මට ආරාධනාවක් කළාදෝ ගීතය තවමත් ඔබේ මතකයේ ඇති. ඒ ගීතය බොහොම අපූර්ව ලෙස ගායනා කරමින් ඔබේ දෙසවන් පිනවූයේ වරදත්ත අරවින්දයි. ඔහු තවත් අලුත් නිර්මාණයක් කරලා කියලා ලැබුණු ආරංචියත් සමග මෙවර කතාබහට ඔහුව එකතු කර ගත්තා.

අලුත් ගීතයට මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නෙ?
වසර දහයකට පස්සෙ තමයි මම මේ ඉන්දිවරියේ කියන ගීතය කළේ. මම හිතුවේවත් නැති විදිහට ඉහළ ප්‍රතිචාරයක් මේ ගීතයට ලැබුණා. ඒ ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්.

කවුද මේ ගීතය නිර්මාණය කළේ?
පුණ්‍යා ඒකනායක කියලා කෙනෙක් තමයි මේ ගීතය රචනා කළේ. ඇය මගේ රසිකාවියක්. ඇය මට කීවේ ඔබේ කටහඬට අපි ආදරෙයි. අපට ඔබ අවශ්‍යයි කියලා. ඇය සිංදුව රචනා කරලා මොහාන් කුමාර කියලා කෙනෙක් තමයි සංගීතවත් කරලා තියෙන්නේ. සිංදුව සියලුම දේවල් කරලයි මට එවලා තිබුණේ.

ඇයි මේ තරම් කාලයක් ගත වුණේ නිර්මාණයක් කරන්න?
අපි ගීත නිර්මාණ කළාට ඒවා ප්‍රචාරය කර ගන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒකට හේතුව නිර්මාණය වන ගීත ප්‍රමාණය වැඩිවීමයි. ඒ තරමටම සිංදු නිසා රසිකයන්ට මේ සිංදු හැම එකක්ම ග්‍රහණය කර ගන්න අමාරුයි. මම කරපු සිංදුවලින් දෙක තුනයි ගොඩක් දෙනා දන්නේ. නමුත් මම සැලකිය යුතු සිංදු ප්‍රමාණයක් කරලා තියෙනවා. අපි සිංදුවක් කරන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ සිංදු දෙන්න මාධ්‍යයක් නැති නිසයි සිංදු කරන එක අතහැරලා දැම්මේ.

මේ වන විට කොපමණ ගීත ප්‍රමාණයක් කරලා තියෙනවාද?
සිංදු විස්සක් පමණ කරලා තියෙනවා.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නෙ?
ඉක්මනින් සිංදු ප්‍රමාණයක් එනවා. ඒවා අතර හොඳ ගීතත් තියෙනවා. හොඳ නැති ඒවාත් තියෙනවා. ප්‍රමිතියෙන් තොර ගීතත් තියෙනවා. මොනවහරි කරලා ජනප්‍රිය කර ගන්න. අපි ඉස්සර සිංදු කළේ මොනවහරි කරලා ජනප්‍රිය කර ගන්න එක ‍නෙවෙයි. අපි සිංදුව කරලා තමන්ම අහලා තමයි සිංදුව රසිකයන්ට දුන්නේ. අද සිංදු කරන්නේ කරන්නම් වා‍ලේ විතරයි. විශාල ලෙස සිංදු තියෙන නිසා රසිකයන්ට හොඳ දේ තෝරගන්න අමාරු වෙලා තියෙනවා.

ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනාවක් අවශ්‍යද?
නැහැ. පද රචනය, සංගීතය, ගායනය, අසාර්ථක නම් අන්තිමට තියෙන්නේ රූපරචනයක් කරන එක කියලයි මම හිතන්නෙ.

