙනවා. එතැනදී ඇය සාමාන්‍ය කෙනකුට ළං විය නොහැකි මට්ටමට  සෑහෙන ඉදිරියෙන් සිටින වෘත්තීය රංගන ශිල්පිනියක්. නමුත් මේ ඇගේ උපරිමය ‍නෙවෙයි. සැමියා විදිහට මම දන්නවා තවම ඇය නොකරපු චරිත බොහෝයි.

හැමෝම කියනවා කලාව කඩා වැටිලා කියලා ඔබත් කියන්නේ එහෙම ද?
ඉස්සර බල්ලෙක් මැරුණම මිනිස්සු පවා එකතුවුණා. නමුත් අද මිනිහෙක් මැරුණම බල්ලෙක්වත් නෑ. ඇත්ත ඒ තත්ත්වය උඩ මටත් ලොව ගැන තියෙන්නේ අසීමිත වේදනාවක්. මෙහෙයවන අදෘශ්‍යමාන බලවේගවල ක්‍රියාවන් තමයි අද දකින්න ලැබෙන්නේ.

ජීවිතේ අතපසුවීම් වෙලා නැද්ද?
සැලසුම් සහගතව ජීවිතේට මුහුණ දෙනවා නම් කොහොමද අතපසුවීම් සිද්ධවෙන්නේ. ජීවිතේ දිනපු කාටවත් අතිරේක කාල ලැබිලා නෑනේ.  ඉතින් අපිට ලැබෙන්නෙත් නැහැ. මේ ලැබිලා තියෙන කාලයෙන් සැලසුම් සහගතව වැඩ කළොත් අතපසුවීම් සිද්ධ වෙන්නේ නෑ.

කලාවම ප්‍රමාණවත් ද ජීවත් වෙන්න?
කලාව නම් ප්‍රමාණවත්. නමුත් ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නොවෙන්නේ. ඒක හැමෝටම තියෙන ගැටලුවක්.

ඔබ කලාවේ නිහඬ චරිතයක් වෙනකොට ජනප්‍රියත්වය අඩුවෙයි නේද?
ජනප්‍රියත්වය හරි සාපේක්ෂ දෙයක්නේ. ඉස්සර කීර්තිගේ වයිෆ් හැටියටයි මාදිනිව හැඳින්වූවේ. දැන් මාව හඳුන්වන්නේ මාදිනිගේ හස්බන්ඩ් කියලා.  ඉතින් ඒක තමයි ජනප්‍රියත්වය. කොහොමත් මම ඇගේ ඉදිරි ගමනට  මට හැකි උපරිම සහයෝගය දක්වලා ඇගෙන් මඟහැරෙන යම් දෙයක් තියෙනවා නම් හොයලා බැලීමයි සිදු කරන්නේ.

නඳුනි ආරියවංශ

Untitled-13