මනුස්සකම පිරුණු මිතුරෙක් – කොරීන් අල්මේදා

රොනී අයියගේ මරණය පිළිබඳව ඇත්තටම ලොකු කනගාටුවක් තියෙන්නේ. අපේ entertainment field එකට වෙච්ච ලොකුම පාඩුවක් තමයි රොනී අයියගේ නැතිවීම.
Untitled-6
රොනී අයියා මම මුලින්ම හඳුනා ගන්නේ ‍පොඩි කා‍ලේ talent contest එකකදි. ඒ කා‍ලේ අපේ පවුල් දෙක හොඳින්ම හඳුනනවා.

මම  flash back සහ ජයශ්‍රී එක්ක මාසෙක සංචාරයක ඉඳලා පැරිස්වල ඉන්නකොට තමයි රොනී අයියගේ මරණය ආරංචි වුණේ.

රොනී අයියා කියන්නේ මනුස්සකමින් පිරුණු ඉතා හොඳ මිතුරෙක් කියලා කියන්න පුළුවන්. ඔහුගේ අහිමි වීම මට නම් දරාගන්නත් බැරි තරම්. රොනී අයියා ස්වර්ගයේ ඉපදේවා කියලා මම හදවතින්ම පතනවා.

ජිප්සීස්ලට රොනී නැති එක විශාල පාඩුවක් – සුනිල් පෙරේරා

රොනී, මම හඳුනා ගන්නේ 1970 වගේ වසරවලදී. සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නත් කලින් ඉඳලම අපි හොඳින් හඳුනනවා.

ඊට පසු කලකදී රොනී ඕමාන්වල රැකියාවක් සඳහා යොමුවුණා. ඒ අතරෙදි ජිප්සීස් සංගීත කණ්ඩායම ඕමාන් සංචාරයක නිරත වුණා. ඒ වෙලාවේ රොනී අපිත් එක්ක එකතුවෙලා සින්දු දෙක තුනක් කිව්වා. එතැනදි පියල් කිව්වා රොනීට ලංකාවට ඇවිල්ලා ජිප්සීස් එක්ක වැඩ කරමු කියලා.
Untitled-8
රොනී ලංකාවට ආවට පස්සේ තමයි 1990 ‘තට්ටයා’ සින්දුව කළේ. රොනීගේ බිරිඳගේ අකමැත්ත මත තමයි තට්ටය ගාලා තට්ටයා සින්දුව කළේ. ඒ සින්දුව අතිශය ජනප්‍රිය වුණා. තට්ටයත් එක්ක රොනීට අනන්‍යතාවකුත් ඇතිවුණා.
ඊට පස්සේ අපේ සින්දුවල වේදිකා රංගනයන් සඳහා රොනීව එකතු කරගත්තා. හාස්‍ය උපද්දන්න පුළුවන් හොඳ හැකියාවක් රොනීට තිබෙනවා.

රොනීගේ අභාවය අපිට ලොකු පාඩුවක්. ප්‍රසංගවලදි රොනී සහ ජිප්සීස් හොඳින් ගැළපුණා. ජිප්සීස් සංගීත කණ්ඩායමට රොනී නැති එක ලොකුවටම දැනෙයි. රොනී පුද්ගලයෙක් හැටියට ඉතා හොඳ සුන්දර මිනිසෙක්.

රොනී සමාදානයේ සැතපේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

හොඳ සමාජ සේවකයෙක් අපිට නැතිවුණා – කීර්ති පැස්කුවල්

රොනී ලීච් මහතා ගායක ගායිකාවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඕනම අවස්ථාවක පැකිලීමකින් තොරව සංගමයේ වැඩවලට ඔහු දායක වුණා.

රොනී ලීච් මහතාගේ අභාවය කලා ක්ෂේත්‍රයට වගේම අපේ සංගමයටත් ලොකු පාඩුවක්. මෙවැනි කලාකරුවන් ක්ෂේත්‍රය තුළ හරිම අඩුයි. විනෝදය, ගායනය, රංගනය වැනි සෑම අංශයකින්ම දක්ෂතා දක්වන ශිල්පීන් දැන් බිහිවෙනවා හුඟක් අඩුයි.Untitled-10

මගේ රොනී පිළිබඳ මතකය හුඟක් දීර්ඝ කාලයකට විහිදෙනවා.  මම සංගීත  කණ්ඩායම්වල වාදනය කරන කාලෙත්  ඔහු ගීත ගායනා කළා. ඔහු විදේශ ගතවෙලා හිටපු කාලෙත් ඒ රටේදී රැකියාව කරන ගමන් මගේ සංගීත ප්‍රසංගවලට  ඔහු ගීත ගායනා කරලා තිබෙනවා.