ගීත, මාධ්‍ය මගින් ගීත ප්‍රචාරණය කිරීමට ලබා දෙන අවස්ථාව සීමිත වීම ගැන මොකද හිතෙන්නෙ?
එදා මාධ්‍ය, ගීත මිනිස්සු අතරට යන්න වැඩ කළා. එහෙම තමයි ගීත මිනිස්සු අතරට ගියේ. නමුත් වර්තමානයේ ජනප්‍රිය ගීත විතරයි ප්‍රචාරය කරන්නේ. ගීත හඳුන්වාදීමක් කරන්නේ නැහැ.

අද බිහිවෙන නිර්මාණවලට අරමුණු තියෙනවා කියලා හිතනවාද?
ගොඩක් නිර්මාණවල යහපත් අරමුණක් නැහැ. ඒ ගීත ගොඩක් කරන්නෙ මුදල් හම්බ කිරීමේ අරමුණින් විතරයි. ඒ නිර්මාණවලින් රස වින්දනයක් ලබන්න බැහැ.

කලාකරුවන් රටක සමාජය, යහපත් කිරීමට දායක වන ප්‍රමාණය ප්‍රමාණවත්ද?
ප්‍රමාණවත් නැහැ කියලයි මම හිතන්නෙ. ඔවුන්ට සමාජය තවත් යහපත් කරන්න දායක වෙන්න පුළුවන්.

ඔබ සංගීත ක්ෂේත්‍රයට එකතු වෙන්නේ පවුල් පසුබිමෙන් ලැබුණු බලපෑම නිසාද?
මම ගායකයෙක් වෙන්න කලින් හොඳ ඩ්‍රම්ස් වාදකයෙක්. වින්සන්ට් සෝමපාල තමයි මගේ සීයා. ඔහුත් ප්‍රවීණ සංගීතඥයෙක්. ඒ වගේම මගේ පියා ජයන්ත අරවින්ද. ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ බොහොමයක සංගීත අධ්‍යක්ෂණය කළේ තාත්තා. මගේ මහප්පා තමයි රෝහණ බැද්දගේ. ඒ පන්නරය තමයි මට සංගීත ක්ෂේත්‍රයට එකතු වෙන්න හේතු වෙන්නේ.

මම ගායකයෙක් වුණේ අහම්බෙන්. මට සංගීත කණ්ඩායමක් තිබුණා. ඒක අතරමග නතර වුණා. මගේ ආත්ම තෘප්තියට මම මට ආරාධනාවක් ගීතය කළා. රසිකයන්ගෙන් මට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඔවුන් කීවා විනඩි තුනහමාරකට අපිව අමුතු ලෝකයකට ගෙනිච්චට ස්තුතියි කියලා. මට හිතුණා මිනිස්සු ගායකයන්ට කොච්චර ආදරේද කියලා. රසිකයෝ තමයි මාව ගායකයෙක් කළේ. ඒ නිසා මම දිගටම ගායකයෙක් ලෙස වැඩ කරනවා කියලා හිතුවා.

මේ ආපු ගමන් මග ගැන ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නෙ?
කලකිරීමක් නම් හිතිලා නැහැ. කාලයක් පවතින හොඳ නිර්මාණ කරන්න ලැබිම ගැන ලොකු සතුටක් තියෙනවා. මම මිනිසුන් අතරට ගියේ නරක දේවල් කරලා ‍නෙවෙයි. මට මිනිස්සු ආදරය කරන්නේ හරිම ආදරණීය විදිහට. ඒ නිසා මට හරි සතුටක් දැනෙනවා, තවමත් ඔවුන්ට මගේ නිර්මාණ මතකයේ තිබිම ගැන.

මොනවද ඉදිරි සැලසුම්?
මම සංගීතයෙන් ඈත් වෙලා හිටියා. ඉදිරියේදී පූර්ණකාලීනව මේ ක්ෂේත්‍රයට යොමු වෙලා වැඩ කරන්න බලා‍පොරොත්තු වෙනවා.

තිළිණි කරුණාරත්න

waradaththa