පැතුම් රුක්ෂාන් ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු වෙනස්ම චරිතයකින් ඔබේ ආලින්දයට එන නිසා අපි ඒ ගැන තොරතුරු අහන්න ඔහුට කතා කළා.
* වෙනදට වඩා පැතුම් මේ දවස්වල කාර්යබහුලයි කියන්නෙ ඇත්තද?
ගොඩක්ම කාර්යබහුල නැහැ. හිරු මෙගා ස්ටාර් වැඩ කළා. හිරු නාළිකාවේ සිද්ධාර්ථ ගෞතම නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ෂූටින් නිසා ගොඩක් වෙලාවට කොළඹින් පිට ඉන්නේ.

* ඉතිහාස කතාවකට රංගනයෙන් දායක වෙන ප්‍රථම අවස්ථාව. කොහොමද ඒ සඳහා අවස්ථාව ලැබුණේ?
අකිල අබේරත්න තමයි මෙහි අධ්‍යක්ෂවරයා. ප්‍රභාත් නිරෝෂන් තමයි නිෂ්පාදකවරයා. ඒ දෙන්නා කතා කරලා තමයි මාව මේකට ගත්තේ. නිතරම දකින්න නොලැබෙන චරිත තමයි මේ නාට්‍යයට තෝරාගත්තේ. මම මේ නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්නේ අමිතෝදන රජුට.

* ඔබට විශ්වාසයක් තියෙනවාද අමිතෝදන රජුගේ චරිතෙට සාධාරණයක් කරන්න පුළුවන් කියලා?
ඔව්. අපට විවිධ චරිත ලැබෙනවා. රංගන ශිල්පියෙක් වුණාම ඒ හැමදේම කරන්න පුළුවන් වෙන්න ඕන. මම හිතනවා මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. මම මේ දේවල් ඉගෙන ගන්න ගමන් තමයි මේ චරිතෙට රංගනයෙන් දායක වෙන්නේ. මට හිතෙනවා මේ චරිතෙට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් කියලා.

* මෙවැනි චරිතයකට කතා කරද්දි මොකද හිතුණේ?
හිතාගන්න බැරිවුණා. මුලින්ම මම බයවුණා. මම මෙවැනි චරිත කරලාම නැති නිසයි මම බයවෙලා හිටියේ. හිතේ දෙගිඩියාවක් තිබුණා. මේ චරිතය භාරගත්තොත් මට සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියලා. මට හිතෙනවා දැන් මේ දේට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. මේ නාට්‍යයට ගොඩක් මහන්සි වෙන්න තියෙනවා. මම මේ චරිතය මට ලැබුණු අභියෝගයක් විදිහටයි දකින්නේ. වෙනස් චරිතයක් කරන්න ලැබිම ගැනම මට සතුටුයි.

* පැතුම්ට ඒකාකාරී රාමුවෙන් මිදෙන්න පුළුවන් වීම ගැන මොකද හිතෙන්නේ?
සතුටක් තියෙන්නේ. හැමදාම එකම රාමුවකට කොටුවෙලා වැඩ කරනවට වඩා වෙනස් විදිහේ චරිත ලැබෙනවා නම් දැන් මම කැමතියි.

* බොළඳ පෙම්වතාගේ චරිතෙට ආරාධනා ලැබෙන්නේ පැතුම්ගෙ පෙනුම නිසාද?
ඒකත් එක හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා. මට හිතෙන්නෙ පෙම්වතාගේ චරිතය හොඳට කරන නිසා වෙන්න ඇති.

* දැන් දිගටම ආරාධනා ලැබෙනවද?
ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. මම වැඩියෙන් වැඩ භාරගන්නේ නැහැ. ගොඩක් අඩුවෙන් වැඩ කරන්නේ. කරන වැඩේට ගොඩක් මහන්සි වෙලා කරන නිසා. මම අඩුවෙන් තමයි පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ.

* පුංචි තිරයෙන් රිදී තිරයට එකතු වෙන්න තවම අවස්ථාවක් ලැබුණේ නැද්ද?
තවම එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. ලොකු ආසාවක් කැමැත්තක් තියෙනවා. මම වැඩත් අඩුවෙන් කරන්නේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න හිතාගෙන. ඉදිරියේදී අවස්ථාවක් ලැබේවි කියන බලා‍පොරොත්තුවක් ඉන්නවා.

* ගීත රූප රචනාවලින් පැතුම් ඈත්වෙලාද?
ආරාධනා ලැබෙනවා. දැන් නම් ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්නෙම නැති තරම්. අපිට ක්ෂේත්‍රයට එන්න රුකුලක් වුණේ ගීත රූප රචනා හරහා. අලුතෙන් ක්ෂේත්‍රයට එකතු වෙන්න ඉන්න අයට අවස්ථාවක් දෙන්න ඕන නිසයි ගීත රූප රචනාවලට සම්බන්ධ නොවන්නේ.

* රංගනයට එකතු වීමත් සමග නිරූපණය මගහැරිලද?
වෙනදා තරම් නිරූපණයට සම්බන්ධ වෙන්නෙ නැති තරම්. රංගනයට ඇවිත් නිසා වෙලාව හොයාගන්න අමාරුයි. ඉඩ තියෙන වෙලාවට විතරයි නිරූපණයට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙ.

* පැතුම්ට ඔච්චරටම කටකතා හැදෙන්නෙ ඇයි?
ඒක නම් හරියටම කියන්න දන්නේ නැහැ. මම ජනප්‍රිය ඇති එහෙම කටකතා හැදෙන්න.

* සැබෑ ජීවිතයේ පැතුම් අනංගයෙක් වගේ කියන්නේ ඇත්තද?
‍පොඩි කා‍ලේ ඉඳන්ම මට කාන්තා ආකර්ෂණය වැඩියි. අනංගයෙක් නම් ‍නෙවෙයි. මම හරි සරල සාමාන්‍ය කෙනෙක්. මිනිස්සු මොන කතා කීවත් මම ගණන් ගන්නේ නැහැ. යකා කියන තරම් කළු නැහැ කියලා තමයි මට කියන්න වෙන්නේ. ඌ හරි සුදුයි.

* ව්‍යාපාර ක්ෂේත්‍රයට නැඹුරු වෙන්න තීරණය කළේ රංගනයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න අපහසු නිසාද?
සැලෝන් එකක් තමයි පටන් ගන්න සැලසුම් කරලා තියෙන්නේ. පසුගිය දවස්වල ‍පොඩි ‍පොඩි ආර්ථික ප්‍රශ්න කීපයක්ම තිබුණා. දැන් සල්ලි ටිකක් හදාගෙන ඉන්නවා. මේ දවස්වල තැනක් බලනවා. ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳන්ම මගේ හීනයක් වුණේ සැලෝන් එකක් ආරම්භ කිරීම. මම මුලින්ම සැලෝන් එකක වැඩ කළේ කොණ්ඩ සැකසුම් ශිල්පියෙක් විදිහට. අම්මා, අක්කලා සියලු දෙනාම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මටත් හීනයක් තිබුණා සැලෝන් එකක් පටන් ගන්න. මම දන්නවා ඒ දේ මගේ ඇඟේ තියෙන නිසා මට ඒක ගැළපෙනවා කියලා.

තිළිණි කරුණාරත්න