ලංකාවට ආවට පස්සේ ‘තට්ටයා’ ගීිතයත් සමග ඔහු අතිශයින් ජනප්‍රිය වුණා. ඔහුගේම නිර්මාණ කලා රංගනයට එකතු වුණා. මොකද හාස්‍ය දනවන රංගනයක්, කරනවා කියන්නේ ‍ලේසි පහසු දෙයක් නොවේ. ඒ වගේම රොනී හොඳ සමාජ සේවකයෙක්. නිතරම ආරෝග්‍ය ශාලා මහලු නිවාස සහ ළමා නිවාස, මෙන්ම අංගවිකල පුද්ගලයින්ගේ නිවාස වෙත ගොස් එම ප්‍රේක්ෂකයින් පිනවූවා.

ගායක ගායිකාවන්ගේ සංගමය විදිහටත් රොනීගේ හොඳම මිතුරෙකු සගයෙකු ලෙසත් ඔහුගේ මරණය පිළිබඳව සාතිශය සංවේගය පල කරනවා.

අති දක්ෂ ගායකයෙක් අති දක්ෂ නළුවෙක් අපිට නැතිවුණා – ඇනස්ලි මා‍ලේවන

රොනී ලීච් කියන්නේ මගේ හොඳම මිතුරෙක්. මම අවුරුදු ගාණක් තිස්සේ ඔහු ආශ්‍රය කරනවා. සංගීත ක්ෂේත්‍රය පැත්තක තිබ්බත් අපේ මිත්‍රකම සහ පවුල් දෙක අතර ලොකු සම්බන්ධයක් තිබුණා.

මේ වෙලාවෙ අපිට හරිම ලොකු කනගාටුවක් තමයි තිබෙන්නේ. ලංකාවේ entertainment field එකට වැදුණ ලොකු පහරක් කිව්වොත් නිවැරදියි.Untitled-7

රොනී මාත් එක්ක ප්‍රසංග රැසකට සහභාගි වෙලා තිබෙනවා. ඔහුගේ මිත්‍රකම තවත් කෙනකුට සම කරන්න බැරි තරම්.
මම හුඟක් දුක් වෙනවා වගේම මම විතරක් ‍නෙවෙයි මේ ලංකාවේ හැමෝම රොනී ලීච් කියන අති දක්ෂ ගායකයාගේ සහ නළුවාගේ මරණය පිළිබඳව දුක් වෙනවා නොඅනුමානයි. රොනී අප අතරම නැවත ඉපදේවා කියලා මම පතනවා.

ඉතාම කණගාටුදායක සිද්ධියක් – අමල් පෙරේරා

රොනී අයියාගේ අභාවය ඉතාම කනගාටුදායක සිද්ධියක්. මොකද ඔහු ක්ෂේත්‍රයේ සෑම කෙනෙක් සමගම ඉතාම සුහදව  සිටි නිසා ඔහුගේ අඩුව හොඳින්ම දැනෙනවා.
Untitled-9
ඔහු අවසාන වරට මට හමුවන්නේ මේ සංචාරයේම ඔස්ට්‍රේලියාවේදී. මමත් ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා හිටියේ. මම නිදාගෙන ඉන්නකොට රූම් සර්විස් කියලා දොරට තට්ටු කරලා මට විහිළු කරලා ගියේ. එදා තමයි රොනි අයියා මට අන්තිමට හමුවුණේ.  මෙවැනි අකල් මරණ අපට දරාගන්න හරිම අමාරුයි.

රොනි ලීච් කිව්වම අපේ රටේ ජනප්‍රිය වුණේ ගායකයෙක් විදිහට විතරක් නොවේ. හාස්‍ය ජනක රංගන ශිල්පියෙක් විදිහටත් ඔහු ඉතා ප්‍රසිද්ධයි.

රොනි අයියා ගිය තැනක ඔහුට හොඳින් ඉන්න ලැබේවා. ඔහුගේත් මගේත් ආගමේ හැටියට මම ඔහුට ජේසු පිහිටයි කියලා කියනවා.